ලීසිං අරන් මග හරින අය අල්ලන නිලධාරීන්ට බාධා කරන කුමන්ත්‍රණයක්

61

ලීසිං නොගෙවන වාහන හා දේපළ අත්පත් කර ගැනීමට නීත්‍යානුකූල බලය පවරා ඇති නිලධාරීන්ට එම රාජකාරිය කිරීමට බාධා පමුණුවමින් ඔවුන් හා මහජනතාව කුපිත කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති සංජීව කුමාර, ලේකම් මංජු ශ්‍රී ලියනගේ සංවිධායක කේ. කේ. සාන්ත කුමාර රණවීර යන මහත්වරු මෙහි වෙති.

මෙම කුපිත කිරිමේ වැඩපිළිවෙළ සඳහා ලීසිං නොගෙවන සංවිධානාත්මක පිරිස් මූලිකත්වය ගෙන ඇතැයි එම සංගමයේ ලේකම් මංජු ශ්‍රී ලියනගේ මහතා ‘දිවයින’ට පැවසීය.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත අදාළව ව්‍යවස්ථානුකූලව පැවරෙන නෛතික අයිතීන් ඔස්සේ වෘත්තියේ වගකීම ඉෂ්ට කිරීම තම සංගමයේ සාමාජිකයන් විසින් සිදුකරන බවද ලියනගේ මහතා කීය. වාහනයක් අත්පත් කර ගැනීමට යන නිලධාරියාට නීත්‍යානුකූල හැඳුනුම්පතක් භාවිතය සඳහා නිකුත් කර ඇති බවත් මහ බැංකුව මගින් අනුමත මූල්‍ය සමාගම් සඳහා පමණක් දේපළ අත්පත් කර ගැනීමේ රාජකාරිය සිදුකරන බවත් ඔහු පැවසීය.

මේ රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට අත්වැලක් වෙමින් මූල්‍ය සමාගම් සේවා සපයද්දී ලීසිං ගෙවීමට හැකියාව තිබියදීත් ඒවා නොගෙවන තැනට පෙළඹවීම් කිරීමට මෙම කුමන්ත්‍රණකාරී කණ්ඩායම් ගැලවුම්කරුවන් ලෙස ව්‍යාජ රඟපෑමකට නිරතවන බවද ලේකම්රවයා කීය.

මේ නිසා මූල්‍ය සමාගම් ඉදිරියේ දී බරපතළ ආර්ථික ගැටලුවලට ද පත්වීමේ අනතුරක් ඇතැයි කී ඒ මහතා කිසියම් දුෂ්කරතාවක් නිසා යම් අයකුට ලීසිං ගෙවා ගත නොහැකි නම් අදාළ මූල්‍ය ආයතන සමග ඍජුවම සාකච්ඡා කර සහනයක් ලබාදීමට සිය සංගමයට මැදිහත්විය හැකි බවද පැවසීය. ඒ සඳහා සිය සංගමයේ ක්‍ෂණික දුරකථන අංකය වන 070-466 0660 ඇමැතිය හැකි බවද ඔහු කීය.

මෙම සංවිධානාත්මක පුද්ගලයන් කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී පොලිස්පතිවරයා විසින් නව රෙගුලාසි පනවා ඇති බවට ප්‍රචාරයක් ගෙන යන බවත් වැඩබලන පොලිස්පතිවරයා විසින් දැඩිව අවධාරණය කර ඇත්තේ 2000 අංක 56 දරන පනතේ 27 වන වගන්තියේ ඇති පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය සිහිපත් කිරීමක් බවත් හෙතෙම කීය.

කිසි විටෙක දේපළක් අත්පත් කර ගැනීමේදී අදාළ පොලිස් ස්ථානය දැනුවත් කිරීමකින් තොරව හා පොලිස් නිලධාරියකුගේ ආරක්‍ෂාව නොගෙන ක්‍රියානොකරන බවද පැවසූ ලියනගේ මහතා මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියා කලාප නිසා පනතේම සඳහන් පරිදි අදාළ දේපළක අයිතිවාසිකම ලීසිං නොගෙවීමේ අර්බුදය මත පරම අයිතිය ඇති මුල් හිමිකාරීත්වයට හිමිවිය හැකි බවද සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment