පුංචි ඡන්දයට පෙර ජනාධිපතිවරණය

354

පළාත් සභා තියන්නැයි ඉන්දීය රජය යෝජනා කරයි

පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරණය හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් සභා ධුර කාලය 2017 වසරේදී අවසන් වීමෙන් පසු යළි ඒවා සක්‍රිය කිරීම සඳහා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මෙතෙක් කිසිදු රජයක් පියවරගෙන නැත.

පළාත් සභා මැතිවරණය මනාප සහ සමානුපාත ක්‍රමයට පැවැත්වීම සඳහා පනත් කෙටුම්පතක් 2017 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ අතර එය මෙතෙක් සම්මත කර නැත.

මේ අතර ඉන්දියාවද පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය වෙත යෝජනා කර ඇතැයි වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වී වසරක් ගතවී ඇතත් මෙතෙක් ඉන්දීය රජය ඔහුට නිල සංචාරයක් සඳහා ආරාධනා කර නැත. ඊට හේතුවී ඇත්තේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර රජයේ තවත් පිරිසක් යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේද සහයෝගය මත රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේදී ජනාධිපතිවරණයකට යායුතු බවය. ඉන් ලබන ප්‍රතිඵලය අනුව ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි යැයි ද ඔවුන් පවසා ඇත.

මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනතා ප්‍රසාදය වැඩිවී ඇති බවත් එබැවින් ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවත් මෙම පිරිස යෝජනා කර තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment