වර්ජනයට තර්ජනයක් මුල්වී යාපනය බස් නැවතුමේ නොසන්සුන්තාවක්

105

යාපනයට දුර ගමන් සේවා පෞද්ගලික බස් නැවතුමක් ඉල්ලා විරෝධය:

ගැටලුවලට විසඳුම් සොයන්න කමිටුවක් පත් කරනවා – උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්. චාර්ල්ස්

වර්ජනයට තර්ජනයක් මුල්වී යාපනය බස් නැවතුමේ නොසන්සුන්තාවක්

යාපනයේ දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සේවකයින් විසින් ආරම්හ කොට ඇති බස් රථ වර්ජනය කඩාකප්පල් කිරීමට ලංගම සේවකයින් උත්සහ කිරීමත් සමගම යාපනය ප්‍රධාන බස් නැවතුම් පළ තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණි.

මේ නොසන්සුන්තාවය මැද පෞද්ගලික හා ලංගම බස් රථ සියල්ලක්ම යාපනය ප්‍රධාන බස් නැවතුම් පළෙන් ඒවායෙහි රියදුරන් විසින් ඉවත් කර ගැනීම නිසා ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ගොස් තිබුණි.

දුර ගමන් සේවා බස් රථ නතර කිරීමට වෙනම බස් නැවතුම් පළක් නොමැතිකමට විරෝධය පළ කරමින් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සේවකයින් විසින් මෙම වර්ජනය දියත් කොට තිබුණි. ලංගම බස් සේවකයින් ඊට විරෝධය පළ කිරීමත් සමග දෙපිරිස අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වූ අතර පොලිසිය පැමිණ එම තත්ත්වය පාලනය කරනු ලැබීය. පසුව උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්. චාර්ල්ස් මහත්මිය නිලධාරීන් පිරිසක් සමග යාපනය ප්‍රධාන බස් නැවතුම් පළ වෙත පැමිණ මේ සිද්ධිය විමර්ශනය කොට දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා වෙනම බස් නවතුම් පළක් ලබා දීමට හැකියාවක් ඇද්දැ යි සොයා බැලීමටත් යාපනයේ බස් ධාවනය සම්බන්ධයෙන් මතුව ඇති සෙසු ගැටලුවලට විසඳුමක් ලබාදීම පිණිසත් විශේෂ කමිටුවක් පිහිටුවීමට තීරණය කිරීමෙන් පසුව යාපනයේ බස් රථ වර්ජනය තාවකාලිකව නතර කිරීමට දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සේවකයෝ එකඟ වූ අතර සුපුරුදු පරිදි දුර ගමන් සේවා බස් රථ ධාවනය ආරම්භ කිරීමටත් ඔවුන් එකඟ වී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment