වත්තට පැන්න පිරිස බය කරන්න හිටපු මන්ත්‍රී අබේරත්න වෙඩි තබයි

230

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක පී.ඩී. අබේරත්න මහතා විසින් පිරිසක් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තබා ඇති බවට ලද පැමිණිල්ලක් මත හොරණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම ගිනි අවියට නීත්‍යානුකූල බලපත්‍ර තිබෙන බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මන්ත්‍රීවරයා හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩමකට ගොස් සිටියදී එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එම ඉඩමේ රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු හිටපු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමෙන් පසුව වෙඩි තැබීම සිදුකර ඇති බව ද සඳහන් වේ.

මන්ත්‍රීවරයා ඔහු සතුව තිබෙන මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇති බව පොලිසිය කීය.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එස්. පනාවල මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
ආර්.ඒ.එස්. ප්‍රේමතිලක- බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment