හරක් කටා සමග සබඳතා පැවැත්වූ දුරකථන අංක 163 ක් ගැන සොයයි ඒ අතර පොලිසියේ 30 ක්

354

නඳුන් චින්තක නොහොත් හටක් කටා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ පොලිස් නිලධාරීන් ඇතුළු 163 කගේ දුරකථන අංක සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතින බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම දුරකථන අංක අනුව පොලිස් නිලධාරීන් 30 දෙනකුට වැඩි පිරිසක් සිටින බවත් ඒ අතරින් කිහිපදෙනකු මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කතා කළ අය වන අතර එය සද්භාවයෙන් සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇති බවත් තෙන්නකෝන් මහතා කීය.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් මාතර ප්‍රදේශයට ගොස් සිටියදී ආරක්‍ෂක අංශයේම වෙනත් සාමාජිකයන් පිරිසක් අතින් වෙඩි වැදීමෙන් සැරයන්වරයකු මියයෑමේ සිද්ධිය පිළිබඳව ඇතැමුන් විවේචනාත්මක අදහස් පළ කළත් එම නිලධාරීන් දින කිහිපයකට පෙර එම ප්‍රදේශයට ගොස් හරක්කටා සම්බන්ධතා පැවැත්වූ 12 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.

2016 සිට 2023 දක්වා කාලය තුළ හරක්කටා මත්ද්‍රව්‍ය කිලෝ 4000 ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත් එහි වටිනාකම රුපියල් කෝටි 6000 ක් පමණ වන බවත් කී තෙන්නකෝන් මහතා එම මුදල්වලට සිදු වූ දේ ගැන විමර්ශන සිදුකරන බවත් කීය.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තෝරු මෝරු සිටියදී හාල්මැස්සන් අත්අඩංගුවට ගන්නා බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කළත් තෝරුන්, මෝරුන් කවුද යන්න ප්‍රකාශ නොකරන බව කී ඒ මහතා මේ වන විට පොලිසිය විමර්ශන සිදුකර සැකකරුවන් සහ ඔවුන්ගේ කෝටි ගණනක් වටිනා දේපළ පවරාගෙන ඇත්තේ හාල්මැස්සන්ගේ ද යන්න ප්‍රශ්න කර සිටියේය.

මෑතකදී නාවික හමුදාව මගින් දකුණු මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොග භාරගැනීමට සිටියේ අවුරුදු 23 ක තරුණයකු බවත් ඔහු සහ ඔහුට අයත් රුපියල් ලක්‍ෂ 400 ක් පමණ වටිනා ජීප් රථයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් කීය.

ප්‍රධාන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ජාවාරමට එක්වන අලුත් පිරිස් සම්බන්ධයෙන් ද තොරතුරු රැස්කර ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බව ද මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉකුත් 18 දා පැවති මාධ්‍ය හමුවේදී වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment