ලක් සතොස සුදුලූනු වංචාව බන්දුලම පිළිගනී…. ටෙන්ඩර්වලින් බැහැරව හොර මිල ගණන් යොදලා මේ පළමු හෝ අවසන් වංචාව නෙවේ…

680

සතොස ආයතනය තුළ සුදු ලූනු සම්බන්ධයෙන් දැවැන්ත වංචාවක් සිදුව ඇති බව තමා අවංකවම පිළිගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5 දා* කියා සිටියේය.

එවැනි වංචාවක් සතොසේ සිදුවූ පළමු හෝ අවසන් අවස්ථාව මෙය නොවන බව කී ඇමැතිවරයා පසුගිය ආණ්ඩුව සමයේදී ලක් සතොස ආයතනයේ සිදුවූ දැවැන්ත වංචා හයක් සම්බන්ධ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කි‍්‍රයාත්මක කරන අතර පසුගිය රජය සමයේ සතොස ආයතනයේ පාඩුව බිලියන 28 ක් වූ බවද හෙතෙම කීය.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 27/2 යටතේ සතොස ආයතනයේ සිදුවූ සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රශ්න කිරීමක් කළ අවස්ථාවේදී ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

වරායෙන් රාජසන්තක කළ භාණ්ඩ ලක් සතොසට ලබාදීම ද සම්පූර්ණයෙන් නතරකර තිබුණේ හොර පරෙන් වෙළෙඳ සැලට විකුණන නිසා බවත් එම භාණ්ඩ වරායෙන් ලබාගෙන සතොස අලෙවි ජාලය මගින් විකිණීමට රජය සැලසුම් කළ බවත් ඇමැතිවරයා පැවසීය.

එබැවින් වරායෙන් රාජසන්තක කරන භාණ්ඩ සතොසෙන් ගොස් සාම්පල පරීක්‍ෂා කර බලා මහජන පරිභෝජනයට සුදුසු නම් මිල ගණන් ගෙවා සතොස විසින් මිලදී ගන්නා බවද ඇමැතිවරයා පැවැසීය.

එලෙස සිදු කිරීමේදී මෙම සුදු ලූනු වංචාව සිදුව ඇති බවත් සම්පූර්ණයෙන්ම ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මිල ගණන් හොරට යොදා එම සුදු ලූනු තොගය මිලදීගෙන ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකිරීමටත් ඊට අනුබලදුන් අය සිටීනම් ඔවුන්ද නීතිය හමුවට ගෙන ආ යුතු බවත් කී ඇමැතිවරයා මෙය අධිකරණය හමුවේ පවතින කටයුත්තක් බැවින් අධිකරණය විසින් ඊට සාධාරණය ඉටුකර දෙනු ඇතැයිද පැවැසීය.

මෙම වංචාව හෙළි කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප‍්‍රශ්න කිරීමට අගමැති හෝ තම රජය කටයුතු නොකරන අතර එම වංචාව පිළිබඳ සියලූම කරුණු මේ වනවිට රහස් පොලිසිය විසින් සොයා ගනිමින් සිටින බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment