සාමූහික වගකීම කඩකළ ඇමැතිවරුන්ට යන්න පුළුවන් – ජනපති පුවත්පත් කතුවරුන් හමුවේ පවසයි

461

ඉතිරි අවුරුදු තුනේ මොන බාධක ආවත් ජනතා අපේක්‍ෂා ඉටු කරනවා
 
 ගත්ත තීරණය නිවැරදි නම් ආපසු හරවන්නේ නෑ
 
 තරුණයන්ගේ අපේක්‍ෂා නොසලකා හැර නෑ


 කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට එරෙහිව යමින් කිසියම් කැබිනට් ඇමැතිවරයකු හෝ ඇමැතිවරුන් කිහිපදෙනෙකු කටයුතු කරන්නේ නම් හෝ නඩු කාර්යයකට පිවිසෙන්නේ නම් හෝ වඩා චර්යාත්මක වන්නේ ඊට පෙර එම ඇමැතිවරුන් කැබිනට් ඇමැති තනතුරුවලින් ඉල්ලා අස්වී තමාට අභිමත කි‍්‍රයාමාර්ගය ගැනීම බව ජනාධිපති

 ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (26දා) ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදී ප‍්‍රකාශ කළේය.

 විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන කැබිනට් ඇමැතිවරුන් ‘යුගදනවි’ ගිවිසුමට එරෙහිව අධිකරණයට යෑම සම්බන්ධයෙන් පුවත්පත් කතුවරයකු විසින් නගන ලද ප‍්‍රශ්නයකදී ජනාධිපතිවරයා මෙම පැහැදිලි කිරීම කළේය. මේ බව සනාථ කරන නඩු තීන්දුවක් දෝෂාභියෝගය පැවැති අවස්ථාවේදී මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා විසින් ලබාදී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 මෙහිදී පුවත්පත් කතුවරුන් විසින් නගන ලද ප‍්‍රශ්නවලට තවදුරටත් පිළිතුරු දුන් ජනාධිපතිවරයා මෙසේද කීය.

 ‘‘ ගෑස් පිපිරීම් පිළිබ`ද සිද්ධිය මේ ආණ්ඩුව යටතේ පමණක් සිදු වූ විශේෂ දෙයක් හැටියට මා දකින්නේ නෑ. මීට පෙර අවුරුදු 3 ක පමණ කාලය තුළ ගෑස් පිපිරීම් පිළිබ`ද සිදුවීම් වාර්තා වෙනවා. මෙයට මේ ආකාරයෙන් එකවර ප‍්‍රසිද්ධියක් ලැබුණේ කවර කාරණයක් නිසාද යන්න පැහැදිලි නෑ. ගෑස් තොග විටින් විට වෙන වෙනමයි ගෙන්වන්නේ. වෙළෙ`ද පොළට නිකුත් කිරීමට පෙර ඒවායේ සංයුතිය ගැන සොයා බලනවා. මෙහිදී එක වරදක් සිදුවී තිබෙනවා. ඒ තමයි ගෑස් ලීක් එකක් පෙන්නුම් කරන දුග`ද සහිත රසායනික ද්‍රව්‍ය හරිහැටි මිශ‍්‍ර කරන්නට බැරිවීම. එයින් එහා කඩාකප්පල්කාරී යමක් සිදුවෙන්නට ඉඩ නැහැ.

 පොහොර ප‍්‍රශ්නයේදී කිසියම් වරදක් සිදුවී ඇති බව මා පිළිගන්නවා. චීන පොහොර තොගය ගෙන්වීම ස`දහා ණයවර ලිපිය විවෘත කිරීමට පෙර ගෙන්වන පොහොරවල සංයුතියේ ස්වභාවය ගැන විiාත්මක හැදෑරීමක් කළ යුතුව තිබුණා. එහෙම නොකර ණයවර ලිපි ඇරලා පොහොර ගෙනාව නම් ඒ ණයවර ලිපියට අවනත වීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. නැත්නම් එය ජාත්‍යන්තර ප‍්‍රශ්නයකට යනවා.

 මෙහිදී ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරට ආණ්ඩුවේ ඇමැතිවරුන් විසින්ම පහරදීම පිළිබඳව ප‍්‍රකාශයක් කළ ජනාධිපතිතුමා එය ඉතාම වැරදි වැඩක් බව කීවේය.

 කොවිඞ් අර්බුදය අපි කිසිසේත්ම අපේක්ෂා නොකළ දෙයක්. අපි එදා ජනතාවට දුන් ප‍්‍රතිඥා ඉෂ්ට කිරීම සඳහා වැඩපිළිවෙළට කොවිඞ් නිසා පසුගාමී වුණා. ආපසු හැරවුණා. ඒක අපි පිළිගන්නවා. මට තව ඉතිරිව තිබෙන වසර 3 තුළ මොන බාධක ආවත් එදා අප ප‍්‍රකාශ කළ ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කරලීමට මම කැප වෙනවා.

 මම විදේශ විනිමය අර්බුදය ඇති වන බව කල්තියාම දැනගත් නිසා අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ ආනයනයට සීමාවන් පැනවූවා. වාහන ආනයනය සීමා කළේ අවුරුදු එකහමාරකට කලින්. කහ වැනි දේශීයව වගා කළ හැකි වගාවන් සිදු කිරීමටත් ගොවි ජනතාව පෙළඹවීමට පියවර ගත්ත එකේ ප‍්‍රතිඵල අද පෙනෙනවා. මත්ද්‍රව්‍යවලට වඩා රටට එදා හොරෙන් කහ ගෙන්වන්නත් පටන් ගත්තා. කහවලට රට තුළ ඉල්ලූම අපිට තේරුණා. නමුත් ගත්ත තීරණය නිවැරදි නම් ආපසු හරවන්න මම කි‍්‍රයා කළේ නැහැ. එහි අවසන් ප‍්‍රතිඵලය අද කහවලින් රට ස්වයංපෝෂිත වීම දක්වා විහිදී තිබෙනවා.

 ඉන්ධන ආනයනයට අද විශාල වියදමක් දරනවා. මේ සඳහා වන ධනස්කන්ධය අවම කර ගැනීම අවශ්‍යයි. ඉදිරියේ යම් විදියකින් වාහන ගෙන්වීමට යළි අවස්ථාව අපට ලබා දීමට හැකි වුණොත් මුල්තැන දෙන්නේ බැටරි ආරෝපනය කර ධාවනය කරන රථවලටයි. එහි ඇති බැටරි චාජ් කර ගැනීමට අවශ්‍ය පහසුකම අපි විධිමත් කළ යුතුයි. ඒත් බැටරි චාජ් කර ගැනීමත් ඉන්ධන යොදා ගැනෙන විදුලි උත්පාදන තාක්ෂණයකින් නම් එමගින් පලක් නැහැ. ඒ සඳහා සූර්ය බලය වැනි සුනිත්‍ය බලශක්තිවලට අපි යොමු විය යුතුයි.

 පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය ඉදිරි වසර 3 තුළ දිරිගන්වන්න අපි පියවර ගන්නවා. ඒ සඳහා ගම් මට්ටමේ ව්‍යවසායකයින්ට අවශ්‍ය දිරිගැන්වීම අපි ලබා දෙනවා. මීට පෙර ඇරඹූ එවැනි ව්‍යාපෘතිවලට නිසි සන්නිවේදනයක් නොමැතිකමින් ඉදිරිපත් වූවේ අඩු පිරිසක්. එම තත්ත්ව ඉදිරියේ වෙනස් කරනවා.

 කොවිඞ් නිසා ඇති වූ ආර්ථික පසුබෑම තුළ විදේශ රටවලින් ණය අරගෙන කරන ව්‍යාපෘති මම නැවැත්වූවා. ඇමැතිවරු පවා සමහර විට අසතුට වෙන්න ඇති. ඒත් නිවැරදි දේ රට වෙනුවෙන් මම හැමවිටම කරනවා.

 ඉතා අසීරු මොහොතක ජනජීවිතය රැුක දීමට අපි උත්සාහ ගත්ත බව අමතක කරන්න එපා. ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීම, කොවිඞ් එන්නත් 3 ත්, බූස්ටර් එන්නත් ලෝකයේ සාර්ථකව ලබාදීම, රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීම මටත් මගේ රජයටත් හැකි වුණා. ඒ නිසා තමයි අද රට මේ තරමින් හරි විවෘත කර යථා තත්ත්වයට පත් කරන්න අපට හැකි වුණේ.

 සමහර අමාත්‍යාංශවලට පත් කරන උගත් පුද්ගලයින්ගේ උපදෙස් අදාළ ඇමැතිවරුන් නොසලකා හරින බව මෙහිදී මාධ්‍ය ප‍්‍රධානියකු විමසූ විට ‘‘එවැනි දේත් සිදුව තිබෙනවා. නමුත් කිසිම අමාත්‍යාංශයකට සංස්ථාවකට දේශපාලන හිතවතුන් අපි පත් කළේ නැහැ. ස්වාධීන මණ්ඩලයක් මගින් තමයි සුදුසු අය පත් කළේ. අපි උත්සාහ කළ යුත්තේ එවැනි මතභේදකාර ගැටුම් අවම කර ගෙන අභියෝගවලට මුහුණ දීමයි.

 අපේ රජය බලයට පත් කළ පසු මුලින්ම වීවලට සහතික මිල ලබාදීම, නොමිලේ පොහොර පවා ලබාදීමටත් කි‍්‍රයා කළා. කාබනික පොහොර අපි ව්‍යාප්ත කරන්න තීන්දුව ගත්තේ ජනතාවගේ ජීවිත ගැන හිතලයි. කාබනික පොහොර තීරණය කරා අපි ඉදිරියට එනවිට බාධක එනවා, ආවා. සමහරු රසායනික පොහොර සමාගම්වලට ලැදිව කි‍්‍රයා කරනවා. එවැනි තැන්වල ඇති වී ඇති ගැටලූ ගැන අපි දැන් අවබෝධයකින් කටයුතු කරන්නේ.

 අපේ රජය බලයට ආපු කාලයේ තරුණ පිරිස් අපේක්ෂා සහගතව තාප්පවල එදා චිත‍්‍ර සිතුවම් කරලා තැබූ බලාපොරොත්තුව අපට මතකයි. අප එම තරුණයන්ගේ අපේක්ෂා ගැන නොසලකා හැර නැහැ.

 ආණ්ඩුව යන මඟ වැරදි නම් පෙන්වා දෙන්න. අපි අපේ අඩුපාඩු නිවැරදි කර ගන්න සූදානම්. ආණ්ඩුවේ හොර, මැරකම් ¥ෂණ වංචා නොබියව හෙළි කරන්න. මට අවශ්‍ය වන්නේ පොරොන්දු වූ පරිදි රට හදන්නයි. ඉදිරි වසර 3 තුළ මම එම කාර්යය කරනවා’’ යැයි ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

 කොවිඞ් නිසා සමාජයේ බොහෝ වෘත්තික පිරිස්වල ජීවනෝපායන් නැති වුණා. ජීවත්වීම නිසා ඔවුන් කිසිදාක නොකළ වෘත්තීන්ට පවා යොමු වුණා. මෙරට ප‍්‍රකට සංගීත කණ්ඩායමක පිරිසක් ගතවූ කාලය තුළ ප‍්‍රසංග වේදිකාව නැතිව වින්ද දුක් ගැහැට මට කීවා. කලා ක්ෂේත‍්‍රයේ වගේම තවත් අංශවලත් එබඳු තත්ත්වයක් තිබුණේ… අපි දැන් ක‍්‍රම ක‍්‍රමයෙන් එම තත්ත්වය වෙනස් කරන්න උත්සාහ කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment