දේශපාලන මඩ ගොහොරුවේ ගිලෙන සතුන් වත්ත බේරා ගනිමු…!

1368

දෙහිවල ජාතික සත්වෝද්‍යාන යැයි කී පමණින් ඒ ගැන නොදන්නා කෙනෙක් වෙත්ද?

නොදන්නවා නම් ඒ නොදන්නේ නූපන් කෙනාත් මළ කෙනාත් පමණක් යැයි කියා කතාවක් ද තිබේ.

ඒ තරමටම දෙහිවල ජාතික සත්වෝද්‍යාන නම් වූ, සත්ත්ව විශේෂ 350කට අයත් සතුන් 4000කට වැඩි සංඛ්‍යාවක් සංරක්‍ෂණය වන අක්කර 23ක් පුරා විසිර පවතින මේ භූමිභාගය ශ‍්‍රී ලාංකිකයන් වන අපට සුවිශේෂී ය.

අද අපේ රටේ බොහෝ දෙනෙක් දෙහිවල ජාතික සත්වෝද්‍යානට අවැඩක් සිදුවනවාට අකමැති වන්නේත් ඒ සුවිශේෂීබව නිසාය.

ඔය කතා ඒ කතා, අර කතා මේ කතා කවරක් වුවද අද දෙහිවල සත්වෝද්‍යාන නම් මේ ජාතික සම්පත මුහුණපා සිටින අර්බුදය නම් සුළුපටු වන්නේ නැත. අප මේ උත්සාහ කරන්නේ දෙහිවල සතුන් වත්ත මුහුණපා සිටින ඒ අර්බුදයේ ඇතුළාන්තය ගැන ඇත්ත ඇති සැටියෙන් දකිමින් කතාබහ කරන්නට ය.

දේශපාලන මඩ ගොහොරුවේ ගිලෙන සතුන් වත්ත බේරා ගනිමු…!

අතීතයේ එක්තරා යුගයක අපේ දෙහිවල සතුන් වත්ත දක්‍ෂිණ ආසියාවේ හොඳම සත්වෝද්‍යාන නමින් විරුදාවලි ලත් යුගයක් ද තිබුණා අපට මතකය. ලීන් ද අල්විස් මහතා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය හෙබවූ 1965 – 82 යුගයේ ශ‍්‍රී විභූතිය ගැන අද ද සමහරු කතාබහ කරන්නේ ඉමහත් අභිමානයෙන් යුතුවය.

එහෙත් දේශපාලනය විසින් සියල්ල යටපත් කරමින් සියල්ල පාලනය කරන්න පටන් ගත් දා සිට පිරිහෙන්නේ නැතුව ඉතිරි වූ ආයතනය කුමක්ද? සත්වෝද්‍යානට කියා ඒ අහිමිරි ඉරණමෙහි වෙනසක් නොවීය.

වර්තමාන අර්බුදයේ මෙතෙක් කතාව ලියවෙන්නේ යහපාලන ආණ්ඩුව නිම වී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව බලයට පත් වී නව අධ්‍යක්‍ෂ ජනරාල්වරියක් සත්වෝද්‍යානයේ ලොකු පුටුවට පැමිණීමේ සිද්ධියත් සමඟය.

දේශපාලන මඩ ගොහොරුවේ ගිලෙන සතුන් වත්ත බේරා ගනිමු…!
අලුත් හිපපොටේමස් කූඩුව

නමින් ඉෂිනි වික‍්‍රමසිංහ නම් වූ මේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පත්වීමත් සමඟම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතිය දෙහිවල සතුන් වත්තේ පාලනයට ඇඟිලි ගසන්නට විය.

ඉෂිනි නරක යැයි කියා හෝ ඉෂිනි දුර්වල යැයි කියා හෝ කියන්නට අපි ඉක්මන් නොවෙමු. වූයේ වෘත්තීය සමිතිය ආණ්ඩු බලයෙන් හිස උදුම්මාගෙන අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සිය අණසක යටතට පත්කරගෙන තම සිතැඟි පරිදි ආයතනයේ පාලන බලය රිසි රිසි අයුරින් භාවිතයට ගැනීමය.

එතැන් පටන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සෑම සියලූ කටයුත්තකටම වෘත්තීය සමිතිය ඇඟිලි ගසන්නට විය. අධ්‍යක්‍ෂ ජනරාල්වරියගේ පරිපාලන රාමුව ඉක්මවා වෘත්තීය සමිතියේ පරිපාලන ව්‍යුහය ක‍්‍රියාත්මක විය. කොටින්ම කිවහොත් ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව පැමිණි පසු ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතනවලට සිදුවූ සන්තෑසිය දෙහිවල සත්වෝද්‍යානට ද සිදුවිය.

වෘත්තීය සමිති සභාපතිවරයා ඇතුළු නිලධාරීන් සතුන් වත්තේ බලධාරීන් වන්නට වැඩි කලක් ගියේ නැත. කළු කලිසම් ඇඳ සුදු අත්දිග ෂර්ට් ඇඳ කළු සපත්තු පැලඳ තමන්ට වඩා නිලයෙන් උසස් නිලධාරීන් පවා පරිපාලනය කරන්නට මේ වෘත්තීය සමිති බලධාරීන් ක‍්‍රියා කළ දා පටන් විවිධ ප‍්‍රශ්න උද්ගත විය.

වරක් වෘත්තීය සමිති නියෝජිතයෝ ආරක්‍ෂක නිලධාරීන්ගේ කටයුතුවලට මැදිහත් වූහ. තව වරක් පශු වෛද්‍යවරුන්ගේ කටයුතුවලට ඇඟිලි ගැසූහ. සත්ව පාලකවරුන් පාලනය කරන්නට උත්සාහ කළහ. මේ සියල්ල ඔවුන් කළේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියගේ ආශිර්වාදය හා දේශපාලන හයිය නිසා බැවින් පොදු සේවකයෝ අතර අලූත් ආණ්ඩුව හා අලූත් පාලකයන් අප‍්‍රසාදයට පත් වූයේ වරක් දෙවරක් නොවේ.

දෙහිවල සතුන් වත්ත සේවකයන් 400ක් පමණ සේවය කරන රාජ්‍ය ආයතනයකි. අධ්‍යක්‍ෂ ජනරාල් එහි පරිපාලන ප‍්‍රධානියා ය. පශු වෛද්‍යවරුන් 6 දෙනෙකි. සත්ත්ව විශේෂඥයන් හෙවත් කියුරේටර්ස්ලා 3 දෙනෙක් සිටිති. සහාය කියුරේටර්ස්ලා දෙදෙනෙකි. ඉතිරි සියල්ලෝම සත්ත්ව භාරකරුවන් සහ ක්‍ෂේත‍්‍ර සහායකවරුන් ය.

දේශපාලන මඩ ගොහොරුවේ ගිලෙන සතුන් වත්ත බේරා ගනිමු…!
රතුපාට නාගයා

මුලදී (අණ්ඩුව පත්කිරීමට) ආයතනයේ බොහෝ සේවකයෝ වෘත්තීය සමිතිය සමඟ සහයෝගයෙන් කටයුතු කළත් පසුව වෘත්තීය සමිති ආයතනය තුළ රඟපාන්නට වූ නාටකය හමුවේ පොදු සේවකයෝ වෘත්තීය සමිතියෙන් පමණක් නොව, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි ද කලකිරෙන්නට පටන් ගත්හ.

වාසනාවකට හෝ අවාසනාවකට කොරෝනා මහා පරිමාණයෙන් රටට බලපෑම් කළේය. සත්වෝද්‍යාන වසා දැමිණ. ඉෂිනි වික‍්‍රමසිංහ තමන්ගේ වැඩක් බලාගෙන පසුව ආයතනයෙන් ඉවත් වී යන්නට ගියාය.

වත්මන් කථානායකවරිය, වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කරළියට පැමිණෙන්නේ කොරෝනා වසංගතයෙන් වසා දමා තිබූ රට නැවත විවෘත කළාට පසු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පමණය. වියත්මඟ සංවිධානය තුළින්් නව ආණ්ඩුව බලයට පත් කිරීමේ කටයුතුවල ඉහළ දායකත්වය සැපයූ ඕ ප‍්‍රබල සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරිනියක ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියාය. ඕ ෂර්මිලා රාජපක්‍ෂ ය. ඕ රූපත්ය. යහපත්ය. නිර්මාණශීලීය. එසේම නීතියට වැඩ කිරීම සිය ආත්මය කොටගත්තියකව සිටියාය.

ෂර්මිලා පැමිණි වහාම කළේ ආයතනය ගැන හා ආයතනයේ සේවක ධුරාවලි ගැන මෙන්ම ඔවුන්ගේ රාජකාරි ස්වභාවය ගැන හොඳ අධ්‍යයනයක යෙදීමය. ඒ ඒ නිලතලවල හා වගකීම්වල සිටින අය නිසි පරිදි සිය රාජකාරි හා වගකීම් ඉටුකළ යුතු බව ඕ නිවේදනය කළාය.

දේශපාලන මඩ ගොහොරුවේ ගිලෙන සතුන් වත්ත බේරා ගනිමු…!
කළු හංසයෝ

පෙර පරිදි වෘත්තීය සමිතිවලට ඇය ළඟට කිට්ටු වීමට නොහැකි විය. ඇයට ළංවීමට හා දේශපාලන වරප‍්‍රසාද භුක්ති විඳින්නට බැරි වූ අතලොස්සක් වෘත්තීය සමිති බලධාරීන් ඇයට විරුද්ධ වන්නට වූයේ එතැන් පටන් ය. කොටින්ම කිවහොත් ඉෂිනිගේ කාලයේ නිල නොවන අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කළ පොහොට්ටුවේ වෘත්තීය සමිති බලධාරියා ෂර්මිලා විසින් නිසි පරිදි කුණු පුච්චන රාජකාරියට පිටත්කොට හැරියාය.

එපමණක් නොව ඕ සතුන් වත්තේ කටයුතු කරන නිර්මාණශීලී දක්‍ෂ සේවකයන් හඳුනාගෙන ඔවුන්ගේ නිර්මාණශීලීත්වයෙන් වැඩ ගැනීමට පටන් ගත්තාය.

‘‘කවුද නදීර උදයන්ග කියන්නේ. එයා සතුන් වත්තේ ලස්සන ෆොටෝ ගන්නවා. ඒවා ෂෝෂල් මීඩියාවල පළකරලා ආයතනයට ලොකු මහජන අවධානයක් අරන් දෙනවා. එයාව මං ළඟට එවන්න.’’

නදීර යනු කම්කරු මට්ටමේ සිටි දක්‍ෂ නිර්මාණශීලී තරුණයෙකි. ඔහු ඔහුගේ කැමරා ආම්පන්නවලින් ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය මගින් පළකර ආයතනයට ලබාදුන් ප‍්‍රසිද්ධිය අති මහත් ය. ෂර්මිලා ඒ රාජකාරිය ඔහුට පැවරුවාය.

‘‘ ඕක කරන්න එපා මැඩම්. ඔය මිනිහා අපේ දේශපාලන ව්‍යාපාපරයේ කෙනෙක් නොවෙයි. විපක්‍ෂයේ එකෙක්.’’ වෘත්තීය සමිති කීය.

‘‘මට දේශපාලනය වැඩක් නැහැ. මට ඕන නිර්මාණශීලී මිනිසුන්ගේ වැඩ.’’ ඕ කීවාය.

ෂර්මිලා රාජපක්‍ෂ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කළාය. සෝෂල් මීඩියා පමණක් නොව, රටේ ප‍්‍රසිද්ධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සමඟ ඕ සමීප ඇසුරක් ගොඩනගා ගත්තාය. එක් පැත්තකින් සතුන් වත්තේ නව වෙනස්කම් හා නිර්මාණශීලි වැඩසටහන් පටන් ගන්නට සේවකයන්ට අභියෝගයක් ලබාදුන් ඕ අනිත් පැත්තෙන් ඒවාට නොමඳ ප‍්‍රසිද්ධියක් ලබා දෙන්නට කටයුතු කළාය.

රතුපාට නාගයා ගැන, අලූත් යෝධ පිඹුරන් ගැන, කළු හංසයෝ ගැන, ධෝරා සිංහ පැටවා ගැන, අලූත් හිපපොටේමස් කූඩුව ගැන, පින්නවල නිවුන් අලි පැටව් ගැන රටපුරා ලොකු ප‍්‍රසිද්ධියක් ලැබෙන්නට විය. දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානය මහා පරිමාණයෙන් දෙහිවල සතුන් වත්ත කෙරෙහි යොමුවන්නට පටන් ගත්තේ ඉන් පසුවයි.

දෙහිවල සතුන් වත්තේ ආදායම බලා සිටියදී ඉහළ නගින්නට විය. මහජන ආකර්ෂණය එන්න එන්නම වැඩිවීම තුළ ආදායම වැඩිවූවා සේම එහි සිටින සතුන්ගේ ජීවන තත්ත්වය ද බලා සිටියදී යහපත් අතට පරිවර්තනය වන්නට පටන් ගති.

දෙහිවල සතුන් වත්ත යනු සතුන් ඇති කරන හුදු සතුන් වත්තක් පමණක් ම නොවේ. එය අක්කර 23ක භූමිභාගයක් පුරා පවතින පරිසර පද්ධතියකි. අලංකාර මල් වර්ග, අලංකාර වෘක්‍ෂ ලතාවන්, දුර්ලභ ශාක හා පැළෑටි සහිත උද්‍යානයක් ද මෙහි තිබේ. සංචාරකයන් මෙහි එන්නේ සතුන් නරඹන්නට පමණක් නොවේ. අලංකාර උයන් වතුවල ගහකොළ අතර ඇවිදිමින් සැරිසරමින් නිදහසේ වාඩි වී අලස සුවය ගෙවන්නට ද ගිමන් හරින්නට ද විවේකීව නිදහස භුක්ති විඳින්නන්ට ද කදිම භූමි භාගයක් කොළඹ වෙත්ද? ඒ දෙහිවල සතුන් වත්තයි. පෙම්වතුන්ගෙන් හා පරිසර ලෝලීන්ගෙන් ද නිතර මේ උද්‍යානය පිරී ඇත්තේ ඒ නිසාය. ප‍්‍රචාරක කටයුතු විධිමත් වීමත් සමඟම සංචාරකයන්ගේ පැමිණීම ඉහළ අගයකට පැමිණියේය.

ඒ සමඟම ෂර්මිලා තවත් පැත්තකට අත ගැසුවාය. වසර ගණනාවක් තිස්සේ දේශපාලන බලපුළුවන්කාරකම් යොදාගෙන බලය අනිසි ලෙස භාවිතා කරමින් ඇතැම් පිරිස් ගෙන ගිය ව්‍යාපාරවලට හා අනිසි කටයුතුවලට ඕ වැට බඳින්නට පටන් ගත්තාය.

‘‘දෙහිවල සතුන් වත්ත කියන්නේ රාජ්‍ය දේපළක්. මේක ඇතුලේ කාටවත් බිස්නස් කරන්න බැහැ. සතුන්ගේ මළ අපද්‍රව්‍ය එකතු කරල පොහොරවලට පිට විකුණනවා නම් ඒක ඉහළ පරිපාලනය දැනුවත්ව කළ යුතු වැඩක්. එහෙම නැත්නම් ඒක රාජ්‍ය දේපළ අවභාවිතාවක්…’’ ෂර්මිලා කීවාය.

එසේ කියමින් ඇය යම්කිසි පිරිසක් නිසි ක‍්‍රමවේදයක් නොමැතිව කරගෙන ගිය පොහොර ව්‍යාපෘතිය විධිමත් කරන්නට උත්සාහ කළාය. වසර ගණනක් තිස්සේ මේ පොහොර ව්‍යාපෘතිය ඊට පෙර ක‍්‍රියාත්මක වී ඇතත් ඉන් ලැබෙන ආදායම කොහි ගියේද කියා සඳහනක් නොවීය. ආදායම පොහොර කවර ගැනීමට, ලේබල් ඇලවීමට වියදම් වූවා යන හේතු ගොඩක් පමණක් ඉතිරි විය.

ඊළඟට ඇයගේ අවධානය යොමු වූයේ ආයතනයේ ඉහළ සේවකයෙක් කරගෙන ගිය බලූ ව්‍යාපෘතියක් පිළිබඳවය.

ඉතිහාසයේ දිනක (2014 – 15) ආයතනයේ ඉහළ නිලධාරියෙකුගේ නිවසේ සිටි සුනඛයෙක් නිලධාරියා සමඟ සතුන් වත්තට පිවිස ඇතුලේ සිටින සතුන්ටත් මහා විනාශයක් කළේය. ඌ විසින් සතුන් වත්තේ වටිනා සතුන් දෙදෙනකු වන ආජන්ටිනාවෙන් ගෙන්වන ලද ‘මාරාවන්’ දෙදෙනෙකු මරා දමා තවත් සතුන්ට හානි පමුණුවන්නට උත්සාහ කරන අතරතුර ආරක්‍ෂක අංශවලට අසුවිය.

2015 තවත් දිනක කොහෙන් හෝ පැමිණි පිටස්තර බල්ලෙකු විසින් සපා කා ඉතා සංවේදී සත්ත්ව විශේෂයක් වන මීමින්නන් 13 දෙනෙකු මරා දමනු ලැබීය.

මේ හේතුව නිසා පිටස්තර සතුන්ට අතුළුවන්නට නොදී රැකවල් දැඩි කළ අතර සතුන් වත්ත ඇතුලේ නිල නිවාසවල කිසිදු සුරතල් සතෙක් ඇති කිරීම තහනම් කර චක‍්‍රලේඛයක් ද නිකුත් විය.

එය එසේ තිබියදී එක්තරා ඉහළ නිලධාරියෙක් තම නිල නිවාසයේ ඉතා වටිනා බල්ලන් 4 දෙනෙක් ඇති කරමින් සිටියේය.

මේ බැව් දැනගත් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාවට නගන බව කියමින් නිල නිවාසයේ සුරතල් සතුන් ඇති කිරීමට එරෙහිව නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

අවසානයේ ඒ නිලධාරියා හෝ වෙනත් අයෙක් එම ලිපිය රටේ පොදු සත්ත්ව හිංසනය නම් වූ සානුකම්පිත කාරණාව යටතේ සෝෂල් මීඩියා ගතකළේ සමාජ මාධ්‍යවල වැජඹෙන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තවරියන්ගේ ද අනුදැනුම හා අනුග‍්‍රහය සහිතවය.

සතුන් වත්තේ අලූත් ඞී. ජී. සේවකයන්ට සුරතල් සතෙක්වත් නිවෙස්වල ඇති කරන්නට ඉඩ නොදෙන මට්ටමට දරුණු වී ඇතැයි සමාජ මාධ්‍ය හරහා මතවාද පැතිරෙන්නට විය. එහි කිසි තැනක ඒ නිවස ඇත්තේ සතුන් වත්ත ඇතුලේ කියාවත්, ඇතුලේ නිල නිවාසවල සුරතල් සතුන් ඇති කිරීමට තහනම් කර හේතු සහිතව චක‍්‍රලේඛයක් ඇති බවවත් සඳහනක් නොවීය.

අද අප දන්නා බොහෝ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති පිරිහීමට පත්ව ඇත්තේ දේශපාලන බලය අවභාවිත කරන්නට යෑම නිසාය. ආයතනවල ප‍්‍රධානීන් ලෙස එන සභාපතිවරුන්ට හෝ අධ්‍යක්‍ෂ ජනරාල්වරුන්ට වැඩක් කරන්නට ප‍්‍රධානම බාධකය වී ඇත්තේ විපක්‍ෂයේ වෘත්තීය සමිතීන්ටත් වඩා ආයතනයේ ‘පොහොට්ටුවේ’ වෘත්තීය සමිතීන් ය. මේ නිසා වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයන්ට නිලතල දෙන්නට, වාහන දෙන්නට, වාහනවලට ඉන්ධන ලබා දෙන්නට, සේවයෙන් නිදහස් කරන්නට පමණක් නොව හොර අඹුවන්ට පවා ආයතන සීමා මායිම් නොතකා උසස්වීම් ලබා දෙන්නට සභාපතිවරුන්ට හා අධ්‍යක්‍ෂ ජනරාල්වරුන්ට සිදුව ඇත. කළොත් බලධාරීන්ට ප‍්‍රශ්නයක් නැත. නොකළොත් ප‍්‍රශ්න කන්දරාවක් ය.

ඉෂිනි වික‍්‍රමසිංහ මේ බලපෑම්වලට යටත් වූවාය. ෂර්මිලා බලපෑම් තුට්ටුවකට මායිම් නොකළාය.

අන්තිමේ සතුන් වත්ත තුළ වෘත්තීය සමිති දෙකක් (පොහොට්ටුව හා තවත් එකක්) ඇයට එරෙහිව අවි අමෝරා ගන්නට වූහ.

සතුන් වත්ත තුළ පරිපාලනය දුර්වලය. කිසිත් විශේෂඥ දැනුමක් නැති අධ්‍යක්‍ෂ ජනරාල්වරිය යකා නටමින් සිටියි. සේවකයන්ට හිරිහැර කරන්නීය. ආයතනයේ පරිපාලන කටයුතු අවුල් කරන්නීය. නීතිය අවභාවිත කරන්නීය. සතුන් කෙරෙහි සැලකිල්ලක් නැත. සේවකයන්ට සලකන්නේ නැත. දිනපතා පිරිසිදු කිරීම් නැත. සතුන් වත්ත අපිරිසිදුය. අයහපත් කළමනාකරණය නිසා සතුන් මිය යමින් සිටියි. සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි කියමින් චෝදනා කප්පරක්ය.

වෘත්තීය සමිති මේ චෝදනා ඉස් මත්තට ගනිමින් පසුගිය මාසයේ 17 – 19 දිනවල වැඩ වර්ජනයක් (මානුෂීය) ආරම්භ කළහ. ඒ වැඩ වර්ජනයෙන් ඔවුන් ඉල්ලා තිබුණේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කිරීම හා සතුන් වත්තේ පශු වෛද්‍යවරු වහා ඉවත් කිරීම යන විසඳුම් දෙකක් ය.

එහෙත් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සම්බන්ධයෙන් මේ වෘත්තීය සමිති දෙකට හැර අනෙක් වෘත්තීය සමිතිවලට කිසිදු ප‍්‍රශ්නයක් නැත. වෛද්‍යවරු සම්බන්ධයෙන් ද තත්ත්වය එසේය. අද විපක්‍ෂයේ, ජවිපයේ හා පොහොට්ටුවේ ඇතැම් ක‍්‍රියාකාරිකයන් සිටින්නේ අධ්‍යක්‍ෂ ජනරාල් නිවැරදි යැයි කියන මතයේ ය.

මේ වන විට අධ්‍යක්‍ෂ ජනරාල්වරිය තාවකාලිකව සිය ධුරයෙන් ඉවත් වී රජය වෙත අභියෝගයක් භාර දී අවසන් ය.

‘‘වහාම පරීක්‍ෂණයක් පවත්වන්න. මම ආපු දවසේ ඉඳල වැඩ කළා. නීති විරෝධීව සිදුවුණ යම් යම් අකටයුතුකම් හා වැරදි නතර කළා. ආයතනයේ දියුණුවට අවශ්‍ය පියවර ගත්තා. ආදායම දෙගුණ තෙගුණ කළා. ආයතනය ගැන ජනමාධ්‍යවලින් පුළුල් ප‍්‍රචාරයක් ලබා දී දෙස් විදෙස් සංචාරක ඇස් හා ආකර්ෂණය ආයතනය වෙත දිනා ගත්තා. හැබැයි මට වැරද්ද නම් කවුරු කළත් එකයි.’‘

රජය වහාම පරීක්‍ෂණයක් පවත්වන්න. ඇය කියන්නීය.

අධ්‍යක්‍ෂ ජනරාල්වරිය එසේ කියමින් නොසැලී සිටියි. සතුන් වත්තේ බහුතර සේවකයෝ ද ඇයගේ පැත්තේය. සමාජ මාධ්‍යවල වැඩි සහය මුදල් වියදම් කරන එන්.ජී. ඕ. ක‍්‍රියාකාරීන්ට වුවත් බහුතර සැබෑ පරිසරවේදීන්ගේ සහයෝගය ද ඇයටය. කාටවත් පක්‍ෂ පාත නොවන ඔවුන්ගේ මතය ද මේ වෙලාවේ ෂර්මිලා රාජපක්‍ෂ නිවැරදි බවය. අද මේ වන විට පොහොට්ටුවේ වෘත්තීය සමිතිය හැරුණු විට අනෙකුත් වෘත්තීය සමිති එකමුතුවක් සැරසෙන්නේ ඇයට සහාය දක්වා වෙනත් විරෝධතාවක් පොහොට්ටු යුනියන් එකට එරෙහිව පවත්වන්නටය.

පසුගිය කාලයේ සතුන් වත්තෙන් අතුරුදන් වූ නිල් මාලගිරා ජෝඩුවක් ද පසුගිය බදාදා සතුන් වත්තට ආපසු ලැබුණේ මහජන සහයෝගය නිසාය. ඒ ගිරා ජෝඩුව නැතිවුණේ කෙසේද කියා ද වෙනම පරීක්‍ෂණයක් තිබේ.

සතුන් වත්ත යනු සම්පතකි. එය කාගෙවත් දේශපාලන බලපුළුවන්කාරකම්වලට යටත් නොකළ යුතු ජාතික සම්පතකි. ඉහළ ආදායම් ලැබිය හැකි ආර්ථික මර්මස්ථානයකි. එසේ නම් එය රැක ගැනීම අප සතු වගකීමකි. අප මාධ්‍යයක් හැටියට රජයෙන් ඉල්ලා සිටින්නේ ද එයයි.

කොරෝනා වසංගතයේ අමිහිරි අත්දැකීම් හා කළු පැල්ලම් ගසා බසා දමා හිස ඔසවන ෆීනික්ස් පක්‍ෂියකු බඳු මේ ආයතනයට සාධාරණය ඉටුකළ යුතුද. එසේ නැතිනම් වෘත්තීය සමිති වසංගතය නම් දේශපාලන මඩ ගොහොරුවක ඔබා ගිල්වා හුස්ම හිරකර දැමිය යුතුද.

තීන්දුව හරි අතට හරවන මෙහෙයුම රජයට තවමත් අපහසු නැත……..

විශේෂ ලියුම්කරුවකු විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment