දකුණු මුහුදේ වැටලීම: කෝටි 162 ක මත්කුඩු අල්ලයි

291

නාවික හමුදාව මේ මාසයේ කෝටි 500ක කුඩු අල්ලලා

රුපියල් මිලියන 1626 කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 65කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යාත්‍රාවක් හා එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමට සහාය වූ බවට සැක කරන තවත් බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 11 දෙනකු දකුණු මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පෙරේදා (20දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100ක් පමණ දුරින් වූ දකුණු මුහුදු තීරයේදී මෙම වැටලීම සිදු කොට ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගය උර තුනක බහා ප්‍රවාහනය කරමින් තිබී ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීම සඳහා සහය වූ බවට සැක තවත් බහුදින යාත්‍රාවක්ද නාවික හමුදාව විසින් එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු මුහුදේ වැටලීම: කෝටි 162 ක මත්කුඩු අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, බුද්ධි සේවාවන් එක්ව දකුණු මුහුදු තීරයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී, එම මුහුදු තීරය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී එම යාත්‍රාව තුළ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට තැත් කළ හෙරොයින් කිලෝ 65 යි ග්‍රෑම් 076 ක තොගයක් සහිත උර තුනක් සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු මුහුදේ වැටලීම: කෝටි 162 ක මත්කුඩු අල්ලයි

එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනකු ද නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රා දෙක, සැකකරුවන් එකොළොස් දෙනා සහ මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 076 ක පමණ තොගය ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරනු ලැබීය.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 52 ත් අතර වියේ පසුවන අය වන අතර ඔවුහු මාතර, ගන්දර සහ දෙවුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය, සැකකරුවන් එකොළොස් දෙනා සහ බහුදින ධීවර යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නායකත්වය හා මගපෙන්වීම මත, 2024 වර්ෂයේ ජනවාරි මාසයේ සිදුකළ මෙහෙයුම් මගින් පමණක් රුපියල් මිලියන 4800 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇති බව ද නාවික හමුදාව පවසයි.

හේමන්ත රන්දුණු – ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment