නිව් ඩයමන්ඩ් නැව නිදහස් කිරීම ගැන බරපතළ සැකයක් තියෙනවා- ඇමැති ප්‍රසන්න රණතුංග

182

චරිත ඝාතනය කරන්න එපා: නැව නිදහස් කළේ විදේශ ලේකම්වරයායි- නාලක ගොඩහේවා (ශ්‍රී.පො.පෙ)

මුළු ක්‍රියාවලියම ක්‍රියාත්මක වන්නේ නැව් සමාගම ආරක්ෂා කිරීමටයි – අනුර කුමාර දිසානායක (ජාජබ)

රුපියල් බිලියන 6.4ක තක්සේරුව හැදීමට මීපා සභාපතිනිය ඇතුළු නිලධාරීන් දැඩිව කැපවුණා -ජේ. සී. අලවතුවල (සජබ)

වන්දියට පයින් ගහන්නේ කව්ද කියා අපි සෙවිය යුතුයි – අජිත් මාන්නප්පෙරුම මහතා (සජබ)

පර්ල් එක්ස්ප්‍රස් මෙන්ම නිව් ඩයමන්ඩ් යන නෞකා දෙකෙන්ම මෙරට පරිසරයට සිදු වූ හානිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට කටයුතු කරන්නැයි ආණ්ඩු පක්ෂයේප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. නිවේදන, ලිපිලේඛන, වාර්තා ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව 27/02 යටතේ විශේෂ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු සැපයීම සිදු විය. අනතුරුව දිනට නියමිතවූ , එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය වන්දි අය කර ගැනීමේ කටයුත්තට අදාළ කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින්, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (සජබ)-

2021 මැයි 21 වන දින කොළඹ වරායට වයඹ දෙසින් ගමන් කළ පර්ල් එක්ස්ප්‍රස් නැව ගිනි ගැනීම නිසා අපේ රටට වූ දැවැන්තම පරිසර හානිය සිදුවුණා. කන්ටේනර් 1486ක් බංකර් ඔයිල් මෙටි්‍රක් ටොන් 322ක්, නයිටි්‍රක් ඇසිඩ් ටොන් 25ක් ඇතුළුව ප්ලාස්ටික් නර්ඩල්ස් ඇතුළු විනාශකාරී ද්‍රව්‍ය රැසක් දින හතක් තිස්සේ ගින්නෙන් ඇවිලිලා දැඩි විනාශයක් සිදුවුණා. මෙයින් ජනතාවට, ධීවරයන්ට, මුහුදු සතුන්ට හානි සිදුවුණා. මෙහි ආර්ථික බලපෑම සහ හානිය මීපා ආයතනය විසින් ඩොලර් බිලියන 6.4 ක් කියා ගණනය කර තිබෙනවා. එය ඉදිරියට තවත් අවුරුදු 10ක් සඳහා තවත් ගණනය කිරීම් කරන බවත් එම ආයකනය සඳහන් තළා. මේ නැවෙන් වූ හානියට ඩොලර් බිලියන 15ක් විතර වන්දියක් ගන්න පුළුවන්. අපි රතිඤ්ඤා දැම්මා අයිඑම්එෆ් එකෙන් ඩොලර් බිලියන 2.4ක් ගන්න කොට. මීපා ආයතනය වන්දි ගන්න කියලා ඒ අවශ්‍ය වාර්තා හදලා දුන්නේ මාස 06ක් ඇැතුළතදී නමුත් මාස 24ක් යනකොටත් නීතිපති දෙපාර්තමේන්තුව නඩු දැම්මේ නෑ. වන්දි ඉල්ලුවේ නෑ. අන්තිමේදී මාස 23කට පසුව තමයි මීපා ආයතනය නීතිපති දෙපාර්තමේන්තුව සාකච්ඡා කළේ. ඒ නිසායි අපට මේක සැකයි කියලා කිව්වේ. මේ වන්දියට පයින් ගහන්නේ කව්ද කියලා අපි හොයන්න ඕනා. අපි මේවා කව්වහම භූමිතෙල් ගෑවුනු ගැරඬියෙක් වගේ දඟලන්න ගත්තා. අපිට මේකට ඕනා තරම් නඩු දාන්න නිදහස තිබුණා. මේ විවාදය ගන්න එපා නඩු කටයුත්තක් තිබෙන නිසා කියලත් කිව්වේ තමන්ගේ විළි වහගන්න මිස රටේ විළිවහන්න නොවෙයි කියලත් මා කියනවා.

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා :

මේ විවාදයට ආණ්ඩුවක් විදියට අපි කොයි මොහොතේවත් විරුද්ධ වුණේ නෑ. ගෝඨාභය ජනාධිපතිතුමා මේ විෂය මට පවරපුවාම මුලින්ම මා කළේ මේ නැව් 02 පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමිය ගෙන්වලා කරුණු විමසීම් කරන එක. මොකද ඒ වෙද්දිත් මේ නැව් 02 පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් ඇතිවෙලා තිබුණා. එතනදි තමයි මම දැනගත්තේ නිව් ඩයමන්ඩ් නෞකාව කිසිදු ඇප මුදලක් නැතුව නිදහස් කර ඇති බව. එම නිසා මම ඒ පිළිබඳව සභාපතිතුමියගෙන් වාර්තා කැඳවා තිබෙනවා. නිව් ඩයමන්ඩ් නැව මොන පදනමකින් නිදහස් කළාද කියල අපිටත් බරපතළ සැකයක් තියෙනවා. ඒ ගැන මේ අමාත්‍යංශය ගැසට් වෙලා තිබුණු ඇමතිවරයා වගකිව යුතුයි.

( විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කෑ කෝ ගැසීම්)

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රී.පො.පෙ) –

ඔබතුමා කතා කළා නිව් ඩයමන් නැව ගැන. එම නැව නිදහස් කිරීම සම්බන්ධයෙන් ඒ වෙලාවේ විෂය භාර ඇමතිවරයා වග කියන්න ඕනි කියලා. අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා සභාගත කරලා හැන්සාඩ් ගත කරලා තියෙනවා එම නැව නිදහස් කළේ ඒ වෙලාවේ විදේශ ලේකම්වරයා ලෙස හිටපු ජයනාත් කොළඹගේ මහතා විසින් දුන්න නියෝගයක් අනුව කියලා.

ඇමතිවරයෙක් මේකට වගකීම ගන්න ඕනි නම් මම හිතන්නේ ඔබතුමා අහන්න ඕන ඔබතුමා ළඟ ඉන්න දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගෙන්. මොකද එතුමා තමයි එවකට විදේශ ඇමතිවරයා. විදේශ ලේකම්වරයා කටයුතු කරන්නේ විදේශ ඇමතිවරයාගේ උපදෙස් අනුවයි. රාජ්‍ය ඇමතිවරයෙකුට බලයක් නැහැ විදේශ ලේකම්වරයාට උපදෙස් දෙන්න. මට කිසිම බලයක් තිබුනේ නැහැ. මම වරාය ඇමති නෙමෙයි. ඒකට කමිටියක් පත් කරනවා නම් අපි ඒකට සම්පූර්ණ සහය ලබා දෙනවා. චරිත ඝාතන කරන්න එපා.

ප්‍රසන්න රණතුංග ඹහතා – මං ගාව රේකෝඩින් තියෙනවා. ඔබතුමා කියන්න නැව නිදහස් කරනවා කියලා ඔබව දැනුවත් කළේ නැද්ද?

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රී.පො.පෙ) – මාව විතරක් නෙමෙයි ජනාධිපතිතුමාවත් දැනුවත් කර තිබෙනවා. එතුමාටත් පුළුවන් වුණාද නැව ආපහු ගේන්න. ඒ නිසා දැන් හරි කමිටියක් දාලා වැරදි අයට දඬුවම් කරන්න.

රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු : සමුද්‍ර පරිසරය ආරක්ෂාව වෙනුවෙන් වගකියන සමුද්‍රජීවි පරිසර අධිකාරියට පුළුල් බලතල අවශ්‍යයි. එම අධිකාරියට තිබෙන කාර්යයන් අතිවිශාලයි.

එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධ නඩුව සිංගප්පූරුවේ දැම්මේ නැවේ හිමිකරුවන් හා රක්ෂණ සමාගම පිහිටුවා ඇත්තේ එම රටේ නිසා. නඩුව දින්නොත් එහි නියෝග ක්‍රියාත්මක කිරීම පහසුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ) : ලෝක ඉතිහාසයේ ලොකුම සමුද්‍ර රසායනික විනාශය මෙයයි. මෙය කවදා යථාවත් වේවිද යන සැකය අපට තියෙනවා. මේ තත්ත්වය තවත් උග්‍රවෙනවා. අතිශය විනාශකාරී තත්ත්වය වන්දියකට ලගු කරන්න වෙලා. සිදුවූ විනාශය මුදලට සමාන කරන්න බැහැ.

සුනාමියෙන් අපට විශාල හානි සිදුවුණා. එයින් අද කතා කරන්න ඉතිරිව ඇත්තේ සුනාමි මුදල් වංචාව ගැන. යුද්ධයෙන් විශාල ජීවිත හා දේපළ හානි ඇති වුණා. අද කතා වෙන්නේ මිග් ගුවන් යානා වංචා, ආයුධ කොමිස් ගැන. කොවිඩ් වසංගතයට ගොදුරු වුණා. එයින් අද කතා කරන්නේ එන්නත් වංචාව ගැන. රටට සිදුවන හානි, ආණ්ඩුවට මුදල් ඉල්ලමක්. නැව් හානියත් ඒ තත්ත්වයට පත්වී තියෙනවා. අද ආණ්ඩුවේ ඇමැතිවරු චෝදනා ගැන කතා කරනවා. එයින් පේනවා යමක් සිදුවී ඇති බව.

අපේ පනත් 20කට වඩා උල්ලංඝනය වී තියෙනවා. සමුද්‍ර ජීවි පනත, නාවික පනත, ජාතික පාරිසරික පනත, දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති උල්ලංඝනය වී තියෙනවා. මේ කිසිවකට එරෙහිව නඩු පවරා නෑ. සමාගම හා විත්තිකරුවා මාරු වෙලා වගේ. මුළු ක්‍රියාවලියම එම සමාගම ආරක්ෂා කිරීම, රැකබලා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මකයි.

නීතිඥ කමිටුවේත් විද්වත් කමිටුවේත් අදහස ශ්‍රී ලංකාවේ නඩු දැමීමයි. සිංගප්පූරුවේ නඩු පැවරීම තුළින් පේනවා කරුණු සඟවා නඩු දැමීමක් බවට.

නැව් සමාගම එංගලන්තයේ නඩුවක් පවරා තියෙනවා වන්දි ගෙවන්න පුළුවන් ඩොලර් මිලියන 26ක් පමණයි කියා. වසර එකහමාරක් වෙනවා අපි තවම ඊට මැදිහත් වී නෑ. අපි වන්දි ලබා ගන්නවාට වඩා වන්දි සීමා නඩුවට පෙනී සිට ජය ගැනීම අවශ්‍ය්‍යයි. වන්දිය සීමා වුණොත් අපට බලාපොරොත්තු වන්දිය ගන්න බැරි වෙනවා. එසේ තිබියදී අපේ වන්දි නඩුවත් සිංගප්පූරුවටම ගෙන ගිහින්. එයින් පේනවා මෙහි මුදල් ගනුදෙනුවක් සිදුව ඇති බවට.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල (සජබ) : මේ නඩුව දවසින් දෙකින් ගොනු කළ හැකි එකක් නොවෙයි. අපේ සාගර සීමාවට හා පරිසරයට විශාල හානියක් වුණා. ඒ සියල්ල නිසි තක්සේරුවක් කළ යුතුයි. ඒ සඳහා විද්වත් කමිටුවක් පත් කළා. ඔවුන් ස්වෙච්ඡාවෙන් වැඩ කළේ. රෑ එක දෙක වනතුරු ඔවුන් වැඩ කළා. මීපා ආයතනයේ සභාපතිනිය ඇතුලු නිලධාරීන් දැඩිව කැපවුණා. ඒ කැපවීම මතයි රුපියල් බිලියන 6.4ක තක්සේරුව ගත්තේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල : නිව් ඩයමන් නැව මුදාහැරීමට විදේශ ලේකම් නාවික හමුදාපතිට ලිඛිත නියෝගයක් කරලා. ඔහුට එසේ කරන්න තියෙන බලය කුමක්ද? ජනාධිපති උපදෙස් දිය යුත්තේ ආරක්ෂක ලේකම්ටයි. නාවික හමුදාපති ආරක්ෂක ලේකම් හැර වෙන ලේකම්වරුන්ගේ නියෝග ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා (ශ්‍රීලපොපෙ) : මීපා ආයතනය තිබිය යුත්තේ පරිසර අමාත්‍යාංශයටයි. එය නාගරික සංවර්ධන අධිකාරියට යටත කළේ කවුද? හානි තක්සේරුව මාස ගණනාවක් අරගෙන තිබෙනවා. උපදේශක කමිටු ගණනාවක් පත් කළා.

අපිට විශේෂඥයන් පිටරටවලින් ගෙන්වන්න උපදෙස් ගත්තා නම් මීට කලින් නඩු දාන්න තිබුණා. සිංගප්පූරුවේ නඩු දාන්න ගත් තීරණය හරි කියලා මා හිතනවා. මේ ගැන මනා අත්දැකීම් ඇති නීති අංශයක් එහි පවතිනවා.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ) : වන්දි මුදල ගන්න ගාස්තු ගෙවන්න කෝටි 150ක් ණයක් ගන්න යනවා.

රුපියල් කෝටි 160ක් ධීවරයන්ට, ගොවීන්ට වන්දි ගෙවන්න ලැබී තිබෙනවා. ඒ වගේම අපිට කෝටි 160ක් මුහුද පිරිසිදු කරන්න වැය වුණා. තවත් කෝටි 150ක් වන්දි ණය අනුමත වෙලා ඒවා ගැන කතාවක් නෑ.

නැව් හිමියන් එංගලන්තයේ දාලා තියෙන නඩුවලට අපි පාර්ශවකරුවෙක් වෙලා නෑ. නඩුව ඔහු දින්නොත් අපිට වන්දි ලැබෙන්නේ නැවේ වටිනාකමට සමාන මුදලක්. මේ ගැන වහාම සොයා බලන්න.

පාර්ලිමේන්තුව අද (12දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment