චීනයෙන් ලංකා හමුදාවට බෝම්බ නිෂ්ක්‍රීය රොබෝ යන්ත්‍ර

348

ඇමෙරිකානු බුද්ධි වාර්තාවක් මගින් චීන මහජන හමුදාව මෙරට හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා ගවේෂණ කරමින් සිටින බව වාර්තා කර තිබුණේ පසුගිය සතියේය. දකුණු අප්‍රිකාවේ ජිබුටි හා කාම්බෝජයේ රිම් නාවික හමුදා කඳවුරේ පහසුකම් සංවර්ධනය කිරීමෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් ගණනාවක හමුදා කඳවුරු පිහිටුවීමේ හැකියාව චීනය නිරීක්ෂණය කරමින් ඇතැයි එම වාර්තාවේ සඳහන් විය. ඇත්තෙන්ම මීට වසර තුනකට පෙර එනම් 2021 නොවැම්බර් මාසයේදී පෙන්ටගනය එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය වෙත සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන බවට පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි. ශ්‍රී ලංකාව සමග කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පාකිස්ථානය ඇතුළු රටවල් 13ක් චීනය මේ සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව ඇමෙරිකානු වාර්තාවේ සඳහන් විය. පසුගිය සතියේද නිකුත්ව ඇත්තේ මීට වසර කිහිපයකට පෙර නිකුත් වූ වාර්තාවේ කාබන් කොපියක් බව පෙනේ.

ශ්‍රී ලංකාවට එල්ලවන චීන බලපෑම් පිළිබඳව ඇමෙරිකාව මෙන්ම දිල්ලියද ඉතාම වුවමනාවෙන් බලා සිටින බව අමතුවෙන් කිවයුතු නැත. නිරන්තරව එකම ආකාරයේ බුද්ධි වාර්තා නිකුත්වන්නේ ද එම නිසාය. දකුණු ආසියාවේ චීන බලපෑම්වලට එරෙහිව ඇමරිකාව මෙන්ම ඉන්දියාවද දරන්නේ එකම ස්ථාවරයකි. ඉන්දියාවේ මහ මැතිවරණය ලබන අප්‍රේල් මාසයේදී ආරම්භ වන අතර එය කොටස් කිහිපයකින් පැවැත්වේ. මැතිවරණ දින ප්‍රචාරය කරන විට චීන හමුදා ඉන්දීය දේශසීමාවට ආසන්නයේ හමුදා පෙරහුරුවක් පැවැත්වූ අතර ඒ සඳහා චීන සෙබළියන්ද සම්බන්ධව තිබිණි. ඉන්දීය හමුදාව අග්නි 05 මිසයිලය අත්හදා බලා දින කිහිපයක් ඉක්මවෙද්දී මෙම හමුදා පෙරහුරුව චීනය විසින් පවත්වනු ලැබීය. පෙන්ටගනය සෑම විටම කියන්නේ 2049 වර්ෂය වන විට “චීන ජාතියේ මහා පුනර්ජීවනය” සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් චීනය සූදානම් වන බවය.

පසුගිය 13 වැනිදා චීන මහජන හමුදාව මගින් ශ්‍රී ලංකා හමුදාවට බෝම්බ නිෂ්ක්‍රීය කළ හැකි රොබෝ 18ක් පරිත්‍යාග කරනු ලැබීය. මේ අතර තවත් උපකරණ රැසක් විය. මේ හමුදාමය උපකරණ ප්‍රදානය පිළිබඳව ඉන්දීය මාධ්‍ය විශේෂ අවධානයක් යොමුකර තිබිණි. මේ ආධාර නොමිලයේම සැපයීම දිල්ලි ආණ්ඩුවේ බලධාරීන් සතුටු කිරීමට හේතුවක් වූයේ නැත. නමුත් ලංකා හමුදාවේ තත්ත්වය උසස් කිරීමට අදාළ කරවා පරිත්‍යාගයක් හෝ පිළිගැනීමට ලංකා ආණ්ඩුව නොපැකිල වන්නේ නැත. නමුත් මේ ආධාර ලැබීම බ්‍රාහ්මණයන් කලබලයට පත්කරන්නකි. ශ්‍රී ලංකාවේ දෙවුන්දරතුඩුව ආශ්‍රිත කැලෑබද ප්‍රදේශයක රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය සලකා බලමින් සිටින බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීය. ඉන්දීය මාධ්‍ය චීන ධීවර යාත්‍රාවක් ලංකාවට පැමිණියද කලබල වන්නේ එය චීන හමුදාවේ යාත්‍රාවක් බව කියමිනි.

කවරක් නමුත් චීන ආධාර සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ මෙලෙස සඳහන්ව තිබිණි. චීන හමුදා ප්‍රතිපාදන යෝජනා ක්‍රමය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ විශේෂ උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී ෂෙන්හොන්ග් මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 13 දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කෙරිණි. මෙම උත්සව අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක කර්නල් ගාඕ බින් සහභාගි වූහ. මෙහිදී, පුපුරණ ද්‍රව්‍ය හඳුනාගනිමින් ඒවා විනාශ කිරීමේ හැකියාවක් ඇති REOD 4000 නැමති රෝබෝ යන්ත්‍ර 18 ක් යම් කිසි පුපුරණ ද්‍රව්‍යයක් යම්කිසි ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා රැගෙන යෑමේ විශේෂ හැකියාවක් ඇති රථ 18 ක්, පුපුරණ ද්‍රව්‍යවලින් ආරක්ෂා වීමේ සුවිශේෂී හැකියාවක් ඇති කබා 10 ක් පුපුරණ ද්‍රව්‍යවලින් ආරක්ෂා වීමේ සුවිශේෂී හැකියාවක් ඇති මධ්‍යම ප්‍රමාණයේ රථ 10 ක් සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ තොගයක් පරිතාග කරනු ලැබීය. (උපුටනය අවසන්) ඇත්තෙන්ම පසුගිය වසරේ අගෝස්තු මාසයේ චීන හමුදාව වෙතින් විශේෂ සන්නිවේදන රථ පෙළක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ලබා දී තිබුණු බවත් අපට මතකය.

මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි 2021 වසරේ ලංකාවේ සංචාරයක නිරතවෙමින් පවසා තිබුණේ චීනයේ ව්‍යවහාර මුදල් ඒකකය වන රෙන්මින්බි මිලියන 50 ක හමුදා ආධාර මෙරට හමුදාවට ලබාදෙන බවකි. කොරෝනා වසංගතය අතරතුර ලංකාවට පැමිණි චීන ආරක්ෂක ඇමැතිවරයා මෙසේද පවසා තිබිණි. “චීන ජනාධිපති ෂි ජින් පින් ගේ අනුමැතිය ඇතිව මෙම වසංගතය අතරතුර සිදුකරන මෙම සංචාරය ඉතාමත් වැදගත් සහ අප දෙරටට ඉතාමත් වැදගත් වේ. මගේ මෙම සංචාරයේ අරමුණ නම් අපගේ රාජ්‍යයන් දෙක අතර ඇති කරගත් වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීම, සහයෝගිතාව වර්ධනය කිරීම සහ මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා උපායමාර්ගික අන්‍යොන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමයි. මම විශ්වාස කරනවා මාගේ සංචාරය අප දෙරටේ සහයෝගිතාව හා මිත්‍රත්වය වර්ධනය කරයි කියලා.” ඇත්තෙන්ම එදා පොරොන්දු වූ ආධාර තොගයෙන් එකක් ලෙස මෙම හමුදා රොබෝලා හැඳින්විය හැකිය.

ලංකාවට චීනයෙන් රොබෝලා ලැබීමට වඩා දිල්ලි ආණ්ඩුව කලබල වූයේ මාලදිවයින හා චීනය අතර අත්සන් කෙරුණු ආරක්ෂක ගිවිසුම පිළිබඳවය. මෙය කලාපයේ ඉන්දු චීන ගැටුම තවත් උග්‍ර කිරීමට සමත්විය. මාලදිවයින සහ චීනය අතරේ ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට පසුගිය මාර්තු 04 වැනිදා චීනයේදී අත්සන් තැබුණි. මාලේ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් ගසාන් මවුමුන් සහ චීන ආරක්ෂක අමාත්‍යාංශයේ මේජර් ජෙනරාල් ෂැං විසින් හමුදා ආධාර ගිවිසුමකට අත්සන් කර තිබේ. මාලදිවයින චීනය සමග අත්සන් කළ ගිවිසුම හරහා “මාරාන්තික නොවන” යුද උපකරණ සහ අවශ්‍ය පුහුණුව නොමිලේ ලබා දීමට නියමිතය. මෙම ගිවිසුම නිසා මාලදිවයිනේ ස්වාධීනත්වය සහ ස්වයං පාලනය ශක්තිමත් කරන බව ජනාධිපති මොහොමඩ් මුයිසු අවධාරණය කර තිබිණි. කඳුළු ගෑස් සහ ගම්මිරිස් ඉසින වැනි මාරාන්තික නොවන උපකරණ මාලේ රාජයට බීජිං වෙතින් ලබා දෙනු ඇත. එහෙත් මෙම ආරක්ෂක ගිවිසුම හේතුවෙන්, මාලදිවයිනේ ස්වාධිපත්‍ය සම්පූර්ණයෙන් අවදානමට ලක් වී ඇති බවට මාලදිවයින විපක්ෂ දේශපාලන කණ්ඩායම්, මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසුට චෝදනා කර තිබිණි. නමුත් මොහොමඩ් මුයිසු ජනපතිවරයා ඉන්දියානු හමුදා එරටින් පිට කර තුර්කියෙන් ඩ්‍රෝන යානා මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. මුයිසු ජනපති ධුරයට පත්ව මුලින්ම ගියේ තුර්කියට ය. පසුව චීනය බලා ගියත් ඉන්දියාවට ගියේ නැත. යන දිනයක් හෝ ප්‍රකාශ කර නැත.

පසුගිය ජනවාරි මාසයේ සිය චීන සංචාරය නිමවා නැවත සිය රට බලා පැමිණි මාලදිවයින් ජනපති මොහොමඩ් මුයිසු ප්‍රකාශ කර සිටියේ කුමක්ද?

“මාලදිවයින කුඩා විය හැකි නමුත් එයට හිරිහැර කිරීමට කිසිම රටකට බලපත්‍රයක් ලබා දී නැති බවයි”. මෙය කෙළින්ම ඉන්දියාව එල්ල කර ගැසූ පහරකි. එහිදී ඔහු මෙසේ ද ප්‍රකාශ කර තිබිණි. ඉන්දියන් සාගරයේ අපට කුඩා දූපත් තිබුණත් වර්ග කිලෝමීටර් 900,000ක විශාල ආර්ථික කලාපයක් අපට තිබෙනවා. මාලදිවයින යනු මෙම සාගරයේ විශාලතම කොටස ඇති රටවලින් එකක් මෙම සාගරය නිශ්චිත රටකට අයත් නොවේ. ඉන්දියානු සාගරය එහි පිහිටා ඇති සියලුම රටවලට අයත්. අපි කාගේවත් ගෙවත්තේ නැහැ. අපි ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක්.”

චීන-මාලදිවයින් ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමෙන් දිනකට පසුව එනම් මාර්තු 6 වැනිදා ඉන්දියාව මාලදිවයිනට ආසන්නයේ මිනිකොයි දූපතේ ජටායු නම් නව නාවික කඳවුරක් ආරම්භ කරන ලදී. මෙම දිවයින ඉන්දියාවේ නිරිතදිග වෙරළට ඔබ්බෙන් පිහිටි ලක්ෂද්වීප් දූපත් සමූහයේ කොටසකි. මාලදිවයින චීනයට සමීපවීමට එරෙහිව දිල්ලියේ අලුත්ම උපාය මේ ජටායු කඳවුරෙන් පැහැදිලි වේ. මෙම නාවික කඳවුර ආරම්භ කිරීමේ උත්සවයේදී ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් හරි කුමාර් කියා සිටියේ වර්තමාන භූ දේශපාලන වර්ධනයන් සැලකිල්ලට ගනිමින් ඉහළ අධීක්ෂණයක හදිසි අවශ්‍යතාවය හඳුනා ගැනීම ඉතා වැදගත් බවයි. එය චීනයට දුන් පණිවුඩයකි. එසේම මුරුසියේ එක් දූපතක ඉන්දියාවේ මූල්‍ය ආධාර සහිත ගුවන් පථයක් සහ ජැටියක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි. අප්‍රිකාවට ආසන්න බටහිර ඉන්දියන් සාගරයේ පිහිටි මෙම ස්ථානය ඉන්දියාවට මූලෝපායික වශයෙන් වැදගත් වේ. ඉන්දියානු සාගර කලාපයේ වඩා ප්‍රබල ආරක්ෂක හවුල්කරුවා ලෙස ඉන්දියාව මතුව ඇති බව කියමින් ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං පුරසාරම් දොඩන්නේ චීනයට පණිවුඩයක් දීම සඳහා ය. “ඉන්දියන් සාගර බලයට බවට අපි සහතික වී තිබෙනවා.” යනුවෙන් ඉන්දීය ඇමැතිවරයා සඳහන් කර තිබිණි. එහෙත් මේ සියල්ල සඳහා ඇමෙරිකාවේ සහය දිල්ලියට ලැබේ. ඉන්දියාව ඕමානයේ ඩුක්ම් වරායට සැපයුම් ප්‍රවේශයක් ද ලබාගෙන ඇත්තේ චීන ආධිපත්‍යට එරෙහිව තමන්ගේ බලය බේරාගැනීමට ය. මෙය නොනවතින අරගලයකි.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment