දූෂිත පාලන ක්‍රමය වහා වෙනස් කළ යුතුයි

105

ඉදිරියේදී භයානක ඉරණමකට මුහුණ දීමට සිදුවෙනවා
ජාජබ නායක අනුර කුමාර දිසානායක

අප රටට අත්වී තිබෙන ඉරණමට වඩා ඉදිරියේදී භයානක ඉරණමකට අපිට මුහුණ දීමට සිදුවන බවත්, එබැවින් වත්මන් දූෂිත පාලන ක්‍රමය අප පරාජයට පත්කළ යුතු බවත් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා එලෙස කියා සිටියේ ජාතික ජනබලවේගයේ කැලණිය ආසන සමුළුව අමතමිනි. එහිදී තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය.

අපේ ජනතාව විඳින මේ දුක්ඛ දෝමනස්සයන්ට වඩා වැඩි දුක්ඛ දෝමනස්සයන්ට අනාගතයේදී මුහුණ දෙන්න සිදුවෙනවා. පසුගියදා ඉන්දියාවට ගිය රනිල් වික්‍රමසිංහ ගිවිසුමක් අත්සන් කළා. ගිවිසුම ප්‍රධාන කරුණු 5 කින් සමන්විතයි. ඒක ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විදුලි රැහැන් පද්ධතියක් හරහා ඒකාබද්ධ කරන්න ඕන. දෙක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තෙල් නළ පද්ධතියක් හරහා ඒකාබද්ධ කරන්න ඕන. තුන ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඉන්දියාවේ මුදල් ඒකකය වන ඉන්දියානු රුපියල හරහා ඉන්දියාව ශ්‍රී ලංකාව අතර සබඳතාවයක් ඇති කරන්න ඕන. හතර ගොඩ බිම මුහුද ගුවන් හරහා සම්බන්ධතාවයක් ඇතිකරන්න ඕන. ඊළඟට ගත්තොත් සංස්කෘතික සබඳතාවයන් ඇති කරනවා කියලා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? විදුලි පද්ධතියෙන් ඒකාබද්ධ වුණු තෙල් නළ පද්ධතියෙන් ඒකාබද්ධ වුණු මුදල් ඒකකයෙන් ඒකාබද්ධ වුණු ගුවනින්, මුහුදින්, ගොඩ බිමින් ඒකාබද්ධ වුණු, සංස්කෘතියෙන් ඒකාබද්ධ වුණු ශ්‍රී ලංකාවක්. ඔන්න රනිල් වික්‍රමසිංහගේ එකඟතාව. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඉන්දියාව අපේ ආසන්නයේ පිහිටීමත් ලංකාව ඉන්දියාවේ භූ දේශපාලන භූමියට ඇතුළත් වී තිබීමත් පිළිබඳව අපිට හොඳ දැක්මක් සහිතව ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න ලෑස්තියි. හැබැයි මේ කවර පන්නයේ

ගනුදෙනුවක්ද? සියල්ල ඉන්දියාවත් ඒකාබද්ධ වෙන ව්‍යාපෘතියකට අත්සන් තබා තිබෙනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? රනිල් වික්‍රමසිංහ යනු හැමදාමත් ඉතිහාසයේ අපිට ඕනෑවටත් වඩා සාධක එකතු කරලා තිබෙනවා. මේ රට පිළිබඳව මේ මාතෘ භූමිය පිළිබඳව අපේ සංස්කෘතීන් පිළිබඳව අපේ ඉතිහාසයන් පිළිබඳව කිසිදු සබඳතාවයක් නැති මිනිහෙක් රනිල් කියන්නේ. රනිල්ට මේ සියල්ල මුදල් නමැති අයිස් වතුරේ ගිල්වා මරා දමන්න පුළුවන්. රටේ ජාතික සම්පත් පිළිබඳව තියෙන හැඟීම රනිල් වික්‍රමසිංහට මුදල් නමැති අයිස් වතුරේ ගිල්වා මරා දමන්න පුළුවන්. රටක ඉතිහාසය, ඒ රටේ බැඳීම් හා ඒ රටේ ඉන්න අන්‍ය ජනතාවන් රනිල් වික්‍රමසිංහට මුදල් නමැති අයිස් වතුරේ ගිල්වා මරා දමන්න පුළුවන්. රනිල් යනු මේ මහ පොළොවත් එක්ක අයින්ද්‍රීය සබඳතාවයක් තියෙන නායකයෙක් නෙවෙයි. මේ මහ පොළොවෙන් කිසිදු සබඳතාවයක් නැති නායකයෙක්.

ඒ වගේම ඔබ දකින්න ඇති පසුගියදා අක්කර 65,000 ක කුඹුරු ප්‍රමාණයක් අඟුණුකොළ, උඩවලව ආදී ප්‍රදේශවල විනාශයට පත්වෙමින් තිබෙනවා. අපි අපේ ඉතිහාසයේ දැකලා තිබෙනවා මහා නියංසාය හමුවේ අපේ කුඹුරු විනාශයට පත්වෙලා තිබෙනවා. ඒවා ස්වාභාවික ව්‍යසනයන්. වෙලාවට වැඩිය නැහැ. ඒ නිසා වගාවන් හානි විය හැකියි නියඟයන් හේතුකොට ගෙන. හැබැයි අක්කර 65,000 ක් විනාශ වුණේ නියඟයක් හේතුකොටගෙන නෙවෙයිලු. ඒ ගොවි ජනතාව දන්නවා සමනල වැවෙන් වතුර එක්රැස් වෙලා තිබෙනවා. ඒ වතුර උඩවලව ජලාශයට නිකුත් කළා නම් ඒ කුඹුරු අස්වද්දන්න තිබුණා. අස්වද්දන කුඹුරු වගාව ඉතා හොඳින් නෙළාගන්න තිබුණා. මැරෙන්න ඉඩනොදී ආරක්‍ෂා කරගන්න තිබුණා. ගොවි ජනතාවට කුඹුරත් එක්ක තියෙන සබඳතාවය මොකක්ද ගොවි ජනතාවට කුඹුර යනු ඒක ඔවුන්ගේ ජීවිත. ගොවි ජනතාවට

වගාව යනු තමන්ගේ ජීවිතය. ඔවුන් කුඹුරු වගා කරලා නෙළා ගන්නා අස්වැන්නෙන් ආහාර ගන්නවා විතරක් නෙවෙයි ඔවුන් කුඹුරු වගා කරලා නෙළා ගන්න අස්වැන්නෙන් දරුවන්ට උගන්වනවා විතරක් නෙවෙයි. ඔවුන් කුඹුරු වගා කරලා නෙළා ගන්නා අස්වැන්නෙන් බෙහෙත් හේත් ගන්නවා විතරක් නෙවෙයි, කුඹුරේ වගාව දිනපතා නිල්ල පැහෙන ගොයම දිහා බලමින් බණ්ඩි පූදින ගොයම දිහා බලමින් කිරිවැදුණු ගොයම් කරල දිහා බලමින් ඔවුන් සතුටට පත්වෙනවා. හැබැයි රනිල්ට එහෙම සංස්කෘතිකමය බැඳීමක් නැහැ. ඔහු කැබිනට් මණ්ඩලයේදී මොකක්ද කියන්නේ අක්කර 65,000 විනාශ වුණත් කම් නැත. ඔය පිටරටින් හාල් ගෙනල්ලා කන්න දෙනවා ඇත. ඔන්න රනිල් ගොවි ජනතාව තමන්ගේ ජීවිතය. රනිල් වික්‍රමසිංහට මුදල් ගේන්න කීයද? හැදුවොත් කීයද? ඔච්චරයි. මෙහෙම නායකයෙක්. ඒ නිසා කුඹුරු ගොවි ජනතාවගේ ඇස් ඉදිරිපිට විනාශ වෙනකම් වතුර නිදහස් නොකර බලාගෙන හිටපු නායකයෙක්. ඒ කියන්නේ මොකද මේ මහ පොළොවත් එක්ක කිසිදු සබඳතාවයක් නැති නායකයෙක්.

ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරලා කිව්වා මට ජාතික සම්පත් යනු වෙරළ නෙමෙයි මුහුද නෙමෙයි තෙල් ටැංකි නෙවෙයි මහ පොළොව නෙමෙයි එයා කියනවා ජාතික සම්පත තරුණයන් විතරයි කියලා. මුහුද ජාතික සම්පතක් නෙවෙයිලු. පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ කිව්වා. වෙරළ තීරය ජාතික සම්පතක් නෙවෙයිලු. තෙල් ටැංකි සංකීර්ණය ජාතික සම්පතක් නෙවෙයිලු. අපේ රටේ මහ පොළොවේ තැන්පත්වී තිබෙන මහා ඛනිජ සම්පත් ජාතික සම්පත් නෙවෙයිලු. ඒ සියල්ල ඔහුට මුදල්. වෙරළ ඔහුට කොච්චර මුදල් කරන්න පුළුවන්ද? මුහුද ඔහුට කොච්චර මුදල් කරන්න පුළුවන්ද? ඛනිජ තෙල් නිධිය ඔහුට කොච්චර මුදල් කරන්න පුළුවන්ද? පරිසර කලාපය ඔහුට කොච්චර මුදල් කරන්න පුළුවන්ද? ඔන්න රනිල්. අද කිසිදු මිනිස් හැඟීමක් නැති ජනතාව ගැන තෙතමනයක් නැති ජනතාවගේ දුක, වේදනාව ගැන සහ කම්පනයක් නැති වියළි මිනිහෙක් රට පාලනය කරන්නේ. තෙතමනයක් නැති මිනිහෙක්. මේ විදිහට මේ රට යන්න දෙන්න බැහැ. මේ රට සහතික වශයෙන් අපි වෙනස් කළ යුතුයි. මෙහෙම යන්න දෙන්න පුළුවන්ද රටකට. රනිල් වික්‍රමසිංහ උත්සාහ ගන්නේ තමන්ගේ බලය තියා ගන්න. පසුගියදා ඔහු ප්‍රසිද්ධියේ කිව්වා අධිකරණයේ තීන්දුවලට බැඳී නැති බව. පාර්ලිමේන්තුවට තමයි මුදල් බලය තියෙන්නේ. ඒ නිසා අධිකරණයෙන් ලබාදෙන තීන්දුවලට වගකියන්නෙ නැහැ. බැඳිලා නැහැ කිව්වා. පාර්ලිමේන්තුවේ තියෙන්නේ මොන බලයද? රාජ්‍ය මුදල් පිළිබඳ බලය. හැබැයි අධිකරණයේ නඩුව තිබ්බේ සේවක අර්ථ සාධක මුදල්. වැඩකරන ජනතාවගේ මුදල් පිළිබඳ නඩුව. හැබැයි රනිල් කියනවා පාර්ලිමේන්තුවට තමයි බලය තියෙන්නේ අධිකරණ තීන්දු මම පිළිගන්නේ නැහැ කිව්වා. ඒ තමයි රනිල්.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ මංගලා මදුරප්පෙරුම -කැලණිය

advertistmentadvertistment
advertistmentadvertistment