රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීමට බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළක් ඇරැඹුවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

97

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීර්ණ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකිකයන් ලෙස අප ස්වඋත්සාහයෙන් නැඟීසිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (23දා) පැවති උත්සවය අමතමිනි.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තැබීමට හැකි සංකල්පයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්වවිද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

ලලිත් ඇතුළත්මුදලි පදනම විසින් ශ්‍රී ලංකා තාරුණ්‍යයට ජාත්‍යන්තර වෙළෙඳපොළට ස්වාධීනව සම්බන්ධවීමේ පහසුකම ලබාදෙන ඩිජිටල් අවකාශයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණි.

ජන්ම දින සැමරුම ඇමතූ ලලිත් ඇතුලත්මුදලි පදනමේ සභාපති, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, සිහිපත් කර සිටියේ ලලිත් ඇතුලත්මුදලි මහතා ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය හඳුන්වා දුන් බවයි.

එතුමා ජීවත්ව සිටියා නම් එම ක්‍රමය තවත් විධිමත් කර ඉදිරියට ගෙන යනු ඇති බව සඳහන් කළ රවී කරුණානායක මහතා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දැයේ දරුවන්ගේ අධ්‍යාපන මං පෙත් විවර කළ බව ද පැවසීය. මහපොළ ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලැබූ දරුවන් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකර ඇති බව ද පෙන්වා දුන් ඒ මහතා අද විවෘත කළ ඩිජිටල් අවකාශය ද මහපොළ ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලබාගත් සිසුන් විසින් නිර්මාණය කරනු ලැබූවක් බව ද සඳහන් කළේය.

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේ, නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමීන්වහන්සේ, සේදවත්ත මංගලාරාමාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක ස්වාමීන් වහන්සේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, වරාය හා නාවුක ඇමති නිමල් සිරිපාල ද සිල්වා, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, කම්කරු සහ විදේශ රැකියා ප්‍රවර්ධන ඇමති මනුෂ නානායක්කාර , විදේශ කටයුතු රාජ්‍ය ඇමති තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර, රවුෆ් හකීම්, අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා සහ හිටපු කථානායක කරු ජයසූරිය, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment