අපනයන වටිනාකම් සහ අපනයන ආදායම් අතර ඩොලර් මිලියන 345ක පරතරයක් – මහ බැංකුව කියයි

228

රේගුව විසින් වාර්තා කරන අපනයන වටිනාකමට සාපේක්ෂව මහ බැංකුව විසින් වාර්තා කරන ලද රට වෙත ලැබී ඇති අපනයන ඉපැයීම්වල අගය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක පරතරයක් පෙන්නුම් කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව පවසන්නේ මෙම නිරීක්ෂණය අපනයනකරුවන් සිය අපනයන ආදායම් සියයට සියයක් රට වෙත රැුගෙන ආයුතු බවට වන නියාමනයට අනුකූල වන්නේද යන බරපතළ ප‍්‍රශ්නය මතු කරන බවය. රේගුව විසින් වාර්තා කරන එක්සත් ජනපද ඩොලර් මිලියන 985ක මාසික සාමාන්‍ය අපනයනවලට සාපේක්ෂව බැංකු විසින් වාර්තා කරන ලද රට වෙත ලැබී ඇති අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 640ක් පමණ වන බව ද මහ බැංකුව පවසයි.

මෙම පසුබිම තුළ විශේෂයෙන් වසංගතය ආශ‍්‍රිත පීඩන හේතුවෙන් විදේශ විනිමය ලැබීමේ අනෙකුත් ප‍්‍රධාන මාර්ග මත අයහපත් බලපෑම් ඇතිවීමත් සමග ගැටලූකාරී තත්ත්වය මතුවී ඇති බව මහ බැංකුව සඳහන් කරයි. විදේශීය අංශයේ ස්ථායීතාව සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සඳහා අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ හා එම මුදල් ශ‍්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ වැදගත්කම මහ බැංකුව අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙසේ ද පවසයි.

විදේශ විනිමය වෙළෙඳපොළ තුළ මෑත කාලීනව ඇතිවූ ඇතැම් ප‍්‍රවණතා හේතුවෙන් ගැටලූ කිහිපයක් උද්ගත වී ඇති බව ද මහ බැංකුව පවසයි.

විදේශ විනිමය අනුපාතිකයේ වෙනස්වීම් පිළිබඳව අනිසි සම්පේක්ෂණ හේතුවෙන් 2020 වසරේ ජනවාරි සිට 2021 වසරේ ජූලි දක්වා කාලය තුළ අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීමේ මැළිකමක් ඇති බව දක්නට ලැබුණු අතර, එමගින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත වන ලැබීම් සීමා වී, එහි ප‍්‍රතිඵලයක් ලෙස බැංකු අංශය සතු විදේශ විනිමය තැන්පතු ශේෂය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මීට අමතරව, රට තුළ ණය මත අය කරන පොලී අනුපාතික පහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඇතැම් අපනයනකරුවන් සිය යෙදවුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් ණයට ගෙන ආනයනය කිරීම වඩාත් වාසිදායක ලෙස සැලකූ අතර එය වෙළෙඳපොළ මත තවදුරටත් පීඩන ඇති කළේය.

දැනට පවතින දත්ත මගින් පෙන්නුම් කරන පරිදි, අපනයන ඉපැයීම් සියයට සියයක් රට වෙත ලැබේ නම් සහ එම ඉපැයීම් සියයට සියයක් ශ‍්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරේ නම්, දේශීය වෙළඳපොළ තුළට මාසිකව අපනයන ඉපැයීම් වශයෙන් ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 985ක් විය හැකිව තිබුණි. එක්සත් ජනපද ඩොලර් මිලියන 1,670ක් වන මාසික සාමාන්‍ය ආනයන වියදම සමඟ, අපනයන ඉපැයීම් සහ ආනයන වියදම් අතර මාසික සාමාන්‍ය පරතරය එක්සත් ජනපද ඩොලර් මිලියන 685ක් විය හැකිව තිබුණි. එය රට වෙත ලැබෙන වෙනත් විදේශ විනිමය ලැබීම් භාවිත කිරීමෙන් පහසුවෙන් මූල්‍යනය කර ගත හැකිව තිබුණි.

පොදු වශයෙන් පසුගිය සංඛ්‍යාලේඛන මගින් සහ විශේෂයෙන් 2021 ජූලි/අගෝස්තු කාලය තුළ ලැබූ අත්දැකීම් මගින් පෙන්නුම් කරන පරිදි, අපනයන ඉපැයීම් සම්පූර්ණ වශයෙන් මෙරටට රැුගෙන නොඒම හේතුවෙන් සාමාන්‍යයෙන් මාසයකදී ශ‍්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරන අපනයන ඉපැයීම් ප‍්‍රමාණය හා ආනයන වියදම අතර පවතින පරතරය බෙහෙවින් ඉහළය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment