බොරු මත් සාම්පල රස පරීක්‍ෂකට එවීමෙන් රජයේ මුදල් කෝටි ගාණක් අපතේ ගිහිල්ලා

180

දිවයිනේ ඇතැම් පොලිස් ස්ථානවලින් ඉදිරිපත් කෙරුණු බොරු මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂා කිරීම සඳහා රු. තුන්කෝටි හැට ලක්ෂයකට වැඩි මුදලක් අපතේ ගොස් ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් පොලිස් ස්ථානවලින් පසුගිය වසරේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සාම්පල 16,466 කින් සාම්පල 1035 ක කිසිදු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇතුළත් නැතැයි තොරතුරු අනාවරණය විය.

මේ තොරතුරු අනාවරණය වූයේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගියදා ගොස් කළ විමර්ශනයකදීය.

සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය සාම්පලයක් පරීක්ෂා කිරීම සඳහා රු. විසිපන්දහසක පමණ මුදලක් වැයවන බව ගණන් බලා ඇත. කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය නොමැති සාම්පල පරීක්ෂා කිරීමට රු. 35,000 ක පමණ මුදලක් වැයවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පන්සලක කැටයක් කැඩුවත් ඩී.එන්.ඒ. සාම්පල පරීක්ෂාවක් කිරීමට එවීමෙන්ද විශාල මුදලක් වැයවේ.

සාමාන්‍යයෙන් කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන එක් සාම්පලයක ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා රු. විසිදාහක් පමණ වැයවන බව ගණන් බලා ඇත. යම් අපරාධයකට අදාළව සාම්පල කිහිපයක් තිබේ නම් එම මුදල රු. හතළිස් පන්දහසක් දක්වා වැඩිවන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවැනි අනවශ්‍ය සාම්පල නැවත හරවා යැවීමට එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇත.

ඇතැම් පොලිස් නිලධාරීන්ගේ මෙවැනි නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල පිරිසකට පසුගිය කාලයේදී නිකරුණේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමට සිදුවුණා යැයි අනාවරණය වී ඇතැයි ඇමැති විජයදාස රාජපක්ෂ මහතා නිරීක්ෂණ චාරිකාව අවසානයේ පැවසීය. එම නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සම්පූර්ණ වාර්තාවක් භාරදීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment