අපේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව කටයුතු කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

46

ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රතු මුහුද ආශ්‍රිතව මේ වන විට සිදුවන සිදුවීම්වලින් ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්, කලාපයේ සහ ලෝක සාමයට ප්‍රශ්න ඇතිවන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ඉකුත් 29 වැනිදා පස්වරුවේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.

ලෝක සාමය සහ කලාපයේ සාමය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව ඉතිහාසයේ සිටම කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳව සෘජු තීරණ ගන්නා බව ද ප්‍රකාශ කළේය. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ වගකීම සහ වගවීම ජනාධිපතිවරයා සිහිපත් කර සිටියේය. ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අංක 36, 37 හා 38 යන කැඩෙට් පාඨමාලාවලට අදාළව කැඩෙට් නිලධාරී නිලධාරිනියන් 16 දෙනෙකු අංක 65 සහ 66 කැඩෙට් නිලධාරි පාඨමාලාවේ නිලධාරීන් 36 දෙනෙකු සහ අංක 17 හා 18 කැඩෙට් නිලධාරීනි පාඨමාලාවේ නිලධාරිනියන් 5 දෙනකු ඇමරිකා එක්සත් ජනපද 2023 කැඩෙට් නිලධාරියකු අධිකාරියට පත් කිරීම මෙහිදී සිදුවිය.

පුහුණුවීමේ දී දක්ෂතා දැක්වූ කැඩෙට් නිලධාරීන් 05 දෙනෙක් හා එක් කැඩෙට් නිලධාරිනියකට සම්මාන පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අපේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව කටයුතු කරනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

විසිරයෑමේ පෙළපාලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ කැඩෙට් පාඨමාලව සාර්ථකව අවසන් කර, විසිර යන නිලධාරින් 58 දෙනාගේ වැදගත්ම දිනය අදයි. ඔබ කිසිවිටෙක තමන් හැදු වැඩු දෙමාපියන් අමතක නොකළ යුතුයි. දෙමාපියන් සහ ගුරුවරුන් ඔබගේ ජීවිතය හැඩගැස්වීමට කැපවුණා. ඒ සියලු දෙනාට ඔබගේ ස්තූතිය පුද කළ යුතුයි. අද ඔබ ගුවන් හමුදාවේ නිලධාරියෙක් ලෙස වැදගත් කාර්යයක් භාර ගන්නවා. ඒ වගේම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම භාරගනු ලබනවා. ඒ වගේම තමන් යටතේ සිටින අයට නායකත්වය ලබාදීමේ වගකීම භාරගන්නවා.

ඔබ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා. එය කිසිවිටෙක අමතක නොකළ යුතුයි.

රට අභ්‍යන්තර සහ විදේශ සතුරු බලවේගවලින් ආරක්ෂා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. අද අභ්‍යන්තර වශයෙන් අපේ රටේ ආර්ථිකය, සමාජ ක්‍රමය, දේශපාලන ක්‍රමය කඩා වැටුණු තත්ත්වයකින් ඉදිරියට එමින් තිබෙනවා. අපට නැවත එම යුගයට යා නොහැකියි. ඒ නිසා මෙතැන් සිට අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා රටේ විශාල නවීකරණයක් සිදු කළයුතුයි. සීග්‍රයෙන් දියණුවන ආර්ථික පරිවර්තනයකට යා යුතුයි. නොදියුණු රටක් ලෙස අපට තවදුරටත් ඉදිරියට යන්න බැහැ. මේ වගකීම ඉටු කිරීමේ දී එහි වාසිය ලැබෙන්නේ ඔබටත්, ඔබේ දූ දරුවන්ටත් බව ප්‍රකාශ කළ යුතුයි. ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති කොමදෝරු තුෂාර වීරරත්න යන මහත්වරු ඇතුළු හමුදා ප්‍රධානීහු සහ ගුවන් හමුදා සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment