ඩොරික් බංගලාව අසලින් ඉපැරැණි සොහොනක්

මීගමුවේ සිට මන්නාරම දූපත දක්වා මුතු කිමිදෙන සහ ධීවර ගම්මාන විශාල ප්‍රමාණයක් මුහුදට යට වෙලා…

8 වන 13 වන සියවස්වලත් මුහුද ගොඩ ගැලූ බවට ඉන්දියාවෙන් සාධක හමුවෙනවා…

සංචාකර නෙත් සිත් බැඳගත් ඩොරික් බංගලාවත් මුහුදට සේදෙයි…

ඩොරික් බංගලාව ඉංග්‍රීසි පාලනය යටතේ තිබුණු වාස්තුවිද්‍යාත්මක අංගසම්පූර්ණම ගොඩනැඟිල්ලක්…

මන්නාරම් පිටි වැල්ලෙ උරුමය සොයා යන ගමන – 06

අරිප්පුවේ මුතු කිමිදීම විශාල කර්මාන්තයක්. එක් කිමිදීමකට යාත්‍රා 4000, 5000 එකතු වෙලා තිබෙනවා. එක යාත්‍රාවක කිමිදුම්කරුවෝ 10ක්, ඔවුන්ගේ අත්උදව්වට තවත් 5 දෙනෙක් ගමන් කරලා තියෙනවා. ඒ අනුව මේ වෙරළ තීරයේ කෙටි කාලයක් තුළ විශාල ජනගහනයක් ජීවත් වෙලා තියෙනවා. එම සේවක පිරිසට විවිධ බඩු භාණ්ඩ අලෙවි කිරීමට විශාල වෙළෙඳාමක් වෙරළ දිගට සිද්ධ වෙලා තියෙනවා. මුහුදු තීරය දිගට ඔවුන්ගේ යාත්‍රා නතර කරලා තියෙනවා. කඳවුර බිමට තරමක් ඈතින් විශාල බෙලි කටු එකතුවක් නිර්මාණය වෙලා තියෙනවා. කුණු වෙච්ච බෙල්ලන්ගේ දුගඳ වෙරළ පුරා දෝරෙ ගලා ගිහින්. මිනිසුන්ගේ ඝෝෂාකාරී බවත් සමග මේ වෙරළ ජනාවාසය අමුතුම තැනක් බව ලැබෙන තොරතුරුවලින් සනාථ වෙනවා. ඒ වගේම 1700 ගණන්වල වුලුෆ්ගැන්ග් හයිඩ්ට් ඇඳපු සිතුවමකුත් මේ වෙරළෙ සැණකෙළි ස්වභාවය ඉස්මතු වෙලා පේනවා. දැන් අප ගමන් කරමින් ඉන්නෙ කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ඒ වෙරළ සැණකෙළියේ සුන්බුන් සෙවීමට…”

කථිකාචාර්යවරයාගේ පැහැදිලි කිරීමට අනුව අතීතයේ සැණකෙළියක් බවට පත්ව තිබූ විසල් වෙරළ තීරය දැකබලාගැනීමට මගේ සිතට විසුමක් නොමැති විය. රියැදුරු මහතා ද වෑන් රථය වේගයෙන් ධාවනය කරනු ලැබුවේ සැණකෙළියක් බවට පත් වී තිබූ වෙරළෙ සුන්බුන් දැකගැනීමට විය හැකිය. එහෙත් අද නම් එම වෙරළ තීරය පාළුය. සැණකෙළි ස්වරූපය ඉතිහාසයත් සමඟ වැලළී ගොස්ය. එහෙත් වෙරළ සමීපයේ ගාම්භීර ස්වරූපයෙන් යුත් ප්‍රතාපවත් ඩොරික් බංගලාවත් ඒ අසල පැරැණි කුලුන අදට ද දැකගැනීමට තිබේ. එමෙන්ම වර්තමානයේ අරිප්පුවට යම් ප්‍රසිද්ධියක් ලැබේ නම් ඒ නටබුන් වූ ඩොරික් බංගලාව නිසාය. 1802 වර්ෂයේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාවරයා ලෙස සිටි ෆ්‍රෙඩ්රික් නෝර්ත්ගේ නිවහන වී ඇති ඩොරික් බංගලාව සැලසුම් කර ඇත්තේ ද ඔහු විසින්ම ය. ඈත මුහුද මෙන්ම නොපෙනෙන ඉසව්වකට ගොඩබිම ද නිරීක්‍ෂණය කළ හැකි ඩොරික් බංගලාව ඉදි වී ඇත්තේ මුහුදට සමීපයෙනි. මහල් දෙකකින් යුක්ත එම බංගලාවේ පහළ මහලය කුඩා නිදන කාමර හතරකින් සමන්විතය. ඉහළ මහල විසල් භෝජනාගාරයකින් සහ නිදන කාමරයකින් ද යුක්ත ය. එම කාමරයෙන් වහළට නැඟිය හැකි පියගැට පෙළක් ද සහිතය. මුහුදට ඛාදනය වී ඇති කොටසෙන් පෙනෙන ආකාරයට ඩොරික් බංගලාව භූගත මහළකින් ද සමන්විතය.

ජේම්ස් කෝඩිනර් විසින් 1807 වර්ෂයේ දී ලියා ඇති ග්‍රන්ථයක සඳහන් ආකාරයට එකල මෙරට තිබුණු වාස්තු විද්‍යාත්මකව සැලසුම් කරන ලද අංගසම්පූර්ණම ගොඩනැඟිල්ල ඩොරික් බංගලාවය. ඩොරික් යන නාමය පටබැඳී ඇත්තේ ඒ තුළින් ඉස්මතු වන ඩොරික් වාස්තු ලක්‍ෂණ නිසාය. ඩොරික් බංගලාව ඉදිකිරීමට ද මුතු බෙලකටු පුළුස්සා හුණු ලබාගෙන ඇති බව වාර්තා වේ. එමෙන්ම ඩොරික් බංගලාව පෙනුමෙන් දැවැන්ත වුව ද ඇතුළත කාමර කුඩා ය. මේ වෙනකොට කැඩී, බිඳී නටබුන් බවට පත්වෙමින් තිබෙන ඩොරික් බංගලාවේ ස්වරූපය සමග එකල එම බංගලාව සුබමාන ගොඩනැඟිල්ලක් ලෙස පැවැති බවට ද සැක නැත. වර්තමානයේ එම ගොඩනැඟිල්ල ගරා වැටෙමින් තිබුණ ද සංචාරක ආකාර්ශනය දිනෙන් දින වැඩි වෙමින් තිබෙන බව වාර්තා වේ. එහෙත් මේ වනවිට ඩොරික් බංගලාව පිහිටි උස් බිම දැඩි ලෙස ඛාදනය වෙමින් තිබෙන බව ද පෙනේ. එමෙන්ම මන්නාරමේ සිට පැමිණි අපට මෙතෙක් ඇස ගැටුණේ මුහුදු රළ මගින් ගොඩබිම හදන වැලි තැන්පතුය. මේ ස්ථානයේ දී දැකගැනීමට ලැබෙනුයේ වෙරළ හරාගෙන පැමිණෙන රළ ගොඩබිම ගිල ගන්නා ස්වරූපයකි. ගොඩබිම හා වෙරළ අතර නිර්මාණය වී තිබෙන උස හෙළ දකිනවිට වෙරළ ඛාදනයේ තරම හොඳින් දර්ශනය වන බව සැබෑය. ඉදිකර ඇති විසල් ගල්වැටියේ ආධාරයෙන් මුහුදු ඛාදනය යම් මට්ටමකින් පාලනය වී තිබුණ ද මේ වනවිට මුහුදු ඛාදනයේ බලපෑම ගල්වැටියට එපිට භූමිය වෙත එල්ල වෙමින් තිබෙන බව ඉස්මතු වේ. පසුගිය වසර දෙසීයක කාලය පුරාවට අරිප්පුවේ වෙරළ ඛාදනය තරම, වෙරළ දිගට මතු වී පෙනෙන ළිංවලින් මෙන්ම පැරැණි ඡායාරූපවලින් හොඳින් ඉස්මතු වන බව ද පැහැදිලිය. උදාහරණයක් ලෙස කාලතුවක්කුවක් උඩ අසුන්ගෙන සිටින මුතු කිමිදීම් පාලකවරුන් වූ කැප්ටන් ඩොනන් සහ කැප්ටන් ලෙගේ ගේ ඡායාරූප අතිශය වැදගත්ය.

“ඩොරික් ගැන සහ අරිප්පු බලකොටුව ගැන කතා කරනකොට බොහෝ අය අල්ලියරාණි ගැනත් ඉස්මතු කරනවා. අල්ලියරාණි යනු කවුද? ඒ ගැන ඉන්දියානු සාහිත්‍යයෙන් අපට අදහසක් ගන්න පුළුවන්. කල්වෙඩ්ඩු කියන පුරාණ ග්‍රන්ථයේ කියැවෙන ආකාරයට මධුරාවේ රජතුමාගේ දුව අල්ලියරාණිට මුතුවලින් කප්පම් ගෙවමින් හිටිය විදානාරයන් වෙඩ්ඩි කියන සෙට්ටියා හා එයාගේ පරවර මුතු කිමිදුම්කරුවෝ කුණාටුවකට අහුවෙලා ලංකාවට ගසාගෙන ඇවිත් තියෙනවා. ඔවුන් ලංකාවේ පදිංචි වෙමින් සිලාවතුර හා හලාවත ප්‍රදේශවල මුතු කිමිදීම් කටයුතුවල නිරත වෙලා තියෙනවා. මේ කතාවේ කියැවෙන්නෙ සුන්දර්පාණ්ඩ්‍ය කියන පාණ්ඩ්‍ය රජුගේ බිරිය වූ පිරෙබාන්දි ගැන වෙන්න පුළුවන්. රජුගේ අභාවයෙන් පසු බලය සම්බන්ධයෙන් ඇය දැක් වූ ක්‍රියාකාරීත්වය සමග විශ්වාස කරන්නත් පුළුවන්. ඒත් ඇය ලංකාවට පැමිණිය බවට තොරතුරු වාර්තා වෙන්නෙ නෑ. මේ කියන අල්ලියරාණිගේ මාලිගය පිහිටා තිබිලා තියෙන්නෙ ඩොරික් බංගලාව තිබුණු තැන කියලත් සමහර අය කියනවා. මේ ගවේෂණයේ දී ඒ සම්බන්ධව කිසිදු සාධකයක් තවම ලැබිලා නෑ. ඒත් කුදිරමලයේ සහ ඊට ඔබ්බට මුහුදේ ගිලී ගිය විශාල භූමියක් තියෙන බව අපි අමතක නොකළ යුතුයි. රාජාවලියේ සඳහන් ආකාරයට මීගමුවේ සිට මන්නාරම දූපත දක්වා මුතු කිමිදෙන ගම් වගේ ම ධීවර ගම්මාන විශාල ප්‍රමාණයක් මුහුදට යට වෙලා තියෙනවා. රාජාවලියේ මේ සිද්ධිය සඳහන් කරලා තියෙන්නෙ කැලණිතිස්ස කතාවට සම්බන්ධවයි. ඩොරික් බංගලාව සමීපයේ තිබුණු අල්ලියරාණි මාලිගයත් මුහුදුබත් වී ඇති බවටත් ජනප්‍රවාදයන් පවතිනවා. මහාවංශයේ සඳහන් ආකාරයට අපි දන්න ප්‍රසිද්ධ කතාව කැලණියට මුහුද ගොඩගැලීම වුණාට ක්‍රිස්තු වර්ෂ 8 වන සියවස හා 13 වන සියවසේ ගොඩබිම් මුහුදට ගිලී ගිය බවට සාධක දකුණු ඉන්දියාවේ තියෙනවා…” පෙළගැසෙන කතාව වෙනතකට හැරුණු බැවින් තිලංක සිරිවර්ධනයන්ගේ කතාවට මම විරාමයක් තැබුවෙමි.

සිප්පිකටු වළං කටු අතර මානව අස්ථි කොටස්

අරිප්පුව ප්‍රදේශයේ මුතු බෙලිකටු තැන්පතුවල ප්‍රමාණය සොයාබැලීමට සහ සමස්ත ප්‍රදේශයේ මිනුම් සිදු කිරීමට ගවේෂණ කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරන අයුරු මම දුටිමි. ඒ සඳහා ඔවුන් උපරිම තාක්‍ෂණය භාවිත කරන අයුරු ද ඇස ගැටිණි. සියවස් ගණනාවක් පැරැණි මානව කෘති තේරුම් ගැනීමට මෙන්ම නවීණ තාක්‍ෂණික උපකරණ සමග හරි, හරියට වැඩ කිරීමට තරුණ පර්යේෂණ කණ්ඩායම අතිශය දක්‍ෂ බව ද පෙන්නුම් කෙරිණි. මිනුම් උපකරණ සවි කරමින් ඩොරික් බංගලාව ඇතුළු ගොඩනැඟිලි සාධක සිතියමකට ඇතුළත් කර ගත් ඔව්හු අවට භූමිය පරීක්‍ෂා කරමින් බෙලිකටු සාධක පැතිරෙන කලාපය ද මැනුම් කටයුතු කළහ. අවසානයේ ඔව්හු වෙරළ තීරය දිගට මුහුදු ඛාදනය නිසා පෑදුණු පාංශු හරස්කඩ ද කිලෝ මීටර් කිහිපයක් දිගට මිනුම් ගත කළහ. වෙරළ දිගට මතු වී ඇති තැන්පතු මෙන්ම ගොඩබිම තුළට ඇති තැන්පතු සොයාබැලීමට තැනින්, තැන කුඩා විදුම් කර, නිරීක්‍ෂණ කරමින් වාර්තාගත කරගන්නා අයුරු ද ඇස ගැටිණි. එම කටයුතු සඳහා දිනකට වැඩි කාලයක් ගත වූ බව ද සැබෑය.

“මේ තමයි ඩොරික් බංගලාව ආශ්‍රිතව හමු වෙන පැරැණිතම මුතු බෙලිකටු තැන්පතුව. පෙනෙන ආකාරයට මේ තැන්පතුව කොටස් දෙකක්. දකුණට කිලෝ මීටරයක් පමණ දුරින් තියෙන්නෙ අලුත් තැන්පතුව. එම තැන්පතුවෙන් පෙනෙන ආකාරයට පෘතුගීසි පාලනයට පූර්වයෙන් වූ මුතු කිමිදීම් සහ ඕලන්ද, බි්‍රතාන්‍ය පාලන කාලවල මුතු කිමිදීම්වල සාධක පවතිනවා. ඒ වගේම 1820 න් පස්සෙ අරිප්පුවේ මුතු කිමිදීම් කටයුතු නතර වෙනවා. ඒ මේ ආශ්‍රිත මුහුදෙ මුතු පරවල වැලි තැන්පත් වෙලා විනාශ වුණ නිසයි. ඒ සමග අලුත් මුතු පර ගවේෂණය කරන්න බි්‍රතාන්‍යයන්ට සිද්ධ වුණා. ඒ වගේ ම මේ තැන්පතුවේ මීටර් 300 ක් පමණ ගොඩබිම තුළට බෙලිකටු තැන්පත් වෙලා තියෙනවා. දළ වශයෙන් කිලෝ මීටර් 2.5 දුරට බෙලිකටු තැන්පතුව විසිරිලා තියෙනවා.

පසුගිය සියවසේ සේදී ගිය කොටස් දළ වශයෙන් මීටර් 100 ක් හෝ ඊට වැඩිය. අඟල් කිහිපයක සිට අඩියක් පමණ ඝනකමට මෙවැනි තැන්පතුවක් හැදෙන්න කොපමණ මුතු බෙල්ලන් අල්ලන්න ඇති ද…” කථිකාචාර්ය සිරිවර්ධනයන් ප්‍රශ්නයක් ඉතිරි කර කතාවට විරාමයක් තැබුවේය.

බෙලිකටු තැන්පතුව තුළින් වෙනත් ජනාවාසවල සාධක මතු කරගැනීමට උනන්දු වන බව ඔවුන්ගේ කතාවෙන් මට පැහැදිලි විය. එමෙන්ම බෙලිකටු තැන්පතුවෙන් ඔබ්බට ද ඔව්හු පරීක්‍ෂණ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස අරිප්පුවේ උතුරු දිසාවෙන්, බෙලිකටු තැන්පතුවට ආසන්නයෙන් ගොඩැල්ලක් සොයාගැනීමට ඔව්හු සමත් වූහ. මේ වනවිට එම ගොඩැල්ල කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කර ඇති අයුරු ද පෙනේ. එහෙත් එම ගොඩැල්ලේ පැරැණි ජනාවාසවල සාධක අදට ද නොනැසී පවතින බව පෙනේ. සිප්පි කටු, වළං කටු තැන්පතු තුළ මානව අස්ථි කොටස් ද සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායම සමත් විය. එය අතිවිශිෂ්ට සොයාගැනීමකි. නව සොයාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට මෙන්ම මට ද ඇත්තේ අසීමිත සතුටකි. සොයාගත් පැරැණි සොහොන ගැන තතු විමසා බැලීමට මම තිලංක සිරිවර්ධනයන් සමීපයට ගියෙමි.

‘මේක පැරැණි සොහොනක්. උතුරට හිස දාලා, බටහිරට මුහුණලා තියෙන භූමදානයක්. නූතන හෑරීම් නිසා ඒ මානව අස්ථි කොටස්වලට හානි වෙලා තියෙනවා. මේ සොහොන ගැන තව පරීක්‍ෂණ කරන්න ඕනෑ. ඒ නිසා ඒ ගැන පසුවට කතා කරමු. ඒ වගේම පුරාවිද්‍යා කැණීමක් කියන්නෙත් විනාශයක්. කැණීමක් මගින් ඉවත් කරන පස් තැන්පතුව එම ස්ථානයේ තැන්පත් වෙන්නෙ සියවස් ගණනාවක ක්‍රියාවලියක් වශයෙන්. ඒ සකස් වුණු පස් තැන්පතුව තමයි කැණීමක් මගින් හාරා ඉවත් කරන්නෙ. ඒ ඉවත් කළායින් පසුව එම තැන්පතුව කිසිම ආකාරයකින් නැවත ස්ථාපිත කරන්න හැකියාවක් නෑ. කැණීම විනාශයක් කියන අදහස පුරාවිද්‍යා විෂය ඇතුළෙදී සංකීර්ණ වගේම ගැඹුරු සංකල්පයක්. කොහොම නමුත් මේ සියවස් ගණනාවක් තිස්සෙ සිදුවුණු තැන්පතුව ක්‍ෂණයකින් මුහුදු රළ මගින් විනාශ කර දානවා. ඒක දැවැන්ත විනාශයක්. ඒත් අපිට ඒක නතර කරන්න බෑ. ඒ වගේ ම වෙරළ දිගට සකස් වෙලා තියෙන බෙලිකටු තැන්පතුව මතු පිටින් පරීක්‍ෂා කිරීම අපහසුයි. ඒත් මුහුදු රළ සිදු කරන විනාශය නිසා ඒ පුරාවිද්‍යා තැන්පතුව පරීක්‍ෂා කරන්න අපිට මහඟු අවස්ථාවක් ලබාදෙනවා. විශේෂයෙන්ම ඩොරික් බංගලාවට ආසන්නයෙන්, උතුරු දෙසින් සිදු වෙලා තියෙන මුහුදු ඛාදනය අතිශය දරුණුයි. එම ඉසව්වේ මුහුදු ඛාදනය නිසා මීටර් 4ක් පමණ උස පාංශු හරස්කඩක් නිර්මාණය වෙලා තියෙනවා. එම පාංශු හරස්කඩ ක්‍රමයෙන් ඩොරික් බංගලාවෙන් දකුණු දෙසට කිලෝ මීටරයකට වඩා ඈතට ව්‍යාප්ත වෙනවා. එහි එක කෙළවරක් දකින්න ලැබෙන්නෙ කුඹුරුවලින් පිට කරන ජලය මුහුදට බැස යන කුඩා ආරුවකින්. එම ස්ථානයෙන් දකුණටත් තරමක බෙලිකටු විහිදීමක් දකින්න ලැබෙනවා. ඒත් සැලකිය යුතු මට්ටමේ ඝණත්වයක් පෙන්නුම් කරන්නෙ නෑ. ඒත් ඩොරික් බංගලාවට උතුරින් සහ දකුණු දෙසින් පිහිටා තිබෙන කුඩා ආරු අතර විශාල බෙලිකටු තැන්පතුවක් පවතින බව අපිට හඳුනාගන්න පුළුවන්. මුහුදු ඛාදනය නිසා දැන් අප සිටින ස්ථානයේ තැන්පතුවේ හරස්කඩ පැහැදිලිව දර්ශනය වෙනවා. හරස්කඩේ ඇතැම් ස්ථානවලින් සෙන්ටි මීටර් 30ක් පමණ ඝනකමින් යුක්තයි. ඒ වගේ ම එම තැන්පතුව ගොඩබිම තුළට මීටර් 300ක් පමණ ව්‍යාප්ත වන ස්වරූපයක් හඳුනාගන්න පුළුවන්. මේ තැන්පතුවෙත් වැඩි කොටසක් මුහුදට සේදී ගිහින් තියෙන බව පේනවා…” බෙලිකටු ස්ථරයේ හරස්කඩ පරීක්‍ෂා කරන අතර කථිකාචාර්යවරයා ඒ ගැන පැහැදිලි කිරීමක් ද කළේය.

සිප්පිකටු වළං කටු අතර මානව අස්ථි කොටස්
අරිප්පු වෙරළේ පාංශු පැතිකඩක් වාර්තා කරමින්

මිනිසුන් විසින් සාගරයෙන් බලහත්කාරයෙන් කොල්ලකා ගෙන පැමිණි මුතු බෙල්ලෝ නැවත සාගරය තමන් සතු කරගන්නා අයුරු පැහැදිලිව පෙනේ. එහෙත් මිනිසුන් සාගරයෙන් කොල්ලකා ගත්තේ ජීවය සහිත මුතු බෙල්ලන්ය. මුහුදු රළ විසින් නැවත සාගරය තුළට රැගෙන යන්නෙ ඒ සතුන්ගෙ කටුය. මුහුදු රැලි පැමිණ බෙලිකටු රැගෙන යන දෙස බලා සිටින විට නදීරත්, ඉන්දිකත් මිනුම් යන්ත්‍රයක් උස්සාගෙන එහාට, මෙහාට යන අයුරු දෑස් මත රැඳිණි. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ මතු වී තිබෙන පාංශු හරස්කඩෙහි පරිමාණුකූල සැලසුමක් සකස් කිරීම ය. මුහුදු මට්ටමේ සිට ගොඩැල්ලේ විහිදීමත් ඒ තුළ බෙලිකවච ස්ථරයේ ව්‍යාප්තියත් සමගින් බි්‍රතාන්‍ය අවධියේ සිදු කළ ඉදිකිරීම් ඩිජිටල් මතකයක සටහන් කිරීම ඔවුන්ගේ සුරතින් යුහුසුලුව සිදු වෙමින් තිබිණි. එමෙන්ම තිලංක සිරිවර්ධනයන් විසින් බෙලිකටු ස්ථරයෙන් විවිධ වර්ගයේ බෙලි කවච ගලවා ගනිමින් අංක යෙදූ බෑග්වල ගබඩා කරන අයුරු ද ඇස ගැටිණි. මම ඔහු සමීපයට ගියෙමි.

බෙලිකටු අතරින් අලුත් සොයාගැනීමක්…

මතු සම්බන්ධයි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment