YOU TUBE සල්ලිවලින් ලංකාවට උදවු කරන ඩාවුඩ්

114

ඩාවුඩ්ගේ අපේක්ෂා සාක්ෂාත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට ආධාර ගලා ආවේය. ඔහුගේ ලොකුම සිහිනය වූයේ දරුවන් සඳහා අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක් ගොඩනැගීමයි. ඒ සිහිනය යථාර්ථයක් බවට පත්වූයේ ලෝකයේ ඔහුගේ ප්‍රියතම දිවයින වූ ශ්‍රී ලංකාවේදීයි.

සමාජ මාධ්‍ය පිළිබඳ ඇතැමුන් තුළ තවමත් ඇත්තේ එතරම් සුබවාදී ආකල්ප නොවේ. කවුරුන් කෙසේ කීවත් සමාජ මාධ්‍ය යහභාවිත කිරීම පිළිබඳ පුවත් ද හිඟ නැත. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ යහපත් කටයුතු සඳහා අතහිත දෙන පිරිස් නිර්ලෝභීව සිදුකරන සමාජ සුබසාධන කටයුතු බොහෝය. ඒවා ඇගයීමට ලක්කිරීම හා සෙසු ලෝකයා ද ඒ ගැන දැනුම්වත් කිරීම අපගේ යුතුකමකි.

එවන් කටයුත්තකට උරදුන් අපූරු මිනිසෙකි ඩාවුඩ් අකුන්ඩ්සාඩා.

පසුගිය වසර කිහිපය පුරා ලෝකය ගවේශනය කරමින් තම යූටියුබ් චැනලය සඳහා දායකයින් සෙවීමේ අරමුණින් ඔහු රටින්රට සංචාරය කළේය. එහෙත් අවසානයේ ඊට විරාමයක් තබමින් ඔහු තීරණය කර තිබුණේ දකුණු ආසියාවේ තම සිත් ගත් රටවලට ආපසු සංචාරය කිරීමටයි. ඒ වඩා හොඳ සබඳතා ඇතිකර ගනිමින් අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා ශක්තිමත් ව්‍යාපෘතියක් දියත් කිරීමේ සිහිනය ඇතිවයි.

ඩාවුඩ්ගේ අපේක්ෂා සාක්ෂාත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට ආධාර ගලා ආවේය. ඔහුගේ ලොකුම සිහිනය වූයේ දරුවන් සඳහා අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක් ගොඩනැගීමයි. ඒ සිහිනය යථාර්ථයක් බවට පත්වූයේ ලෝකයේ ඔහුගේ ප්‍රියතම දිවයින වූ ශ්‍රී ලංකාවේදීයි.

ශ්‍රී ලංකාව මීට දෙවසරකට පෙර ඩාවුඩ්ගේ ජීවිතය වෙනස් කළ බව ඔහු පවසයි. 2023 වසර තවම අවසන් වී නැතත් එය තමාට ඉතා වැදගත් වසරක් බව පවසන ඩාවුඩ් එයිනුත් සිය සිවුවන සංචාරය ගැන සතුටින් කතා කරයි. ඒ ඔහුගේ සිතැඟි අනුව පොලොන්නරුවේ ඉදිවූ අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණි ගමනයි.

ළමා අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථානය වෙනුවෙන් වැයවී ඇති මුදල ඩොලර් 25,000කි. එය ශ්‍රී ලංකාවේ රුපියල් ලක්ෂ 80කට වඩා වැඩි මුදලකි. සෑම වසරකම සිසුන් 500කට වඩා වැඩි සංඛ්‍යාවකට විවිධ විෂයයන් පිළිබඳ නොමිලේ අධ්‍යාපන පහසුකම් මේ ආයතනයෙන් සැලසෙන බව පැවසේ. දැනට කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය, ජීවන නිපුණතා, ක්‍රීඩා ආදී විෂයයන් 9ක් යටතේ පාඨමාලා පැවැත්වීමට නියමිතය. කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ද මෙහි පැවැත්වෙනු ඇත.

තමන්ට මෙතරම් කාර්යයක් තනිවම කළ නොහැකි බව පවසන ඩාවුඩ් ඒ වෙනුවෙන් සිය කෘතවේදිත්වය පළකිරීමට ද අමතක නොකරයි.

“පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය, ඨදදාබැි පදනමේ (රාජ්‍ය නොවන සංවිධානයකි) කැපවීම, ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ සහයෝගය, මව්වරුන්ගෙන් ලැබුණු උපකාර මෙන්ම වසර ගණනාවක් පුරා මේ පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රතිලාභ ලැබීමට නියමිත අසල්වැසි ළමයින් නොවන්නට මේ ව්‍යාපෘතිය යථාර්ථයක් නොවේවි. මීට උපකාර වූ හැම කෙනෙකුටම මගේ හද පත්ලෙන්ම ස්තුතියි.’ යනුවෙන්, පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී ඩාවුඩ් ප්‍රකාශ කර ඇත්තේ කඳුළු පිරි දෙනෙතිනි. ඩාවුඩ් ඇතුළු අමුත්තන් අලංකාර පෙරහැරකින් කැඳවාගෙන එමින් එම අවස්ථාව උත්කර්ශවත්ව පැවැත්වීමට ගමේ හාමුදුරුවන් ඇතුළු ගම්වාසීන් එක්ව සංවිධානය කර තිබූ උත්සවය හා සංග්‍රහ කටයුතු ඔහුගේ නොමඳ ප්‍රශංසාවට ලක්ව තිබුණේ ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා කොපමණ උචිත පාරාදීසයක්දැයි ලෝකයාට පෙන්වා දිය යුතු බව පවසමිනි.

1996 වසරේ මාර්තු මාසයේ අසර්බයිජානයේදී උපත ලබා ඇති ඩාවුඩ් අකුන්ඩ්සාඩා ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි. ක්ෂුද්‍රජීව විද්‍යාඥයකු වශයෙන් රැකියාව කළ ඔහු වසරකට පසු ඉන් ඉවත්ව සංචාරක සමාගමක වීඩියෝ ශිල්පියෙකු ලෙස සේවයට එක්වේ. ඒ ඉන් සංචාරය කිරීමට ඇති ඉඩට කැමැත්තෙනි. පසුව තනිවම සංචාරය කිරීම අරඹන ඔහු ඊට මුදල් මද හෙයින් දිළිඳු රටවල සංචාරය කරයි. අවසානයේ සමාජ මාධ්‍ය සියල්ලේම ඔහුගේ වීඩියෝ කොතරම් ජනප්‍රිය වූයේ ද යත් අද ඔහු ඉන් විශාල මුදලක් උපයන්නෙකි.

ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවල වැසියන්ට වියළි ආහාර ද්‍රව්‍යාදිය ලබාදීම වැනි සමාජ සේවා වැඩසටහන් ද සිදු කළ බව වාර්තා වේ.

දීපිකා ප්‍රියදර්ශනී

advertistmentadvertistment
advertistmentadvertistment