“දුම්බර රට” රටවැසියන්ට තිළිණ වෙයි

43

“ඉඳුරට ගංගාව මහවැලි ගලා යන
උතුරට බුලාගල ළඟ කඩඉම ඔන්න
බටහිර කඳු වැටිය මහ කඩඉම ඔන්න
දකුණට බලකඩුව මාතලේ මායින් ඔන්න”

වසර විස්සකට අධික කාලයක් තිස්සේ කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් ඇසුරු කරගෙන නිර්මාණය වූ සේන තෝරදෙනියගේ කාණ්ඩ හතරකින් සමන්විත “දුම්බර රට” ශාස්ත්‍රීය සංග්‍රහයේ පළමු වැනි කාණ්ඩය පසුගිය මාර්තු මස 16 වන සෙනසුරාදා දින ඔහුගේ නුගේගොඩ පිහිටී නිවසේදී සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් එළිදැක්විණි. එමෙන්ම එදින සිදු වූ තවත් සුවිශේෂී අවස්ථාවක් වශයෙන් සේන තෝරදෙණියගේ වෙබ් අඩවිය ජන ගත කිරීම සිදු විය.

එමෙන්ම ග්‍රන්ථයේ අන්තර්ගතය විමසා බැලීමේදී කන්ද උඩ පස් රට හා දුම්බර රට, දුම්බර කඩඉම හා සංඥා නාමය, දුම්බර පිළිබඳ මූලාශ්‍ර, දුම්බර භෞතික පදනම්, පාතදුම්බර හා උඩදුම්බර පැරැණි කෝරළ හා ඒ යටතේ වූ ගම්, පැරැණි ලේකම් මිටිවල හා යටත්විජිත ලේඛනවල මේ කේරල හා ගම් ගැන සඳහන් වූ ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇති ආකාරය දැක ගත හැකිය.

ඒ පිළිබඳ අදහස් විමසමින් අප සේන තෝරදෙණිය සම්බන්ධ කර ගත්තෙමු. ඔහු අදහස්’ දක්වමින් පවසා සිටියේ මෙවන් කතාවකි.

”විශේෂයෙන්ම මම මේ පොත ඔස්සේ උඩරට අධ්‍යයනය කියන අලුත් විෂය ක්ෂේත්‍රයකට මුල පුරනවා. දුම්බර කියලා කියන්නේ මහනුවර රාජධානියේ එක් පරිපාලන ප්‍රදේශයක්. ප්‍රධාන වශයෙන් උඩදුම්බර හා පහත දුම්බර කියලා කොටස් දෙකක් පවතිනවා. මම මේ ශාස්ත්‍රීය ග්‍රන්ථය ප්‍රකාශනයට උත්සාහ කරන අවස්ථාවේ ප්‍රකාශන ආයතන මේ ග්‍රන්ථය භාර ගන්න කැමති වුණේ නැහැ. මේ වගේ වකවානුවක ශාස්ත්‍රීය ග්‍රන්ථ අලෙවි කිරීම පහසඅ නාවන නිසා. නමුත් කරපු අධ්‍යයනය හා මේ ශාස්ත්‍රීය ග්‍රන්ථය ප්‍රකාශ කරන්න අවශ්‍ය නිසා මම මේක කොටස් හතරකට බෙදලා මගේ වියදමෙන් පළවෙනි කාණ්ඩය මුද්‍රණය කළා. පළවෙනි කාණ්ඩයේ පරිච්ඡේද හයයි. ඒ සඳහා උප ග්‍රන්ථ දෙකක් ඇතුළත්. ආශ්‍රිත ග්‍රන්ථ බොහොමයක් පවතිනවා සහ ඒවා ඇතුළත් කරලා තිබෙනවා.

මේ ග්‍රන්ථයට ඇතුළත් වන චිත්‍රය සුවිශේෂියි. මෙය එම චිත්‍රය මානව කක්ෂයට ඇතුළත් වන ප්‍රථම වතාව. ඒක හැංගිලා තිබුණු චිත්‍රයක්. එම චිත්‍රය දුම්බර පුරාණ රජමහා විහාරයක විහාරාධිපති ස්වාමින් වහන්සේ නමකට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දෙන ලද ත්‍යාගයක් ලෙස සලකනවා. එමෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ස්වයං අලේක්‍ය චිත්‍රයක් ලෙස එය විශ්වාස කරනවා.”

සේන තෝරදෙණිය කතෘවරයා වසර විස්සකට අධික කාලයක් සිදු කළ අධ්‍යනයක් ඇසුරින් සකස් කොට ඔබ වෙතට ගෙන ආ මෙම ශාස්ත්‍රීය සංග්‍රහය තුළින් දුම්බර හා ඒ ආශ්‍රිත අපූරූ තොරතුරු රස විදිය හැකිය. විශේෂයෙන් ම ඉතිහාසය, පුරාවිද්‍යාව හා සාහිත්‍ය ආශ්‍රිතව අධ්‍යනය කරන්නට හා ඒ පිළිබඳ උනන්දු ඕනෑම අයෙකුට මේ ඇසුරින් ලබා ගත හැකි දැනුම අතිමහත් ය.

ඉතින් අරගන්න කියවන්න “දුම්බර රට.”

advertistmentadvertistment
advertistmentadvertistment