පාර්ලිමේන්තුව – පළාත් පාලන මැතිවරණය නොතියා අධිකරණයට අපහාසය කළේ ආණ්ඩුවයි – විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

85

ත්‍රස්ත විරෝධී පනත මාරාන්තිකයි – ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ)

පළාත් පාලන මැතිවරණය පවත්වන්න අධිකරණය නියෝග කළත් මැතිවරණය කල් දමමින් අධිකරණයට විශාලම අපහාසය සිදු කරේ ආණ්ඩුව යැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ නව වසරේ පළමු දිනට රැස්විණ. ප්‍රථමයෙන් නිවේදන, වාර්ෂික වාර්තා, කාරක සභා වාර්තා, මහජන පෙත්සම් පිළිගැන්වීම සිදු කිරීමෙන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

සමථකරණය තුළින් ඇති වන්නා වූ අන්තර් ජාතික නිරවුල්කරන ගිවිසුම්

පිළිගැනීමේ හා බලාත්මක කිරීම, සමථ මණඩ්ල (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), නොතාරිස් (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පලනත් කෙටුම්පත් පිළීබඳ විවාදය ඊයේ (10 දා) පැවැත්විණි.

විවාදය ආරම්භ කරමින් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා-

නඩු විමසීමේ ප්‍රමාදය වැළැක්වීමට විශාල උත්සාහයක් ගෙන තියෙනවා. අලුතෙන් අධිකරණ ක්‍රමයක් ඇති කළා. වාණිජ මහාධිකරණ කියලා 1996 දී මේ වනවිට එම අධිකරණ 4ක් ක්‍රියාත්මකයි. 5 වන වාණිජ මහාධිකරණය ලබන මාසයේ ආරම්භ කරනවා. විශාල නඩු ප්‍රමාණයක් එනවා. රුපියල් මිලියන 40 සීමාව මිලියන 100 දක්වා වැඩි කරලා වැඩි වටිනාකමක් ඇති නඩුවලට ප්‍රමුඛතාව දෙනවා. නූතන තාක්ෂණය යොදා ගන්නවා.

සමථ මණ්ඩල ක්‍රමය ශක්තිමත් කිරමට පියවර ගන්නවා. කොමිෂන් සභාවට සාමාජිකයන් පත්වන අලුත් ක්‍රමවේදයක් ඇතිකර තියෙනවා. 88000ක් පමණ පැමිණිලිවලින් 65000ක් පමණ විභාග කරලා විසඳා තියෙනවා. සියයට 62ක ප්‍රතිශකතයක් සමථයට පත් වෙනවා. සුළු වටිනාකමක් ඇති නඩු ගොඩවීම වළක්වා එම පාර්ශ්වයන්ට කඩිනමින් නිරාකරණය කරගන්න පුළුවන්.

කූට ලේඛන ප්‍රශ්න නිසා අන්තිම කැමති පත්‍ර නඩු ගොඩ ගැහිලා. අපරාධ නඩු ලෙස නඩු විශාල ප්‍රමාණයක් තියෙනවා.

බොහෝ වංචා දූෂණවලට ඇටර්නි බලපත්‍ර යොදා ගන්නවා. දැනට බලපත්‍ර වසර 5කට සීමා කර තියෙනවා. ඇටෝර්නි බලපත්‍ර අහෝසි කිරීමේ නිසි ක්‍රමවේද හදලා තියෙනවා.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල:

ඉදිරිපත්වන පනත්වලට එකඟයි. නූතන ලෝකයේ අධිකරණයට අපහාස කිරීම කතා කරන විට තාක්ෂණයේ නිදහසත් උත්තරීතර බව ජාත්‍යන්තර නීතිවල තියෙනවා. අධිකරණයේ උත්තරීතර බව වගේම තාක්ෂණයේ නිදහසත් අවශ්‍යයි.

පහළ උසාවිවලින් වැරැදි තීන්දු දෙන නිසා යම් ගැටලු ඇති වෙනවා. තාක්ෂණයේ නිදහසත් ඇතුළත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. අධිකරණයේ අතපසුවීම් ගැන කතා කරන්න තාක්ෂණයේ නිදහස අවශ්‍යයි. විනිසුරුවරුද ඒ පිළිබඳ සිතේ තබාගත යුතුයි.

අධිකරණයට විශාලම අපහාසය කළේ ආණ්ඩුවයි. අධිකරණය කිව්වා පළාත් පාලන මැතිවරණය තියන්න කියලා. ආණ්ඩුව තිබ්බේ නෑ. ලෝකයට පේන්න පනත් ගේනවා. අධිකරණයට අපහාස කිරීම ගැන. ඒත් ආණ්ඩුව අධිකරණයට අපහාස කරනවා.

චන්ද්‍රිකා ජනාධිපතිනියගේ සමයේ අධිකරණයට ගරුත්වයක් තිබුණා. ඇයගෙන් පසුව ආපු පොදුජන පෙරමුණු ආණ්ඩු අධිකරණය දුර්වල කරන්න සංශෝධන ගෙනාවා.

මේ ආණ්ඩු අගවිනිසුරුවරුන් ඉවත් කළා. අද අධිකරණයට අපහාස කරන්න එපා කියලා කියනවා. සියලු වැරැදිකරලා ලෝකයට පේන්න නීති ගේනවා.

රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් :

රටක පැවැත්මට නීතියේ ආධිපත්‍ය වැදගත් බව දන්නා ඇමැතිවරයා කාලයට සාපේක්ෂව නීති සංශෝධන ගේනවා.

රටට හොඳ නීති ගෙන එනවිට ඒවා හෑල්ලු කරන ක්‍රමයක් ඇතිවෙලා. ඒවා හොඳ නෑ.

මෑත කාලය පුරා සාහසික ක්‍රියා සිදුවෙනවා. අපරාධ වැඩිව පවතිනවා. ඒවා නැවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ගයන් විවේචනය කරනවා. 225 පාර්ලිමේන්තුවේ දී රටට අවශ්‍ය ලෙස ක්‍රියා කරනවාද කියා ප්‍රශ්නය තියෙනවා. රට පාතාලය මෙහෙයවන තැනට එනකම් රට පාලනය කරපු අය මොකද කළේ. ඒවා වැළැක්වීමට අද ටිරාන් ඇමැතිවරයා විශාල ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටිනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) :

ජනතාව ආර්ථික පීඩනයෙන් බැට කනවා. බදුපිට බදු ගහනවා. ජනතාව ඊට විරෝධය පළ කරනවා. ඉතිහාසයේ පළමු වතාවට ජනවාරි මාසයේ පාසල් දරුවන්ගේ සීසන් ටිකට් පත කපලා දාලා. අපි ප්‍රශ්න කළාම එදා ඇමැතිවරයා කිව්වා කප්පාදු කරන්නේ නෑ කියලා. ඈත ගම්වල දරුවන්ට සීසන් ටිකට්පත විශාල ලෙස වටිනවා. මේ කප්පාදුවට ජනතාව විරුද්ධයි. ආර්ථිකය අමාරු වෙද්දී කැසිනෝ දාලා තමයි මුදල් හොයන්න යන්නේ. අලුතින් කැසිනෝ බලපත්‍ර දෙකක් දීලා තියෙනවා. යාපනයේ පවා කැසිනෝ දාන්න සැලසුම් කරලා. රජයේ ප්‍රධාන ආයතන විකුණන්න දාලා. සේවකයෝ විකුණනවාට විරුද්ධව පාරට බහිනවා. ඒ බහින ඒවා ත්‍රස්තවාදී ලේබලය දාලා මර්දනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා.

ත්‍රස්තවාදය අර්ථකථනය කර ඇති ආකාරයට පොහොර දියව් කියලා කෑ ගැහුවත් ත්‍රස්තවාදය යටතට වැටෙනවා. වැරැදි නීති නිසයි රටේ ගැටුම් නිර්මාණය වුණේ. උතුරේ ගැටුම් ඇති වුණා. ආයුධ අතට ගන්න පැත්තට උතුරේ තරුණයන් තල්ලු වුණේ වැරැදි දේශපාලන තීන්දු නිසයි.

තමන්ට විරුද්ධ දේශපාලන මත දරන අය මර්දනය කරන්න නීති පාවිච්චි කරනවා. අදත් ආණ්ඩුවේ වැරැදිවලට එරෙහිව පාරට බහින්න යනවිට මර්දනය කරන්න මේ නීති ගේනවා. පනතේ මාරාන්තික කරුණු විරුද්ධවාදීන් පාලනයට පාවිච්චි කරනවා. මේ පනත ඉතා අහිතකරය. ත්‍රස්ත විරෝධී පනත මාරාන්තිකයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ (ශ්‍රීලපොපෙ)

ප්‍රභාකරන්ගේ කාලයෙත් 88/89 කාලයෙත් කැලෑ නීතිය යටතේ නඩු ඇහුවේ. පසුගියදා වැල්ලවත්තේ හෝටලයක් කැඩූ අවස්ථාවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසුවාම අපට නීතිය යටතේ ඕනම එකක් කඩන්න පුළුවන් කියනවා. නීතිය හැමෝටම සමාන විය යුතුයි. එක එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව අරියාදු කිරීම් සුදුසු නෑ.

මේ රටේ නීතිය සමහර අවස්ථාවල අවිචාරවත් ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙහෙම වනවිට රටට ආයෝජකයන් එන්නේ නෑ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර (ශ්‍රීලපොපෙ) :

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරලා වසර 15ක් වෙනවා. අදත් නඩුව තීන්දුවක් ගන්න බැරි තැන හිරවෙලා. 2015 ශානි අබේසේකර මේ ඝාතනය ගැන තොරතුරු රැසක් හොයාගත්තා. ඒත් 2019 දී නිශාන්ත ද සිල්වා සියලු තොරතුරු සමග රට හැර ගියා. අද සියලු සැකකරුවන් නෑ. ජනපති හෙන්ඩි්‍ර පේදිරිස්ගේ මරණය ගැන හොයන්න අද කමිටුවක් දාලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ළඟම හිතවතා වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ගැන හොයන්න කියලා ඉල්ලනවා.

රට ආර්ථීක වශයෙන් වැට්ට වූ අය ගැන තීන්දුවක් දුන්නා. බිලියන 493ක වංචාව ගැන වගකිවයුත්තන්ට එරෙහිව තීන්දුව දුන්නේ. මුදල් ටික සොයාගන්න නීතිපති ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද?

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී උදේන කිරිඳිගොඩ (ශ්‍රීලපොපෙ) :

නීති සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවක්. මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ගැන සොයා බැලිය යුතුයි. ලංකාව පුරා නොතාරිස්වරු 11,565ක් ඉන්නවා. 2015 වනවිට අද එය 15,000 ඉක්මවා ඇති. අද ඔප්පුවක් ගත්තාම තොරණක් වගෙයි. අලුත් තාක්ෂණය එක් කිරීම අවශ්‍යයි. නොතාරිස් පනත අලුත් විය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල :

විනිශ්චයට භාජනය වූ කාරණයක් ගැන පාර්ලිමේන්තුව තුළවත් කතා කරන්න බෑ. එහෙත් ස්ථාවර නීති කඩ කරමින් විනිශ්චය තීන්දු හා විනිසුරුවන් විවේචනය කරනවා. රටේ නීතියට පාර්ලිමේන්තුව ගරු කරන්නේ නැතිනම් සාමාන්‍ය ජනතාවගෙන් ගරු කිරීමක් බලාපොරොත්තු වන්නේ කොහොමද?

පාර්ලිමේන්තු වරප්‍රසාද කිසිම අධිකරණයක් ඉදිරියේ අභියෝග කරන්න බෑ. අද තමන්ගේ පාර්ලිමේන්තුවත් එළියේ ඉන්න හතුරෙක් විවේචනය කරන්න පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරනවා. තමන්ට එරෙහිව යමක් ලියපු මාධ්‍යවේදියෙක් විවේචනය කරන්න වරප්‍රසාද භාවිතා කරනවා.

සත්‍ය – සමගිය හා ප්‍රතිසංධානය සඳහා කොමිසන් සභාවක් පිහිටුවීම පනත් කෙටුම්පත අධිකරණ ඇමැති වෙනුවට විදේශ ඇමැති ගැසට් කරලා. එසේ කළේ ජාත්‍යන්තරය සතුටු කරන්න කියලා කාටත් හිතාගන්න පුළුවන්.

යුද අපරාධ පිළිබඳ සෙවීම හා ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමයි එමගින් සිදුවන්නේ. අපේ රණවිරුවන්ට එරෙහිව යුද අධිකරණයක් පිහිටුවන්න 2009 සිට ජාත්‍යන්තරය උත්සාහ කළා. ජාත්‍යන්තරව කරගන්න බැරි වූ දේ අපේ රටම කළා. රණවිරුවෝ ඒ ගැන කම්පා වෙලා ඉන්නේ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් (සජබ) :

අයවැය විවේචනය කරලා රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන්න ඊට ආණ්ඩුව ඡන්දෙ දෙනවා. නීතිරීති සම්මත කරන්නේ පාර්ලිමේන්තුව විකෘතියක්. ඒ විකෘති පාර්ලිමේන්තුව නීති සම්මත කිරීමම අධිකරණයට කරන අපහාසයක්. මේ පනත් ගේන්නේ පාලකයන්ගේ යහපැවැත්ම උදෙසා පාලනය පහසු කර ගැනීමටයි.

ෆ්‍රී වයිෆයි ගැන කතා කරපු රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍යවලට විරුද්ධව නීති ගේනවා. අද සියලු ආයෝජන නැති කරලා. මෘදුකාංග තාක්ෂණය ගැන ඉන්දියාව ඉදිරියට ගිහින්. අපේ රටට තාක්ෂණය ඇතිව ආයෝජකයන් පැමිණිය යුතුයි. මෙහෙම නීති ගෙනාවාම ආයෝජකයෝ එන්නේ කොහොමද?

නීති ක්‍රියාත්මක වෙන්නේ හාල් මැස්සන්ට පමණයි. තෝරු මෝරු නිදහසේ ඉන්නවා. බෙහෙත් ප්‍රශ්න ගැන අදාළ ඇමැතිවරයා නිදහසේ ඉන්නවා. ආර්ථිකය ඝාතනය කරපු අයට නඩු තීන්දු දුන්නත් ඔවුනුත් නිදහසේ ඉන්නවා.

පාර්ලිමේන්තුව අද (12 දා) පෙරවරු 9.30 ට යළි රැස්වෙයි
රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment