සමාජ මාධ්‍ය මර්දනය කරන්න ආවොත් ඊළඟ අරගලය අපි අරඹනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

109

වත්මන් රජය සෑම අවස්ථාවකම මිනිසුන්ගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත් එහි අලු‍ත් ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට, බාධා කිරීමට හා අවහිර කිරීමට කටයුතු කිරීම බවත් ඒ සඳහා මාර්ගගත දත්ත සුරක්ෂිතභාවය යන වචන ඉදිරිපත් කර සමාජ මාධ්‍යවල අයිතිය රජය අතට ගෙන මාධ්‍ය මර්දන ක්‍රියාවලියකට මුල පුරා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය සිදු කරන මෙම මාධ්‍ය මර්දන ක්‍රියාවලිය ත්‍රස්තවාදයක් බැවින් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ජනතාව සමග පාරට බැස මෙම මාධ්‍ය මර්දනයට හා සමාජ මාධ්‍ය පාලනයට විරුද්ධව කටයුතු කරන බවත් සමාජ මාධ්‍යවල න්‍යාය පත්‍ර රටේ ජනාධිපතිගේ හා රජයේ අතට ගැනීමට යන මේ උත්සාහ තුළ තවත් අරගලයක් නිර්මාණය වන බවත් ඒ තුලින් ලොකු පුටු පවා අහිමි වී යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (23දා) දෙවිනුවර ධීවර වරායේ සංචාරය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මාධ්‍ය මර්දනය හා මාධ්‍ය නිදහස විනාශ කිරීමට පිඹුරු පත් සකසනවා වෙනුවට මහ පොලොවේ ජනතාවගේ ගැටලු‍වලට විසඳුම් ලබාදෙන ලෙසත් යම් හෙයකින් මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කළ හොත් එවන් රාජ්‍ය ත්‍රස්තවාදි මර්දනයකට විපක්ෂය කිසි දින ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දෙවිනුවර ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී දෙවිනුවර ධීවර වරායේ ප්‍රශ්න හා ගැටලු‍ සොයා බැලීමටද එක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment