සැලසුම් හැදුවට 13+ ගේන්න බෑ

920

අන්තර්කාලීන ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කළ යුත්තේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයාගේ ජනවරම බවත් එබැවින් එම ජනවරමට අනුව 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට වත්මන් ජනාධිපතිවරයාට බලයක් නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ සඳහන් කරයි.

එබැවින් කළ යුත්තේ නව ව්‍යවස්ථාවක් මගින් සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අපේක්‍ෂා ඉටුකිරීම බව ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මන්ත්‍රීවරුන් සියලු දෙනා එකතුවී තීරණයක් ගන්නා ලෙස ඉකුත් 09 වැනිදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කරනු ලැබූ ඉල්ලීම සම්බන්ධව අදහස් දක්වමිනි.

තම පක්‍ෂයේ ස්ථාවරය සම්බන්ධව පසුගියදා පැවැති සර්ව පාක්‍ෂික සමුළුවේ දී යෝජනාවලියක් ඉදිරිපත් කළ බව සඳහන් කළ විමල් වීරවංශ මහතා එම යෝජනාවලිය මගින් ඉදිරිපත් කළ යෝජනා 10ක් ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා සිටින බවද කීවේය.

පළාත් පාලන ආයතන මට්ටමට විධායක බලතල උපරිම ලෙස විමධ්‍යගත කිරීම, පාර්ලිමේන්තුවට පවරා ඇති ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය අත්හැරීම හෝ ද්විතීක ආයතනවලට පවරාදීම සිදුනොකිරීම, පළාත් පාලන ආයතන ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලිය තුළ විධිමත් කිරීම, පළාත් සංවර්ධන සභාවට පාර්ලිමේන්තුව විසින් නීතිය මගින් පවරා දෙන විධායක බලය ක්‍රියාත්මක කිරීමට සභාපතිවරයෙක් සහ සම්බන්ධීකාරක අමාත්‍යවරු පත් කිරීම, පළාත් පාලන ආයන මට්ටමින් ජනසභා පිහිටුවීම, උතුරේ කුල පීඩනයට ලක්ව සිටින ජනතාව සවිබල ගැන්වීම, උතුරු සහ නැඟෙනහිර පළාත්හි යුද්ධය නිසා විපතටපත් ජනතාව අයත් වන ආකාරයට ඒකාබද්ධ පුනරුත්ථාපන සහ සංවර්ධන අධිකාරියක් පිහිටුවීම, ශ්‍රී ලංකාවට එල්ලවන ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණ දීමට ඉන්දියානු සාගර වළල්ල සංවිධානය මගින් ඉන්දීය සාගරය සාම කලාපයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය බලාත්මක කිරීම එම යෝජනා දහය අතර වේ. ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර ජනාධිපතිවරුන් 7 දෙනකු විසින් පළාත් සභාවලට එම බලතල ලබා නොදුන්නේ ඇයි දැයි යන කාරණය පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතුය යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය ලිඛිතව ඉදිරි දින කිහිපය තුළදී ජනාධිපතිවරයාට ලබා දීමට කටයුතු කරන බව ශ්‍ර්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

උතුර සහ නැගෙනහිර යන පළාත් සභාවන් එකාබද්ධ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම එකඟ නොවන බව පැවසූ ඒ මහතා පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබා දීම පිළිබඳව සාකච්ජා කරනවා නම් ඊට පෙර එම පළාත් සභාවන් එකාබද්ධ කරන ලෙසට උතුරේ ඇතැම් දේශපාලන පක්ෂ විසින් කරන ඉල්ලීම අත්හරින බවට එම පක්ෂවලින් ස්ථිර පොරොන්දුවක් ද ලබා ගත යුතු බව ද කීවේය.

උපාලි ද සේරම් සහ එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment