කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සිම්බාබ්වේ කීර්තිමත් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායටම එක්වෙයි

115

අප්‍රිකානු ජාතීන් සමග ශ්‍රී ලංකාවේ වර්ධනය වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට දිරියක් වෙමින් කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කනනාදන් මහතා සිම්බාබ්වේ රාජ්‍යයේ 2023 ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන කීර්තිමත් මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස තෝරාගෙන තිබේ.

අප්‍රිකානු රාජ්‍යයක මෙම වැදගත් කාර්යභාරය සඳහා කනනාදන් මහතා එක්වන සිව්වන අවස්ථාව මෙයින් සනිටුහන් කෙරේ. අප්‍රිකානු මහාද්වීපය සමඟ ඔහුගේ ප්‍රබල සම්බන්ධතාව මෙන්ම ශ්‍රී ලංකාව සහ අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිමත්භාවය එමගින් පිළිබිඹු කෙරේ.

කනනාදන් මහතාට මෙහිදී හිටපු රාජ්‍ය නායකයන් සහ ප්‍රභූවරුන්ගෙන් සමන්විත කීර්තිමත් පිරිසක් සමග මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේ වරප්‍රසාදය හිමිවේ. ඔහුගේ එම කීර්තිමත් කණ්ඩායමට නයිජීරියාවේ හිටපු ජනාධිපති ගුඩ්ලක් ජොනතන්, මොසැම්බික් රාජ්‍යයේ හිටපු ජනාධිපති ජෝකිම් චිසානෝ සහ සැම්බියාවේ හිටපු උප ජනාධිපති ආචාර්ය නෙවර්ස් මුම්බාද ඇතුළත් වේ. උගන්ඩාවේ හිටපු අගමැති ආචාර්ය රුහකනා රුගුන්ඩා මෙන්ම කෙන්යාවේ හිටපු විදේශ අමාත්‍ය අමීනා මොහොමඩ්ගේ ප්‍රධානත්වයෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය කණ්ඩායම, සැම්බියාවේ හිටපු මුදල් අමාත්‍ය සහ නැගෙනහිර සහ දකුණු අප්‍රිකානු පොදු වෙළඳපොළ සංවිධානයේ වත්මන් මහ ලේකම් චිලීශේ එම්පුන්ඩු කපුවෙප්වේ, යුරෝපා සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සහ අනෙකුත් ජාත්‍යන්තර නිරීක්ෂකයන්, මෙම නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා සිය විශේෂඥ දායකත්වය සපයයි.

කනනාදන් මහතා මෙම ගෞරවනීය කණ්ඩායමට ඇතුළත් වීම මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමට අගනා දැක්මක් එක් කරයි. අප්‍රිකානු රටවල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෙකු ලෙස ඔහුගේ අත්දැකීම් සහ විචක්ෂණ බුද්ධිය එහි මැතිවරණවලදී ක්‍රියාත්මක වන සමාජ දේශපාලන වාතාවරණයන් අවබෝධ කරගැනීම සඳහා විශේෂයෙන් වැදගත් වනු ඇත.

එමෙන්ම කනනාදන් මහතාගේ සහභාගීත්වය අප්‍රිකානු ජාතීන් සමඟ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීමට මෙන්ම එම රටවල අනාගතය සකසන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමන්හි නිරත වීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සනිටුහන් කරයි.

රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා සිම්බාබ්වේ වැසියන් පිවිසෙන මෙවර මැතිවරණය දේශපාලන විද්වතුන් විශ්වාස කරන පරිදි තියුණු තරගයක් වනු ඇත. සිම්බාබ්වේ ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයන් 11 දෙනකු මෙවර තරග වදී. කෙසේ නමුත් මෙය බොහෝ විට වර්තමාන ජනාධිපති 80 හැවිරිදි එමර්සන් මනන්ගාගුවා සහ 2018 ජනාධිපතිවරණයේදී ඔහු වෙතින් පරාජය වූ 45 හැවිරිදි විපක්ෂ නායක නෙල්සන් චමීසා අතර ද්වන්ධ තරගයක් ලෙස සැලකේ.

වත්මන් ජනාධිපති මනන්ගාගුවා, 2017 වසරේ නොවැම්බර් කැරැල්ලෙන් පසු සිම්බාබ්වේ ප්‍රථම ජනාධිපති රොබට් මුගාබේගේ පාලනයෙන් පිරිහීමට ලක්වූ රට භාරගත් අතර ඔහු සානු පී එෆ් (ZANU-PF) හෙවත් සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගම් දේශප්‍රේමී පෙරමුණේ නායකයාද වෙයි. චමීසා මීට පෙර ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ ව්‍යාපාරයෙන් බිඳී 2022 ජනවාරි මාසයේදී පිහිටුවාගත් වෙනසක් සඳහා වූ පුරවැසි සන්ධානය (CCC) මෙහෙයවනු ලබයි.

අසල්වැසි දකුණු අප්‍රිකාවේ BRICS රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙද්දී සිම්බාබ්වේ මැතිවරණය එරට අනාගත ගමන්මග උදෙසා දැවැන්ත බලපෑමක් සිදුකරනු ඇත.

අප්‍රිකානු මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාන්විතයන්හි ශ්‍රී ලංකාවේ සක්‍රිය මැදිහත්වීම ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් හා සාධාරණ මැතිවරණ සහ ජාත්‍යන්තර සහයෝගිතා උදෙසා ජාතියේ කැපවීම අවධාරණය කරයි. මෙම සුවිශේෂී අවස්ථාව ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික වේදිකාවේ ශ්‍රී ලංකාවේ නියෝජනය තවදුරටත් තහවුරු කරන අතර, අප්‍රිකාව සමඟ මහ කොමසාරිස්වරයාගේ ප්‍රබල සම්බන්ධතාව පිළිබඳ සාක්ෂියක්ද වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment