සමේ පිළිකා වැඩි වෙලා – විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර

461

සුදු වෙන්න එන්නත් දෙන වෛද්‍යවරුන්ට නඩු දාන්න පුළුවන් – විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට

කුමන හේතුවක් නිසා හෝ මෙරට සමේ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පවසන්නීය.

මීට මුල්ව ඇති හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බව කී වෛද්‍ය සමරවීර මහත්මිය ඇතැම් විට සම සුදු පැහැ ගැන්වීම සඳහා භාවිත කරන සමට අහිතකර ආලේපන වර්ග මෙම තත්ත්වයට හේතු වන්නට ඇති බව සඳහන් කළාය.

සුදු හමක් තිබෙන බටහිර වැසියන් අතර සමේ පිළිකාවන් වැඩි බවත් අප රටේ මෙන් තලෙළු සමක් පවතින අය අතර සමේ පිළිකාවන්

හටගැනීම අඩු බවත් ඇය කීවාය.

ඊයේ (14 දා) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ‘ඔබේ සමේ පැහැය ඔබේ අනන්‍යතාවයයි’ යන තේමාව යටතේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය- මෙරට බොහෝ දෙනෙකුට එක රැයින් සිය සම සුදු කරගැනීමේ උන්මාදයක් පවතින බවත් එම උන්මාදය හේතුවෙන් එම පිරිස් දීර්ඝ කාලීනව වකුගඩු රෝග හා පිළිකා ඇති කරන රසදිය අධිකව අඩංගු සම සුදු පැහැ ගන්වන ක්‍රීම් වර්ග භාවිතයට පෙළඹෙන බවත් පැවසුවාය. මෙම සම සුදු පැහැකර ගැනීමට උන්මාදයක් පවතින පිරිස් භාවිත කරන එක්තරා ක්‍රීම් වර්ගයක කිලෝ ග්‍රෑමයකට රසදිය කොටස් දෙලක්ෂ හැත්තෑ දහසක් අඩංගු බව මෑතකදී හෙළි වූ බව කී වෛද්‍ය කහවිට මහත්මිය එම ක්‍රීම් දීර්ඝකාලීනව භාවිත කිරීමෙන් වකුගඩු හා පිළිකා රෝගවලට ගොදුරු වීම සිදු වන බව සඳහන් කළාය.

සම සුදු පැහැ ගැන්වීම සඳහා භාවිත කරන ඇතැම් ස්ටෙරොයිඩ් වර්ග අඩංගු බෙහෙත් භාවිත කිරීමෙන් සම තුනී වේ /රතු වේ ./කැසීමක් ඇති වේ. සමේ කුරුලෑ හා දිලීර ආසාදනයන් ඇති වේ. සමේ රෝග වෛද්‍යවරයකුට සම සුදු කිරීම නොව පැහැපත් කිරීම සිදු කළ හැකි බවත් සාධාරණ ඉල්ලීමකදී වෛද්‍යවරයකුට සම පැහැපත් කිරීම සෙමෙන් හා නිවැරදිව කළ හැකි බවත් වෛද්‍ය කහවිට මහත්මිය කීවාය.

මෙරටට සම සුදු පැහැ ගන්වන අහිතකර ආලේපන වර්ග ගෙන ඒම වැළැක්වීම සඳහා දැනට වසර තුනහමාරක කාලයක් මුළුල්ලේ පාර්ලිමේන්තුවට ගෙන ඒම ප්‍රමාද වෙමින් පවතින විලවුන් හා රූපලාවන්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බව ද ඇය පැවසුවාය.

‘සුදු වීම යනු මිථ්‍යාවකි. කළු පැහැ ගැන්වී ඇති අත් යට කිහිළි සුදු කිරීම සඳහා භාවිත කරන ආලේපන වර්ගවල මෙන්ම සම සුදු පැහැ ගන්වන බ්ලීචින් ක්‍රීම් වර්ග මගින් නොයෙකුත් අතුරු ආබාධ හටගත හැකිය. මේවා අතුරින් බ්ලීචින් ක්‍රීම් ඇතැම් රටවල බෙහෙත් වශයෙන් හෝ භාවිත කිරීමට අවසරයක් ලබා දී නොමැත. එහෙත් අප රටේ මේවා කොපමණ ප්‍රමාණයන්ගෙන් භාවිත වනවාද යන්නවත් කිසිවෙක් නොදනිති. සම සුදු පැහැ කිරීම කියා දෙයක් නොමැති අතර ඇත්තේ සම පැහැපත් කිරීමේ ක්‍රමයකි. ලස්සන යනු සුදු පැහැය නොවන බව මතක තබා ගත යුතු අතර ලස්සන යනු සුදු වීම යි යන්න වෙළෙඳ ප්‍රචාරණය මගින් මවා පා ඇති බොරුවකි. අනෙක් අතට සම සුදු පැහැගන්වන එන්නත් නොමැති බව සියලු දෙනා අවබෝධ කරගත යුතුයි. එවැනි එන්නත් මෙරට භාවිතයට අවසර ලබා දී නැහැ. කිසියම් වෛද්‍යවරයකු සම සුදු පැහැ කිරීමේ එන්නතක් කිසිවෙකුට හෝ දුන් බව ඔප්පු කළහොත් එම වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරිය හැකියි. මේවාට අමතරව මෙරට ඇතැම් රූපලාවන්‍යාගාරවල ඔවුන්ගේම නිෂ්පාදනයන් පැවතිය ද ඒවාට ලියාපදිංචියක් නොමැති බව හෙළි වී තිබේ” යැයි වෛද්‍යවරිය කීවාය.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment