මූලික විරෝධතා විසිවෙයි – කෙහෙළියට එරෙහි පයිප්ප බට නඩුවත් විභාගයට

120

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුව විභාගයට ගැනීමට ඊයේ (12දා) තීරණය කළේය.

එම නඩුවට පාදක වූ විමර්ශන සිදුකර ඇත්තේ හා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ පූර්ණ අනුමැතිය නොමැතිව බැවින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ගොනුකර ඇති එම අධිචෝදනා පත්‍රය නෛතික බලයක් නොමැති අධිචෝදනා පත්‍රයක් බවට විත්තිය වෙනුවෙන් මූලික විරෝධතාවක් අධිකරණය හමුවේ ගොනුකර තිබිණි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහාධිකරණයක් හමුවේ ගොනු කළ අධිචෝදනා පත්‍රයක නීත්‍යානුකූලභාවය යම් පාර්ශ්වයක අභියෝගයට ලක් කරන්නේ නම් එය රිට් ආඥා පෙත්සමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ යුතු බවත්, එවැනි විරෝධතාවක් පිළිබඳ තීරණයක් ලබාදීමේ නෛතික බලය අභියාචනාධිකරණයට හෝ මහාධිකරණයට නොමැති බවටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා ද මූලික විරෝධතාවක් ඉදිරිපත් කොට තිබිණි.

තම අධිකරණය හමුවේ ගොනුකර ඇති එකී මූලික විරෝධතා සම්බන්ධයෙන් ස්වාධීන තීරණයක් ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මින් පෙර නිකුත් කර තිබූ අනෝමා පොල්වත්ත නඩු තීන්දුව අනුව බාධාවක් නොමැති බව එකී විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පැවසීය.

එම නඩුව විභාගයට දින නියම කිරීම සඳහා ලබන අප්‍රේල් 4 වැනිදා යළි කැඳවීමට දින නියම කෙරිණි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අවශ්‍යතාවක් නොතිබියදීත් එම සංස්ථාවේ මුදල් වැයකර ජී. අයි. පයිප්ප 600ක් මිලදී ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ දහයකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එම නඩුව පවරා තිබිණි. පෙර නඩු දිනයේදී මහාධිකරණය විසින් කරන ලද නියෝගය අනුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණි.

නඩු කටයුතු අවසන් වීමෙන් පසුව විලංගු සහිතව අධිකරණයෙන් ඔහුව යළි පිටතට රැගෙන යනවිට ඔහුගේ දෑතට විලංගු දමා ඇති අයුරු හෝ ඔහුව වීඩියෝගත කිරීමට හෝ මාධ්‍යවේදීන්ට බාධාවන අයුරින්, ඔහු සමග අධිකරණය අසලට පැමිණ තිබූ පුද්ගලයන් කිහිපදෙනෙකු කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment