පෞද්ගලික ආයතනයක් රටින් ගෙන්වන භාණ්ඩ තැපෑලෙන් බෙදීම නතර කරනවා

790

තැපැල් දෙපාර්තමෙන්තුවේ නම භාවිතා කරමින් අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කර විදේශ තැපෑල හරහා ලංකාවට රැගෙන එන භාණ්ඩ බෙදාහැරීම නතර කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ තීරණය කර ඇතැයි එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසීය.

ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ජනතාව චීනය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව ඇතුළු විවිධ රටවලින් අන්තර්ජාලය හරහා මුදල් ගෙවා භාණ්ඩ ඇණවුම් කරන අතර එම භාණ්ඩ කොළඹ කොටහේන ප‍්‍රදේශයේ සිට කි‍්‍රයාත්මක වන පෞද්ගලික සමාගමක් විසින් ලංකාවට රැගෙනවිත් වෙන වෙනම පාර්සල් කර දිනකට පාර්සල් 5000 ක් පමණ මුද්දර ගසා බෙදාහැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීම සිදු කරයි.

‘දිවයින’ මගින් මෙම ගනුදෙනුව අනාවරණය කිරීමත් සමග තැපැල් වෘත්තීය සමිති මෙම තීරණය ගෙන තිබේ.

වැඩිදුරටත් කරුණු දැක්වූ චින්තක බණ්ඩාර මහතා මෙසේ කියා සිටියේය. ජනතාව සිතාගෙන ඉන්නේ දෙපාර්තමේන්තුව මෙම භාණ්ඩ විදේශ රටවල සිට ලංකාවට රැගෙන එන බවයි. නමුත් ඇත්තටම සිදුවන්නේ තැපෑලේ නම භාවිතා කරමින් පුද්ගලික ආයතනයක් ලංකාවට මෙම භාණ්ඩ රැගෙනවිත් ලංකාවේදී තැපැලට භාරදීමයි.

ජාතික ආරක්ෂාවට මෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට ද මෙම භාණ්ඩ හුවමාරුව තර්ජනයක් බව පැවසූ බණ්ඩාර මහතා මෙම ගනුදෙනුව පිටුපස ඩොලර් වංචාවක් ද සිදුවන බව කීය.

මෙම ජාවාරම පිටුපස ආණ්ඩුවේ ප‍්‍රබලයන් රැසක් සිටින බව ද මෙම තීරණය කිසිසේත්ම වෙනස් නොකරන අතර තැපෑලට මුවාවී පුද්ගලික ව්‍යාපාරිකයන්ට ජාවාරම් කිරීමට ඉඩ නොදෙන බව ද කියා සිටියේය.

‘දිවයින’ මේ පිළිබඳව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් විමසීමේදී ඒ මහතා පැවසුවේ අදාළ පෞද්ගලික ආයතනය විසින් තැපෑලට ලබාදෙන ලිපි සහ පාර්සල් භාර ගැනීම තාවකාලිකව නතර කළ බවයි. මෙම ගනුදෙනුව හරහා තැපෑලට පාඩුවක් සිදුවන බව මේ වනවිට පෙනී ගොස් ඇතැයි ද තැපැල්පතිවරයා පැවසීය.

පි‍්‍රයදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment