මාතෘකාව – ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය – තහනම් වචන මැතිවරණ හා විරෝධතා

165

විපක්‍ෂය ප්‍රමුඛ බොහෝ සමාජ දේශපාලන ක්‍රියාකාරීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට ඉදිරිපත් කරනු ලබන අධිචෝදනා පත්‍රයේ හරය වී ඇත්තේ රට ප්‍රජාතන්ත්‍රවාදී මාවතින් ඒකාධිපති මාර්ගයකට යොමු කරමින් තිබෙන බවය. නීතිඥ සංගමයේ සභාපති ධුරය ද හොබවන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ නීතියේ ආධිපත්‍යයට බපරපතළ ප්‍රශ්න කීපයක් මතුවෙමින් තිබෙන බවත් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජන හා බාධාවන් සිදුවන බවත්ය. ඔහු විසින් එම ප්‍රකාශය කරන ලද්දේ නීති සැසි 50 වැනි සම්මේලනයට සහභාගි වෙමින්ය. නීතියේ ආධිපත්‍යයට ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ ගෞරවය හිමි නොවන්නේ නම් එබඳු රටක සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් හා හිමිකම් ද අභියෝගයට ලක්වන බව නිසැකය. මෙහිදී විධායකය සතු බලය මෙන්ම ඒ සමග බැඳී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හා දේශපාලන සදාචාරය පිළිබඳ සමාජ වටිනාකම් ගැන ද ආණ්ඩුව මෙන්ම විපක්‍ෂය ද වගකීමට බැඳී සිටිති.

විධායක ක්‍රමය විසින් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරනු ලබන විවිධ බලපෑම් ගැන ප්‍රබුද්ධ පුරවැසියන් පමණක් නොව සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයකට ද අද ප්‍රමාණවත් අවබෝධයක් තිබෙන බව ඉතා පැහැදිලිය. ආණ්ඩුවට එරෙහිව වීදි බසින ජනතාව සමස්තයක් ලෙස රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයට බාධා කරන්නන් ලෙස හැඳින්වීම මෙරටේ සුලභ එහෙත් බාල දේශපාලන ප්‍රතිචාරයකි. එසේම ආණ්ඩුවේ ක්‍රියාකාරකම්වලට එරෙහිව සිදුවන විරෝධතා ව්‍යාපාරවල දේශපාලන සබඳතාවක් ද තිබෙන බව අපි දනිමු. එහෙත් ඒ දේශපාලන මැදිහත්වීම් නිසාම විරෝධතා කළු පාටින් පෙන්වා දීමද සුදුසු නැත. අද විපක්‍ෂවල සංයුතිය දෙස බලන විට වුව ද අපට පෙනී යන වැදගත්ම කරුණ වන්නේ ද මේ සමාජ, ආර්ථික, දේශපාලන විනාශයට ඒ ඒ අයගේ ද දායකත්වය අනුග්‍රාහකත්වය ලැබී තිබෙන බවය. එහෙත් ස්වයං විවේචන සිදු කරමින් තමන්ගේ දේශපාලන වගකීම් හඳුනාගෙන, රටේත් ජනතාවගේත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීමට ඉදිරිපත් වීමට ඔවුන්ට බාධාවක් නැත. සැබැවින්ම විය යුත්තේ ද එයයි.

මාතෘකාව - ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය - තහනම් වචන මැතිවරණ හා විරෝධතා

ජනතාවට වැදගත් වන්නේ කව්ද හරි යන්න නොව කුමක්ද හරි යන්න විනා දේශපාලන විකට සංදර්ශන නොවන බව ද සිහිපත් කළ යුතුය. මේ වන විට පළාත් පාලන ආයතන 340 කම බලය කොමාසාරිස්වරුන්ට හා ලේකම්වරුන්ට පැවරී තිබේ. 2018 මාර්තු මාසයේ සිට මහජන කැමැත්තකින් තොරව දේශපාලන බල අධිකාරයේ අභිමතය පරිදි වසරකින් දීර්ඝ කළ එම ආයතනවල බලය රජයේ නිලධාරීන්ට පැවරීම නොමනා ක්‍රියාවක් වුවත් එය සිදු වූයේ ද පාලකයන්ගේ දුබලතා, රුචි අරුචිකම් මත පදනම්වය. දැන් ඔවුන් යළිත් ඒවා යටත් කර ගැනීමේ දුෂ්ට ව්‍යාපෘතිවල නිරතව සිටින බවද පෙනී යයි. හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු මෙන්ම වත්මන් සීමානිර්ණය කමිටුවේ සභාපති ද වන මහින්ද දේශප්‍රිය පැහැදිලිවම සඳහන් කළේ නිල බලය අහෝසි වූ ඒ කිසිදු නියෝජිතයකුට යළිත් ඒ කවර හෝ ආයතනයක පාලනය හිමිවීම වරදක් බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කල්පනා කරන්නේ එම පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වුවත් ඒවායේ හිටපු මන්ත්‍රීවරුන් දිගටම ඒවා පාලනය කළ යුතු බවකි. ඔවුන්ගේ තර්කය ප්‍රජාතන්ත්‍රවාදී සායම්වලින් පලිප්පු දමා තිබෙන්නේ නිලධාරීන්ට මහජන ආයතන නොපැවරිය යුතුය යන ව්‍යාජය ඉදිරියට ගනිමින්ය. එයට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු පක්‍ෂවල මෙන්ම සිවිල් සංවිධානවල ද විරෝධය ප්‍රකාශ වී තිබේ. පොහොට්ටුවේ ප්‍රබලයකු වන බැසිල්, කිසිදු චකිතයකින් තොරව ඒ අලජ්ජී යෝජනාව කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොවන බව පමණක් සඳහන් කරමු. දැන් මේ ආණ්ඩුවේ නීති ඔස්තාර්ලා බවට පත්ව සිටින කිසිවෙක් එය පාර්ලිමේන්තුවට යොජනා කිරීමට ද බැරි නැත. එහෙත් අද පොහොට්ටුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන හානි, විපත් දුරලීමට තිබෙන සියලු අවස්ථාවන් ද අහිමි කෙරෙමින් තිබේ.

අද ආණ්ඩුවේ ගමන්මග කුමක් දැයි ජනතාවට ද ප්‍රශ්නයකි. ලබන 25 වන දිනට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමට වුවමනා සියලු පසුබිම මේ වන විටත් ගොඩනඟා තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා නීතිඥයකු වුවද ඔහුට ආණ්ඩුවේ බාධා කිරීම්වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වී තිබේ. පවතින තත්ත්වය අනුව මැතිවරණ ක්‍රියාදාමයේ බලධාරියා වී සිටින්නේ ආණ්ඩුවේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේය. ඇයට මේ වනවිට රටේ මැතිවරණ පැවැත්වීමේ බලය ආරෝපණය වී තිබෙන සෙයකි. එම ඡන්දය පැවැත්වීම එපා වාහෙට හොදි බෙදීමක් බව මැනවින් දන්නා රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් ඒ වෙනුවෙන් ආණ්ඩුවට ලබාදෙන ලද සහාය ද රහසක් නොවේ. ඒ කුමක් වුවත් විපක්ෂය ප්‍රමුඛ සිවිල් සංවිධානවල ද විවේචනයට ලක්වූ අනෙක් ආන්දෝලනාත්මක රාජ්‍ය නිලධාරියා වූ නීල් හපුහින්න ද එම ධුරයෙන් ඉවත් කර තිබේ. එහෙත් ඔහු වෙනුවට එම ධුරයට පත්වන කිසිවකුට මෙම පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ක්‍රියාවලියේදී විධායකයේ අභිමතයට එරෙහිව ක්‍රියා කළ නොහැකි බව ද අපි දනිමු.

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ක්‍රියා කරන්නේ එයින් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන පොහොට්ටුවට අත්විය හැකි ඛේදනීය පරාජය නිසා බව නිසැකය. එ.ජා.පය ඒ සඳහා ඉදිරිපත් වුවත් ඔවුන්ට එයින් අත්විය හැකි සුවිශේෂ පරාජයක් ද නැත. මේ වනවිටත් පළාත් පාලන ඡන්ද සටන පවතින්නේ ස. ජ. බ. හා ජා.ජ.බ. අතරය. ඔවුන් මහජනයා ඉදිරිපිටට ගොස් ආණ්ඩුවේ මැතිවරණ නීතිය පිළිබඳ කෙබඳු අනාවරණයන් සිදු කළත් ඒවා සුළඟේ පාවී යනු මිසක්, පාලකයන්ගේ අවධානයට යොමු වන්නේ ද නැත. නිදහස් ජනතා කණ්ඩායමේ ප්‍රධානියකු වන ඩලස්, මනරම් උපමා, රූපක යොදා ගනිමින් අද තිබෙන දේශපාලන අනතුර විග්‍රහ කළත් ඒවා ගැන ද මේ ආණ්ඩුව තැකීමක් නොකරයි. එහිම ප්‍රබලයකු වන මහාචාර්ය ජී. එල්. පවසන්නේ භාණ්ඩාගාර ලේකම්ට එරෙහිව යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවකි. ඒ කුමක් වුවත් මේ පාලකයෝ ප්‍රජාතන්ත්‍රවාදයට බිය වී සිටිති. එයට අප්‍රමාණ සතුරුකම් ද කරති. ආණ්ඩුවේ තේමා පාඨයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය තෝරාගෙන තිබුණත් ඔවුන්ගේ තහනම් වචනය මැතිවරණය වී තිබේ.

ජනාධිපති රනිල්, විධායකය මෙහෙයවන ආකාරය විපක්‍ෂයේ මෙන්ම සිවිල් සංවිධාන හා නීතිඥ සංගමයේ ද විවේචනවලට ලක්ව තිබේ. ජනාධිපති නිර්දේශ අනුව සිදු කෙරෙන පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ද නීතිඥ සංගමය ලිපියක් මගින් කරුණු පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ. පොලිස්පති ධුරය සඳහා ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි පමණක් නොව චෝදනාවලට පාත්‍රව සිටින අයෙක් පත් නොකළ යුතු බව ද එම ලිපියෙන් පෙන්වා දී තිබුණි. එයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය අපට දැකබලා ගත හැකිය. මේ වනවිට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 20 වැනි සංශෝධනය පිළිබඳ තත්ත්වය කුමක්ද? ඒ අනුව නම් ජනාධිපතිවරයාට තම අභිමතය පරිදිම ක්‍රියා කළ නොහැකිය. එහෙත් මේ වන විට ශ්‍රී ලාංකික දේශපාලනයේ පමණක් නොව ආර්ථිකයේ ද බලධාරියා බවට පත්ව සිටින්නේ ජනාධිපති රනිල් විනා අන් කෙනෙක් නොවේ.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ක්‍රියාන්විතයේ මහ මොළය ජනාධිපති රනිල්ය. සමස්ත මැතිවරණ ක්‍රියාදාමයම උත්ප්‍රාසයෙන් යුතු නාටකයක් බවට පත්වූයේ ද ඔහුගේ මැදිහත්වීම් නිසාය. ඉහත සඳහන් කළ පරිදිම ඔහු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂකයා ලෙස පෙනී සිටිමින්ම ඒ සම්බන්ධ අයිතීන් අහිමි කිරීමට උපාය සොයමින් සිටියි. ඇත්ත වශයෙන්ම මෙම ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම නොතකන ඒකාධිපතිත්වයක ලක්‍ෂණ විදහා දක්වන්නකි.

ජනාධිපති රනිල් සිය වත්මන් දේශපාලන භාවිතය තුළින් අප මනසට නංවන්නේ එදා ජනාධිපති ලෙස ක්‍රියා කළ ජේ. ආර්. ජයවර්ධන යුගයේ ඇතැම් අප්‍රසන්න අත්දැකීම්ය. ජයවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී ඇඳුම් ආයිත්තම් වලින් සිය ඒකාධිපති වියරුව වසන් කළ පාලකයෙකි. ඔහු මෙරටේ මැතිවරණ කල්දැමීමට මෙන්ම සිය දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීමට ද දැඩි අවධානයක් යොමු කළ චරිතයකි. එකල පාර්ලිමේන්තුවේ සිටි ඔහුගේ පක්‍ෂයට අයත් සියල්ලන්ගෙන්ම දාතම රහිත අස්වීමේ ලිපි ලබාගත් ඔහු එමගින් එහි සිටි මැති ඇමැතිවරුන් සියල්ලන්ම රූකඩ බවට පත්කර ගෙන සිටියේය. විපක්‍ෂයේ ප්‍රබල නායිකාව වූ සිරිමාවන්ගේ ප්‍රජා අයිතිය ද අහිමි කළේ ජයවර්ධන පාලන සමයේදීය. ජයවර්ධන ප්‍රජාතන්ත්‍රවාදයේ කපටි ආරක්‍ෂකයෙක් ලෙස කළ බොහෝ ක්‍රියාකාරකම් දේශපාලන ඉතිහාසයේ සඳහන්ව තිබේ. ඒවා යළිත් සඳහන් කිරීමට අවශ්‍ය නැත. ඔහුගෙන් පසු ජනාධිපති ලෙස පත්වූ මහින්දට ද මෙරටේ අධිකරණයේ ඇතැම් විනිශ්චයන් දිරවාගත නොහැකි විය. ඔහු සිය කීර්තිමත් දේශපාලන වාර්තාවට කළු පැල්ලම් එක්කර ගත් එවක අගවිනිසුරුවරිය ලෙස ක්‍රියා කළ ශිරාණි බණ්ඩාරනායකට දැක්වූ අශිෂ්ට ප්‍රතිචාරය ද අපට මතකය.

අද ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්නයක් වී තිබේද? එහි ගරු විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවකට කැඳවීමේ අභිලාෂය අප තේරුම් ගන්නේ කෙලෙස ද? ඒ විනිසුරුවරුන් විසින් දෙන ලද තීන්දුව විමර්ශනයට ලක් කළ හැකි ප්‍රමාණික දැනුම් සහිත නීතිඥයෝ එබඳු කාරක සභාවක් නියෝජනය කරත් ද? මහජන බලයෙන් වරප්‍රසාද ලබාගත් මැති ඇමැතිවරුන් විසින් එබඳු අතිශය බරපතළ ක්‍රියාවක් විමර්ශනයට ලක් කිරීමට, නීතියේ වරප්‍රසාද මගින් ලැබෙන ආවරණ මත පදනම්ව ඉදිරිපත්වීම මෙන්ම එහි ආදීනව ද අපට සාධාරණය කළ හැකිද? දැනටමත් නිදහස් ජනතා සන්ධානයේ ඩලස් මෙම ක්‍රියාව උත්ප්‍රාසයෙන් අර්ථ දක්වා තිබේ. අධිකරණය බියගැන්වීම මේ ක්‍රියාන්විතයෙහි අරමුණ බව නිසැකය. ඇත්ත වශයෙන්ම මේ අයුරින් කැඳවනු ලබන උගත් හා බුද්ධිමත් විනිසුරුවරුන්ගෙන් ප්‍රශ්න කිරීම පමණක් වුව ද ඒ උතුම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවය දෙදරා යෑමක් විය නොහැකි ද?

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ඉඩ නොදෙන බවට ස. ජ. බ. හා ජා.ජ.බ. නායකයන් විසින් දෙන ලද සියලු පොරොන්දු හුදු වචනවලට පමණක් සීමා වූ බව දැන් පෙනෙන යථාර්ථයයි. තවමත් ඔවූහු ඒ සඳහා අරගල කරන බව සපථ කරති. එහෙත් මේ නායකයන්ට එයට වඩා ඉදිරියට යන පියවරක් ගත හැකි වී නැත. ආණ්ඩුව ද එබඳු එකඟතාවක් ඔවුන් අතර සිදු නොවනු ඇතැයි කල්පනා කරන බව ද පෙනේ. කුමක් වුවත් අද පළාත් පාලන මැතිවරණයට බාධා කිරීම පමණක් නොව වෘත්තීය සංවිධානවලට එරෙහිව තර්ජනය කිරීම හා ජනමාධ්‍ය හැසිරවීම කෙරෙහි ද ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ විවේචන නැඟෙයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නොතැකීම හා ව්‍යවස්ථාවට උඩින් ක්‍රියාකිරීමට පවා ආණ්ඩුව කල්පනා කරන බවක් ද පෙනේ. මේ වනවිට විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතනවල බලය ඩැහැ ගැනීමට ඇතැම් අයට අවශ්‍ය වී තිබෙන බවද පෙනේ. මෙහිදී ඔවුන් ඉදිරියට දමා ඇත්තේ ජනතා නියෝජනය නිලධාරිවාදයට නතු කිරීමේ වරදය. මේ ආණ්ඩුවේ සමහරුන් දේශපාලනයේදී කබරයා තලගොයකු නොව බ්‍රොයිලර් කුකුළකු බවට පත් කර ගැනීමට ද හපන්නු වෙති. එහෙත් විපක්‍ෂය එක් පෙරමුණක් ලෙස සංවිධානය වී මේ පොදු අයිතීන් සම්බන්ධයෙන් ක්‍රියා නොකරන බව ද ආණ්ඩුව දනී.

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල ඉහළ දැමීම පමණක් නොව අධ්‍යාපන, කෘෂිකර්ම හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රවල ගැටලු ආදිය සම්බන්ධයෙන් පොදුවේ ජනතාව තුළ තිබෙන විරෝධය වුව ද නිසි ලෙස සංවිධානය නොවූ ප්‍රතිචාරයකි. ඒවා ස. ජ. බ. හා ජා. ජ. බ. වේදිකාවල විවේචනයට පමණක් සීමා වී තිබේ. ජනතා මතය ආණ්ඩුවට පටහැනි එකක් වුව ද ඒ විරෝධතා සාමුහික බලවේගයක් ලෙස ආණ්ඩුවට දැනෙන අයුරින් ඉදිරියට ගෙනයෑමට විපක්‍ෂ අසමත්ව සිටියි. ඔවුන්ගේ එකම අපේක්‍ෂාව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් ආණ්ඩුවටත් පොහොට්ටුවටත් ලැබිය හැකි පරාජය දේශපාලන තුරුම්පුවක් බවට පත්කර ගැනීමය. එය හොඳින් දන්නා ජනාධිපති රනිල් එයට බාධා කිරීම, මේ විපක්‍ෂවල සියල්ලන් විසින්ම මුහුණ දී සිටින අභියෝගය වී තිබේ. ඇත්තටම ආණ්ඩුවට එරෙහිව භාවිත කරෙන එකම අවිය ද මේ පළාත් පාලන මැතිවරණය වැළැක්වීමේ ක්‍රියාදාමය පමණි. එහෙත් ආණ්ඩුවට ජාත්‍යන්තර ප්‍රසාදය තවමත් ලැබෙන්නේ මේ රට ආර්ථික අගාධයක හිරවී සිටින බව ඔවුන් විසින් ද පිළිගෙන තිබීම නිසා විය හැකිය.

කෙසේ වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරීන් ජනාධිපති රනිල් ගැන තෘප්තිමත්ව සිටින බව ද පැහැදිලිය. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණය, මුල්‍ය ක්‍රියාකාරකම් සියල්ල සිදුවන්නේ ද අයි එම් එෆ් ආයතනයට එකඟ විය හැකි අයුරින්ය. යුරෝපා සංගමය මානව හිමිකම් සංවිධාන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව දෙස විවේචනාත්මක අයුරින් බලන බවක් ද නොපෙනේ. කොහොමටත් ඇමෙරිකාව ප්‍රමුඛ බොහෝ ධනවාදී නායකයන්ට වඩාත් පිළිගත හැකි නායකයා වන්නේ ද ජනාධිපති රනිල්ය. ස.ජ.බය ගැන ඔවුන්ට විශේෂත්වයක් නොතිබෙන්නට ද හැකිය. එහෙත් ජා.ජ.බය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය සාධනීය එකක් යැයි පැවසීම ද දුෂ්කරය. ඔවුන් ඒ දේශපාලනය දෙස බලන්නේ යම් සැකයකින් හා කුතුහලයකින් ද විය හැකිය. ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරෙන විස්තීරණ ණය මේ ආණ්ඩුවට අලුතින් හුස්මක් ගැනීමට දෙන උත්තේජනයක් බව ද ඒ ජාත්‍යන්තරය ඉඳුරා දනී. සැබැවින්ම නිසි ආර්ථික කළමනාකරණයකින් තොරව පමණක් නොව දේශපාලන වශයෙන් ද අයාලේ ගිය රටක වර්තමාන අර්බුදය කෙතරම් පීඩාකාරී වුව ද ඒ වෙනුවෙන් අසාධාරණ හා අයුක්ති සහගත වන්දියක් ගෙවීමට ජනතාවට සිදුව තිබෙන බව ජාත්‍යන්තරය ද තේරුම් ගෙන ඇත.

කුමක් වුවත් ආණ්ඩුවත්, විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහත් විසින් අපේක්‍ෂා කරන ලද විස්තීරණය අනුමත වීම මහා බරක් සැහැල්ලු වීමකි. එහෙත් අපට ලැබෙන ඩොලර් බිලියන 2.9 න් පමණක් මේ රටත් ජනතාවත් ගිලී තිබෙන අර්බුදයෙන් සම්පූර්ණ සහනයක් ලැබිය හැකිද? කුමක් වුව ද හෙට රටේ ආර්ථිකය මෙන්ම දේශපාලනය ද අතිශයින් තීරණාත්මකය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment