නඩු දෙකක 13කට මරණ දඩුවම

231

කොළඹ මහාධිකරණයේ විභාග වූ මත්ද්‍රව්‍ය නඩුවක විත්තිකරුවන් වූ ධීවරයන් පස්දෙනකුට හා කළුතර මහාධිකරණයේ විභාග වූ මිනීමැරුම් නඩුවක විත්තිකරුවන් 8 කට ඊයේ (27දා) මරණ දඬුවම නියම කෙරිණි. හෙරොයින් කිලෝ 152.341 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම ජාවාරම් කිරීම සහ ජාවාරම් කිරීමට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා තුනට වරදකරුවන් කරනු ලැබූ ධීවරයන් පස්දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (27දා) පස්වරුවේ මරණීය දණ්ඩනය නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය. බුද්ධිමා නමැති ධීවර යාත්‍රාවෙන් හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන එන බවට ලැබුණු තොරතුරක් අනුව දකුණු පළාතේ ගාල්ල මුහුදු සීමාවට ඔබ්බෙන් කිලෝමීටර් 115කට දුරින් ගමන් කරමින් සිටි යාත්‍රාවක් පරික්‍ෂා කළ නාවික හමුදාවට එම යාත්‍රාවේ අයිස් ගබඩාවේ තැන්පත් කොට තිබූ දළ බර හෙරොයින් කිලෝ 200කට අධික ප්‍රමාණයක් සමග විත්තිකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. රස පරීක්‍ෂක වාර්තාව අනුව මෙහි ශුද්ධ බර කිලෝ 152.341ක් බැව් සනාථ වී ඇත. එකී මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන ඒම සඳහා කුඩා බෝට්ටුවකින් මුහුදට ගොස් තිබූ තවත් ධීවරයන් දෙදෙනකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබූ නමුත් නීථිපතිවරයාග් උපදෙස් පරිදි ඔවුන් නිදහස් කිරීමට පියවර ගෙන තිබිණි. විත්තිකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය අනුව ඒවා පෞද්ගලික පරිහරණය සඳහා ලබාගත් ඒවා නොව ජාවාරම් කිරීම සඳහා උපයෝගී කරගැනීමට අපේක්‍ෂා කළ හෙරොයින් බව සනාථ වන බැවින් හා හෙරොයින් ජාවාරමෙන් සමාජයට සිදුවන අතිවිශාල හානිය පිළිබඳ සලකා විත්තිකරුවන්ට ලබාදිය හැකි උපරිම දඬුවම එනම් මරණ දඬුවම නියම කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂමන් පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අවිවාහක ධීවරයකු වන සිය සේවාදායකයා අවාසනාවන්ත ලෙස එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූයේ වයස අවුරුදු 25දී බවත් මේ වනවිට වසර පහක්ම ඔහු රක්‍ෂිත බන්ධනාගාර භාරයේ පසුවන බවත් තුන්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීපා කලුආරච්චි මහත්මිය අධිකරණයට පැවසුවාය. මින් පෙර එවැනි වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති ඔහුට ලබාදිය හැකි අවම දඬුවම නියම කරනා ලෙස ද නීතිඥ ප්‍රදීපා කලුආරච්චි මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. පැමිණිල්ල ඉල්ලා සිටින පරිදි විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීමෙන් සිදුවනුයේ ඔවුන්ගේ දරු පවුල්වල අය තව තවත් පීඩාවට පත්වීමක් පමණක් වන්නේ යැයි කියමින් කරුණු දැක්වූ සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක සහ රන්ජන් සිල්වා යන මහත්වරු අවම දඬුවම නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහිදී අධිකරණය ඇමතූ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා පැමිණිල්ල විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරන්න ඉල්ලා සිටින්නේ මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිසා සමාජයට සිදුවන අතිවිශාල හානිය නිසයි. මත්ද්‍රව්‍ය ජාවාරම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස විතරක් නෙමෙයි මුළු සමාජයම ටිකෙන් ටික මරා දමනවා. අද මෙවැනි ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පාසල් දරුවන් පවා පත්වී තිබෙනවා යැයි පැවසීය.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම විත්තිකරුවන් පස්දෙනාටම ඔවුනට එරෙහිව එල්ල වී තිබූ චෝදනා තුනටම වෙන් වෙන්ව මරණීය දණ්ඩනය නියම කළේය. තමන් නිර්දෝෂී පුද්ගලයන් වන බවත් අහිංසක ධීවරයන් වන තමන් එකී මත්ද්‍රව්‍ය ජාවාරම ගැන කිසිවක් නොදන්නා නිසා තමන්ට මරණීය දණ්ඩනය නියම නොකරන ලෙස විත්තිකරුවෝ පස්දෙනාව විත්ති කූඩුවේ සිට අධිකරණයෙන් ඉල්ලා සිටියහ. චමින්ද රෝහණ ප්‍රනාන්දු, ඇන්ටනී ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, දුලාජ් රවිඳු පෙරේරා, එල්. සුරංග හා තරිදු ජයාමල් ප්‍රනාන්දු සහ මෙම විත්තිකරුවෝ හලාවත ඉරණවිල, කුඩාවැල්ල හා අඹකඳවිල යන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

තියුණු ආයුධවලින් කපාකොටා පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් ඊයේ (27) මරණ දඬුවම නියම කළේය.

කළුතර දකුණ, කලිල් පෙදෙසේ පදිංචිව සිටි එවකට 28 වියේ පසුවූ සෙයියර් මොහොමඩ් මොහොමඩ් ෆාරිස් නමැත්තා 2003 මාර්තු මස 24 දින හෝ ඊට ආසන්න දිනක තියුණු ආයුධවලින් පහරදී කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකොට තිබුණි.

කළුතර, මහ හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මොහොමඩ් සෙයින් මොහොමඩ් හම්සා, 49 හැවිරිදි අබ්දුල් කරීම් මොහොමඩ් රවිස්දීන්, 59 හැවිරිදි මොහොමඩ් මව්ස් මොහොමඩ්, 45 හැවිරිදි මොහොමඩ් රියාස්ඩීන් මොහොමඩ්, 47 හැවිරිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් ජින්නා, 43 හැවිරිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් පිරිදව්ස්, 44 හැවිරිදි මොහොමඩ් සාහීර් මොහොමඩ් සියාම්, 45 හැවිරිදි මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් හෆීල් යන අයවලුන්ට මෙසේ මරණ දඬුවම් නියම කෙරුණි.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ වෙට්ටුමකඩ ප්‍රදේශයේ කලීල් පෙදෙසේ පිහිටි ක්‍රීඩාපිටිය ආසන්නයේ දී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බවට අධිකරණයේදී අනාවරණය විය.

2008 අප්‍රේල් 29 දිනැති එච් සී 577/05 අංක යටතේ නඩුව විභාගයට ගෙන තිබිණි.

වසර 20 කට ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර ඊයේ දහවල් විශාල පිරිසක් කළුතර අධිකරණ භූමිය ඉදිරිපිට රැස්ව සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක සහ බණ්ඩාරගම – ආර්. ඒ. එස්. ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment