එළවළු නිෂ්පාදනය කළත් ඒවා බෙදාහැරීමට නිසිවැඩපිළිවෙළක් නොමැතිවීම කනගාටුවට කරුණක්

53

රටේ එළවළු නිෂ්පාදනය වැඩිවූවත් ඒවා බෙදාහැරීමට නිසි ක්‍රමවේදයක් නැති නිසා ගොවියා අසරණ තත්ත්වයට පත්ව ඇතැයි බීජ සහ රෝපණ ද්‍රව්‍ය එකමුතුවේ සභාපති අනුර වීරකෝන් මහතා පැවැසීය.

ගොවීන්ට අවශ්‍ය ගුණාත්මක බීජ අඛණ්ඩව සැපයීම තහවුරු කිරීම තම එකමුතුව මගින් සිදුකරන බවත් එම බීජ භාවිත කිරීමෙන් ගොවියාගේ අස්වැන්න වැඩිවී ඇති බවත් වීරකෝන් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ගොවියා විසින් වගා කරන එළවළු ඔවුන් ළඟටම ගොස් ලබාගැනීමේ නිසි වැඩසටහනක් තවමත් රටේ ක්‍රියාත්මක නොවන බවත් සුපිරි වෙළෙඳ සල් යම් මට්ටමකට පවතින නිසා ගොවියාගේ අස්වැන්න යම් ඉහළ අගයකට අලෙවි කිරීමේ හැකියාව ගොවියාට ලැබී ඇති බවත් ඒ මහතා කීය. අස්වැන්න බෙදාහැරීමේ නිසි ක්‍රමවේදයක් නැති බවට එක් උදාහරණයක් ලෙස වට්ටක්කා වැනි එළවළුවක් විකුණා ගැනීමට නොහැකිව ගොවියා අසරණ වනවිට එම එළවළුව යාපනය වැනි ප්‍රදේශවල එම කාලයේ නොමැති බව පෙනී ීගොස් ඇතැයි ද හෙතෙම කීය. මෙවැනි දේ නිසා පෙනීයන්නේ එළවළු බෙදාහැරීමට නිසි ක්‍රමවේදයක් රජයෙන් හෝ පෞද්ගලික අංශයෙන් ක්‍රියාත්මක නොවන බව ද ඒ මහතා කීය.

පුද්ගලික අංශය දෙමහුන් බීජ නිෂ්පාදනයට අවතීරණ වීමත් සමඟ අමුමිරිස් සාම්ප්‍රදායික බීජ වලින් කිලෝ 4000 ක් ගත් ගොවිපළකින් දෙමුහුන් බීජ වගාකර කිලෝ 15,000 ක්, තක්කාලි කිලෝ 8000 ක් ගත් ගොවිපළකින් තක්කාලි කිලෝ 20,000ක්, වැටකොළු කිලෝ 3000 ක් ගත් ගොවිපළකින් වැටකොළු කිලෝ 10,000 ක්, පිපිඤ්ඤා කිලෝ 3000 ක් ගත් ගොවිපළකින් කිලෝ 15,000 ක්, කරවිල කිලෝ 2000 ක් ගත් ගොවිපළකින් කිලෝ 8000 ක්, වට්ටක්කා කිලෝ 3000 ක් ගත් ගොවිපළකින් කිලෝ 12,000ක්, බඩඉරිඟු කිලෝ 750 ක් ගත් ගොවිපළකින් කිලෝ 2,500 ක් වශයෙන් අස්වැන්න වැඩිවී ඇතැයිද ඔහු කීය.

ඇතැම් පාර්ශ්ව බීජ නිෂ්පාදනය කරනු ලැබූවත් එම ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් බීජ සහ නිෂ්පාදිත ගොවිපළ සහතික කර තිබිය යුතු බවද හෙතෙම කීය. බීජ කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශය තනි තනිව සිදුකිරීම නිසා යම් බාධාවන් ඇතිව තිබෙන බවත් මේ අංශ දෙකම අන්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් රට තුළ ගුණාත්මක බිජ වර්ග සුලභකර දේශීය ගොවියා එකී බීජවලට යොමුකර ගත හැකි බව ද වීරකෝන් මහතා වැඩිදුරටත් පැවැසීය. මෙම මාධ්‍ය හමුවේදී එකමුතුවේ සාමාජිකයන් කිහිපදෙනකු ද අදහස් දැක්වූහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment