ගෝල්ඩන් කී මොකද වුණේ – උසාවිය නීතිපතිගෙන් අසයි

179

ගෝල්ඩන් කී සමාගමට අයත් දේපළ ඈවර කර හෝ එම සමාගමේ රුපියල් මිලියන 10 කට වැඩි මුදලක් තැන්පත් කර ඇති තැන්පත්කරුවන්ට එකී තැන්පත් මුදලින් සියයට 41 ක මුදලක් කඩිනමින් ගෙවීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2015 වසරේ දී ලබාදී ඇති නියෝගය ප්‍රකාරව ගෙන ඇති පියවර අධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) නීතිපතිවරයාට නියෝග කළහ.

එකී නඩුකරයට අවශ්‍ය සියලු පාර්ශ්ව නියෝජනය කරන නීතිඥවරුන් සමඟ සාකච්ඡා කර එලෙස ගෙවා ඇති මුදල් මෙන්ම ඉතිරි මුදල් ගෙවීමට අනුගමනය කරන ඉදිරි පියවර පිළිබඳවද අධිකරණය දැනුවත් කරන ලෙසටද එස්. තුරෙයිරාජා, අචල වෙන්නප්පුලි හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරියට වැඩිදුරටත් නියෝග කළහ.

ඊට අදාළ ඉල්ලීම් ඇත්නම් ඒවා සවිස්තරව ලබන දෙසැම්බර් 15 වැනි දිනට පෙර නීතිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දෙන ලෙසටද විනිසුරුමඬුල්ල සියලු පාර්ශ්වලට නියෝග කළේය. එම නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත්වූ මෝසමක් කැඳවූ අවස්ථාවේදී එම නියෝග කළ විනිසුරු මඬුල්ල එම නඩුව ලබන මැයි 8 වැනිදා යළි කැඳවන ලෙසටද නියෝග කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment