විහාරයකට කෝවිලකට කුරුන්දිය ළඟින් අක්කර 3ක්?

412

කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භූමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම්වලින් අක්කර 3ක භූමි ප්‍රමාණයක්, බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු කෝවිලක් ඉදිකිරීමට මෙන්ම පොදු පහසුකම් සඳහා වෙන් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ආංශික අධීක්ෂණ කාරක සභා වෙත යෝජනා කරන ලදි.

මේ පිළිබඳව සාකච්ඡා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකාබද්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම කමිටු හමුවට කැඳවා තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා කුරුන්දි රජමහා විහාරය බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පැහැදිලිවම හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කළේය. ඒ බැවින් මෙම භූමිය පුරාවිද්‍යාත්මක ලෙස සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අයිති වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා කමිටු හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

2013 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රය අනුව කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට අක්කර 229 ක් අයත් වන බව මෙහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය. ඨඡී තාක්ෂණය ඔස්සේ හඳුනාගත් එම ප්‍රදේශයේ පවතින ස්මාරක පදනම් කරගනිමින් මෙම භූමි ප්‍රමාණය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබේ. කෙසේ වෙතත් මෙම කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත භූමි ප්‍රදේශය තවදුරටත් තහවුරු කරගැනීම වෙනුවෙන් විද්වත් පර්යේෂණ කණ්ඩායමක් ගවේෂණ කටයුතු සඳහා සූදානමින් පසුවන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කමිටුව හමුවේ පැවසීය. එම නැවත ගවේෂණය මාස 6ක් තුළ සිදුකිරීමට සැලසුම් කර තිබේ. එමගින් පුරාවිද්‍යා වටිනාකමින් යුතු දෑ හඳුනාගෙන එම ප්‍රදේශ පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම් කිරීමටත්, පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ප්‍රදේශ නිදහස් කිරීමට ද අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර දැනටමත් උතුරේ හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන ක්‍රමානුකූලව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට, කමිටුව බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශය කතරගම පූජා භූමිය මූලික කරගත් ආකෘතියට ගොඩ නැගිය යුතු බව කමිටු සාමාජිකයෝ පැවසූහ. කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කළ පිරිස්වලට අහිමි වන ඉඩම් වෙනත් ප්‍රදේශයකින් ලබාදීමට ද අවශ්‍ය කටයුතු සම්පාදනය වන බව බලධාරීහු පැවසූහ.

මේ අවස්ථාව සඳහා කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී (පූජ්‍ය) අතුරලියේ රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද, ජයන්ත කැටගොඩ, එම්.රමේෂ්වරන්, සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරු ද කාරක සභා සභාපතිවරුන්ගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ( ආචාර්ය) සරත් වීරසේකර, (මහාචාර්ය) චන්න ජයසුමන, චාල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරු ද, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීහු ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, කිළිනොච්චි දිසාවේ නියෝජ්‍ය පොලිස්පති, මුලතිව් ප්‍රධාන පොලිස් පරීක්ෂක, උතුරු පළාත් ප්‍රධාන ලේකම් සහ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්, මුලතිව් දිස්ත්‍රික් ලේකම්, මුලතිව් ප්‍රාදේශීය ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඇතුළු නිලධාරීහු ද තවත් මහත්ම මහත්මීහු පිරිසක් ද සහභාගී වූහ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment