නොදැනුවත්කම – හිතුවක්කාරකම නිසා ඇතිකර ගන්නා නිවාස දෝෂ

180

මෙයට ටික කාලයකට පෙර අගනුවර එක්තරා නිවසක් පරීක්‍ෂා කිරීමට යෑමට සිදුවිය. නියමිත දිනයේදී එම නිවසට නිවාස පරීක්‍ෂාවට මම ගියෙමි. එම නිවසෙහි පදිංචිව සිටින්නේ නිවස හිමිකරු, බිරිඳ, දරුවන් දෙදෙනා හා වැඩකරන කාන්තාවකි. නිවාස පරීක්‍ෂා කටයුතු ආරම්භ කළ මොහොතේ සිට අයිතිකරුගේ බිරිඳ දිගින් දිගටම කතා කරමින් පවසන්නේ “කලින් මෙම ස්ථානයේ පැවති නිවස ඉතාම හොඳට තිබුණා, සල්ලි උතුරන්න ලැබුණා, බිස්නස් දවසින් දවසම දියුණු වුණා. ඒත් මේ නිවස හදලා අපු දිනයේ පටන්ම සියල්ල අඩපණ වුණා. වෙනදා මහත්තයා නිවසට ලක්ෂ ගණන් ගේනවා. ඒත් දැන්නම් එහෙම මුදලක් ගෙනා දිනයක් මතක නෑ. මන් නම් කියන්නේ කවුරු හරි අපිට මොනවා හරි කරලා අපිව විනාශ වෙන්න. මම කීප තැනකින් මේ ගැන බලද්දී කීවේ මහත්තයාගේම සමාන ව්‍යාපාරයක් කරන ළඟම කෙනෙකු ලොකු බන්ධනයක් කරලා කියලා.” ඇය හැඟුම්බරව ප්‍රකාශ කළේය. මා යළිත් ඇයගෙන් විමසුවේ “ඉතින් ඒ තැන්වලින් කී දේවල් කළාද”? යන්නයි.

“ඔව්. ලොකු වියදමක් කරලා ඒවා අයින් කළා”

“එහෙම නම් ඉතින් ප්‍රශ්නය ඉවරයිනේ” මා විසින් එසේ ප්‍රකාශ කරද්දී “මොන පිස්සුද කිසිම වෙනසක් නෑ. එන්න එන්න තත්ත්වය භයානකයි.”

මෙම නිවස පරීක්‍ෂාවේදී නිවසක ධනය විනාශ වන්නට බලපාන ප්‍රධාන හේතු මෙහි නොවීය. යළිත් මා ඇසුවේ “ඔයාලා මේ නිවස හැදුවේ පරණ නිවසටම එකතු කරල ද නැතිනම් පරණ අත්තිවාරම ඉවත් නොකර තියෙද්දී හැදුවාද?”

“අනේ මහත්තයෝ ඒ ගෙය සම්පූර්ණයෙන්ම කඩලා අත්තිවාරම ඩෝසරයකින් සේරම ගල් ඉවත් කළා”

“එතකොට මේ ගෙට ජනෙල්, උළුවහු සේරම අලුතින් හැදුවද?”

“පරණ ගෙදර තිබුණ සමහර ජනෙල්, උළුවහු ගත්තා පිටිපස්සෙ කොටස්වලට දමන්න”.

“එතකොට පරණ ගෙයි ප්‍රධාන දොර උළුවස්ස”

ඒක නානකාමරයට උස, පළල අඩුකරලා මේ දමලා තියෙන්නේ.

වාස්තු විද්‍යාවේදී සලකනු ලබන ලොකු දෝෂයක් තමයි කළින් පදිංචිවෙලා සිටි නිවසේ ප්‍රධාන උළුවස්ස නව නිවසක කුස්සියට, පිටත අවශේෂ ස්ථානයක හෝ නානකාමරයක දැමීම ඉතාම අශුභ ප්‍රතිඵල ගෙන දෙන්නක් බව. එය මා දැන සිටියද ප්‍රථම වතාවට තමයි එය

ප්‍රායෝගිකව ඔප්පු වුනේ. එය කොතරම් දෝෂ සහගත දෙයක් ද කියනවා නම් නිවසේ ධනය, බලය පමණක් නොව විවාහය ද විනාශයට හේතුවක් වනු ඇත. මක්නිසාද නිවසක ප්‍රධාන දොර, උළුවස්ස ඉතාම බලවත් වන අතර එය නිවසේ ගෘහ හිමියාගේ ධනය කෙරෙහි, විවාහය කෙරෙහි,

නිරෝගීකම, සමාජ තත්ත්වය කෙරෙහි, පෞරුෂත්වය කෙරෙහි බලපවත්වයි. ශුභ නැකතින් තබා උළුවහු පැන නිවසේ මුදුන්මල්කඩව පැවැති ප්‍රධාන උළුවස්ස වැසිකිළියට දැමීම එම නිවසේ විනාශයට හේතු දේ. කාමරයකට දැමීම නම් වරදක් නොවේ. සුවිශේෂීව පැවති දේ අවශේෂී ස්ථානයක දැමීම නිවසක මහලු මව, මහලු පියා, බලුකොටුවක දැමීමක් වැනිය. මේවාට ස්වභාව ධර්මය දඬුවම් දෙනු ලබයි.

පැරැණි නිවසේ මෙසේ තිබුණ ප්‍රධාන දොර උළුවස්ස කුමන ස්ථානයකවත් නොතබා නිවැරදි ක්‍රමය නම් දිරාපත්වීමට ඉඩ හැරීමයි කළ යුත්තේ. නොදැනුවත්කම නිසා කරගන්නා ලද මේ විනාශය මෙම නිවසේ අය අවබෝධ කරගෙන එය ඉවත්කර දැමීමෙන් පසු සියල්ල යහපත්ව විසඳී ගිය බව පසුව මාහට දැනුම් දෙන ලදී.

නොදැනුවත්කම නිසා ඇතිකර ගන්නා තවත් වැරැද්දක් වන්නේ හොඳින් පදිංචිව සිටි නිවසේ වාස්තු උපදේශයක් නැතිව හිතුමතයට නිවසට කාමරයක්, වාහන ගරාජයක්, වැරැන්ඩාවක් ගැනීමයි. මේ තුළින් කලින් සිටි තත්ත්වයෙන් ආර්ථික හා සමාජීය වශයෙන් රෝග පීඩාවලින් පෙළීමට සිදුව ඇත්නම් එයට හේතු වශයෙන් බලපාන්නේ හිතුමතයට කොටස් එකතු කිරීම නිසා

  1. නිවසේ නිදහස්ව පැවති බ්‍රහ්මපාද ලක්ෂය බාධාවකට හසුවීම

බිත්තියකට, කණුවකට, පඩිපෙළට, මුදුන් යටලීයට, බාල්කයට හෝ කොන්ක්‍රීට් බීම් එකකට සෘජුව එල්ලවීම

  1. නිවසේ ද්වාර සටහන නිවැරැදිව පැවතියා නම් එය වෙනස්ව අශුභාකාරයට පත්වීම
  2. උතුර ඊශාන දිශාව අඳුරුවීම
  3. නිවසේ වර්ගඵලය වෙනස්වීම නිසා ගෘහ පොරොන්දම් වෙනස්වීම. කලින් පැවැති අය පොරොන්දමට වඩා වැය වැඩිවීම, නිවාස නැකත පොරොන්දම් ගෘහ මූලිකයන්ට අශුභ ලෙස සීහුම් වීම.
  4. නිවාස වර්ගීකරණයේදී නොගැළපෙන අගය වර්ගයක් හිමිවීම.
  5. නිවසේ හැඩය වෙනස්වීම

මේ ආකාරයට නොදැනීම, නොසැලකිල්ල නිසා අවශ්‍ය මොහොතේ වාස්තු පරීක්‍ෂාවන් නොකිරීම තුළින් තම අභිමතයට කටයුතු කිරීමට යෑමෙන් විශාල ධන හානි,

රෝගීවීම් බොහෝ දෙනෙකු ළඟාකර ගනී.

පදිංචි නිවසේ බිත්ති උස්සා වහලය වෙනස් කිරීම

පදිංචි නිවසක පදිංචිවී සිටියදී එම නිවසේ වහලය එසවීම නිසා බොහෝ දෙනෙකු මරණයට පවා පත්වුණ අවස්ථා දැක ඇත. එයද ඉතා ප්‍රභල දෝෂයකි. එයින් පවසන්නේ ඉන්න නිවසේ බිත්ති ඔසවා වහලය වෙනස් කරන්න එපා යන වදන නොවේ. එසේ කිරීමට පුළුවන. නමුත් ඒ සඳවා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පවතී.

  1. පදිංචි නිවසින් බඩු බාහිරාදිය සමගින් තාවකාලිකව වෙනත් නිවසක මාරුවීම.
  2. මුදුන් යටලීය ගැලවීම සඳහා නැකතක් සෑදීම.
  3. බිත්ති බැඳීමෙන් (ඉස්සීමෙන්) පසුව යටලීය තැබීම නැකතක් අනුව සිදුකිරීම.
  4. සියලු කටයුතු අවසන් කර නව නිවසකට ප්‍රවේශ වන අයුරින් නැකතකට අනුව කිරි උතුරවා පැමිණීම.

ඉහත කාර්යයන්ට පටහැනි ලෙසින් කටයුතු කිරීම නිවසේ ගෘහ හිමියාගේ මරණය සිදුවීම හා නිවස වසර 07ක් තුළ සම්පූර්ණයෙන්ම විනාශවීමට හේතු ගෙන දේ.

නිවසේ අලංකාරයට වැරැදි සංකේත භාවිතය

සමහර නිවසේවල නොදැනීම, නොදැනුවත්කම නිසා කරගන්නා දෙයකි නිවස ඉදිරිපිට ප්‍රධාන දොරට උඩින්, නිවසේ මුහුණත ගෝන අංතට්ටු, යක්ෂ මුහුණු, චික්, තුක් යන වදන් ගැනීම වගේම හූනියම් නොවදිනවා යැයි කියමින් අශ්ව ලාඩම ගැසීම. මෙය ඉතාම විනාශකාරී ප්‍රතිඵල අත්කර දෙන හේතුවක්ය. අශ්වලාඩම ගැසීම එම නිවසේ සමගිය සතුටට විනාශ වී ආර්ථිකව දිළිඳු තත්ත්වයකට ඇද තැබීමට හැකි සංකේතයකි.

ඒ වගේම සෞභාග්‍ය උදෙසා නිවසේ ප්‍රධාන දොර අභියස දක්ෂිණාවෘත ස්වස්තිකය වෙනුවට වැරැදියට නිර්මාණය කරන ලද වාම වෘත ස්වස්තිකය හෙවත් විනාශම් ලකුණ ද නොදැනුවත්කම නිසා බිත්තියේ එල්ලා තැබීම විනාශයට හේතු ගෙන දේ. ස්වස්තිකයක් මිලයට ගැනීමේදී එය දක්ෂිණාවෘතව කැරකෙන එකක්ද යන්න පරීක්‍ෂාකර බලාගන්න. මොකද බොහෝ තැන්වල ඇත්තේ වාමාවෘත ස්වස්තිකය හෙවත් හිට්ලර් පාවිච්චි කළ විනාශම් සංකේතයයි.

පංච දිශාවන්ට විපරිත ලෙසින් ජල ටැංකි, විසිතුරු පොකුණු, දියවැල්, තැබීම.

විශ්වයේ සෑදී ඇති පංච ධාතුන් වන ආපෝ තේජෝ, වායු, පඨවි, ආකාශ යන ධාතුන් බලපවත්නා දිශාවන් පවතී. මෙහිදී තේජෝ ධාතුව හෙවත් ගින්දර බලය පවතින දකුණු, ගිනිකොන දිශාවන්වල බොහෝ නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල මාලු ටැංකි, ජල පොකුණු තැබීමෙන්, ජලය පිරවූ බඳුන්වලට මල් දැමීම ආදිය සිදුකර ඇත. එමගින් සිදුවන්නේ ගින්දරට අයිති කලාපයේ ජලය තැබීමෙන් ආපෝ තේජෝ ගැටීමක් ඇතිවීමයි. එහි ප්‍රතිඵලය නිවසක් නම් එහි මානසික පීඩා, අසමගිය, ධනය හානිවීමද, ව්‍යාපාරික ස්ථානයක් නම් බංකොළොත් භාවයට පැමිණීමද සිදුවේ.

මෙවැනි නොදැනුවත්කම් තුළින් කරගන්නා නිවසක වාස්තු දෝෂ කිපයක් පමණි මෙහි සඳහන් කළේ. තව බොහෝ දේ පවතී. ලෝකයේ කොහේවත් අංග සම්පූර්ණ පිරිපුන් මනුෂ්‍යයන් නොමැත, සියල්ල දන්නා අයද නොමැත. ඒත් නොදන්නා දේ අසා දැනගැනීම ලැජ්ජාවක් නොවේ. විශේෂයෙන්ම නිවසක කටයුතු කිරීමේදී නිවසේ මවට, පියාට, දුවට, පුතාට අවශ්‍ය විදියට නිවසේ ඉදිකිරීම්, අලංකාර කටයුතු වගේම වර්ණ ආලේපනයද සිදුකළ නොහැක. ඕනෑම වෙනස්කිරීමක් කළ හැකිය, ඒ විශ්ව නීතියට අනුකූලවයි. විශ්ව නීතිය බලපවත්නා නිවාස කටයුතු වලදී සෑම විටම වාස්තුවිද්‍යා උපදෙස් මතම කටයුතු කර අනාගත අභිවෘද්ධිය සකසා ගැනීමට හැකිවනු ඇත.

නොදැනුවත්කම - හිතුවක්කාරකම නිසා ඇතිකර ගන්නා නිවාස දෝෂ

දේශබන්ධු දේශමාන්‍ය විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්‍ද්‍රසිරි
සෙන්දිරියමුල්ල – සඳලංකාව
0777 856649

advertistmentadvertistment
advertistmentadvertistment