මම වැරදි නැහැ – කවුරු චෝදනා කළත් රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම මා කළා- හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විශේෂ නිවේදනයකින් කියයි

462

ඊනියා චැනල් 4 චිත්‍රපටය ගොතන ලද බොරු වැලක්!

නොසැලකිල්ලට ශානි අබේසේකරත් වගකිව යුතුයි

2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයක් වූ චැනල් 4 නාලිකාවේ මෙවර චිත්‍රපටය ද ඔවුන් විසින් කලින් විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම තවත් බොරු ගොන්නක් පමණක් බව විශේෂ නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටී.

චැනල් – 4 නාලිකාව මගින් පසුගියදා විකාශනය කර තිබුණු වීඩියෝව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය 2019 නොවැම්බරයේ දී මා බලයට පත් කිරීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කිරීම සඳහා හිතා මතාම සිදු කරනු ලැබූවක් බව චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ නවතම චිත්‍රපටයේ ඇති ප්‍රධානම චෝදනාවයි. මෙම චෝදනාව රඳා පවතින්නේ යුරෝපයේ දේශපාලන රැකවරණ සඳහා අයැදුම්කරුවෙකු වන හන්සීර් අසාද් මවුලානා නමැත්තෙකු විසින් ප්‍රධාන මැරෙන බෝම්බකරු සහරාන් සහ ඔහුගේ සහෝදරයා වන සයිනී මව්ලවි යන අයට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හඳුන්වා දුන් බවට කර ඇති ප්‍රකාශයකි. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වඩාත් ප්‍රසිද්ධ වී සිටින්නේ හමුදා බුද්ධි සේවා අධ්‍යක්ෂ ලෙස ඉටු කරන ලද ඔහුගේ අතීත භූමිකාව නිසාය. මේජර් ජෙනරාල් සලේ මගේ අනුගාමිකයෙකු ලෙස චැනල් 4 නාලිකාව හඳුන්වා ඇත. නමුත් ඔහු ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු වන අතර, සියලුම හමුදා නිලධාරීන් තනි පුද්ගලයන්ට නොව රජයට පක්ෂපාතී වේ. මම ද හිටපු හමුදා නිලධාරියෙක් වන අතර, ඔහු මෙන්ම මමත් විවිධ ආණ්ඩු යටතේ සේවය කර ඇත්තෙමි.

2015 දී ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් පසු, 2019 දී ජනාධිපති ධුරයට පත්වන තුරුම මමත්, මේජර් ජෙනරාල් සලේත් අතර කිසිදු සම්බන්ධයක් නොවීය. තමා 2016 දී හමුදා බුද්ධි අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කරනු ලැබූ අතර, එතැන් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනිස්ටර්-කවුන්සලර් තනතුරේ කටයුතු කළ බවත්, මෙම හමුව සිදු වූවා යැයි කියන අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බවත් මේජර් ජෙනරාල් සලේ චැනල් 4 වෙත දන්වා තිබුණි. තවද, 2019 ජනවාරි සිට නොවැම්බර් මස දක්වා ඔහු ජාතික ආරක්ෂක විද්‍යාල පාඨමාලාව හදාරමින් ඉන්දියාවේ සිටි අතර, 2016 සිට 2019 දක්වා මේ මුළු කාල පරිච්ඡේදය තුළම ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ව්‍යුහය තුළ ක්‍රියාත්මක නොවුන බව ද දන්වා ඇත. 2016 දී මේජර් ජෙනරාල් සලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත කිසි දිනෙක එම සංවිධානයේ සේවය නොකළේය. 2019 දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ඔහු නැවත බුද්ධි ක්ෂේත්‍රයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුව පමණි. එබැවින් 2018 පෙබරවාරි මාසයේ දී මේජර් ජෙනරාල් සලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමු වූවා යැයි කියන මෙම කතාව පැහැදිලිවම ගොතන ලද්දකි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ හමුදා බුද්ධි අංශ සම්බන්ධ වූ බවට ඔවුන්ගේ චෝදනාව තහවුරු කිරීම සඳහා, 2018 නොවැම්බර් 30 වන දින වව්නතිව් හීදි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර ඔවුන්ගේ ආයුධ සොරකම් කිරීම සහ 2019 ජනවාරි 16 වැනිදා වනාතවිල්ලුව ආරක්ෂිත නිවාසයක් තුළ පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් සිද්ධීන් සම්බන්ධයෙන් ආරම්භ කරන ලද පොලිස් පරීක්ෂණ හමුදා බුද්ධි අංශ විසින් කඩාකප්පල් කළ බව මෙම චිත්‍රපටයේ කියැවේ. 2015-2019 ආණ්ඩුව බුද්ධි අංශ සහ විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව මුළු රටම දනී. හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් සැලකිය යුතු ගණනක් යහපාලන ආණ්ඩුව සමයේ මාස ගණන්, අවුරුදු ගණන් රිමාන්ඩ් භාරයේ සහ පොලිස් අත්අඩංගුවේ කාලය ගත කළ බවත් සියලුම ශ්‍රී ලාංකිකයෝ දනිති. එබැවින් 2015 – 2019 ආණ්ඩුව සමයේ හමුදා බුද්ධි අංශය පොලිස් විමර්ශන කඩාකප්පල් කළ බවට කරන ප්‍රකාශය හාස්‍යයට කරුණකි.

2015-2019 ආණ්ඩුව විසින් මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නොසලකා හැරිය බව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලාංකිකයන් 32 දෙනකු සිරියාවට ගොස් අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ වී ඇති බවත්, විදේශීය ඉස්ලාම් ආගමික දේශකයින් ශ්‍රී ලංකාවට පැමිණ අන්තවාදී ඉගැන්වීම් ප්‍රචාරය කරන බවට 2016 නොවැම්බර් 18 වැනිදා එවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කළ හෙළිදරව්වද එම ආණ්ඩුව නොසලකා හැරිය බව ඔවුහු ප්‍රකාශ කළහ. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2018 මාර්තු 23 සිට 25 දක්වා ලේවැල්ල ප්‍රදේශයේ ලැගුම් හලක පුහුණු කඳවුරු පවත්වා ඇති අතර 2018 අප්‍රේල් සහ මැයි මාසවල දී නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම් හලක ද තවත් රැස්වීම් පවත්වා ඇති අතර, ඒ සියල්ල පොලිසියට වාර්තා වී තිබූ නමුත් විමර්ශනය කර නැත.

සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් 2018 අගෝස්තු 27 අලුයම කාත්තන්කුඩි ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමේ දී බරපතළ තුවාල ලැබීය. කලින් සඳහන් කළ වව්නතිව් සහ වනාතවිල්ලුව සිද්ධීන් හැරුණු විට 2018 දෙසැම්බර් මස අගදී මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ද ප්‍රහාර එල්ල වූ සිද්ධීන් ද විය. ජනාධිපති කොමිෂන් සභාව නිරීක්ෂණය කළ පරිදි, මෙම ඕනෑම සිදුවීමක් නිසි ලෙස විමර්ශනය කළේ නම් ත්‍රස්තවාදීන් කලින් අත්අඩංගුවට ගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට හැකි වීමට ඉඩ තිබුණි. මෙම පරීක්ෂණ භාරව සිටියේ පොලිසිය මිස හමුදා බුද්ධි අංශ නොවේ. මේ මුළු කාලය තුළම මම බලයේ නොසිටියා පමණක් නොව බොහෝ බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් මෙන්ම, මම ද එවක ආණ්ඩුවේ දඩයමට හසු වී, 2015 සිට 2019 නොවැම්බර මස ජනාධිපති වන තෙක්ම එක් පොලිස් ඒකකයකින් තවත් පොලිස් ඒකකයකටත් එක් උසාවියකින් තවත් උසාවියකටත් යමින් සිටියෙමි.

මේ අලුත් චිත්‍රපටයෙන් මට එල්ල වූ එක් චෝදනාවක් වූයේ, මම ජනාධිපති වූ පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන නිලධාරීන් මාරු කර පරීක්ෂණ කඩාකප්පල් කළ බවය. මේ සඳහන අදාළ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට බව මම උපකල්පනය කරමි. මහාධිකරණයේ විභාග වෙමින් පැවති අපරාධ නඩුවකට බලපෑම් කිරීමට දේශපාලනඥයෙකු සමඟ ශානි අබේසේකර කුමන්ත්‍රණය කළ බවට දුරකථන හඬපටවලින් හෙළි වී තිබූ අතර, ඔහු වැන්නකු මොනම තත්ත්වයක් යටතේවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් සහිත තනතුරක තබා ගැනීමට මොනම ආණ්ඩුවකටවත් නොහැක. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කල ජනාධිපති කොමිසමට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් කිසිවෙක් මා බලයට පත්වීමෙන් පසු මාරු කර යවනු ලැබුණේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයත් මම බලයට පත් වීමත් අතර මාස හතකට ආසන්න පරතරයක් තිබුණ නිසා ඒ කාලය තුළත් පරීක්ෂණ පැවැත්විය යුතුව තිබුණි. ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් 2016ත්, 2019ත් අතර කාලයේ වූ නොසැලකිල්ලට ද ශානි අබේසේකරත් වගකිව යුතු විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව මට භාර දුන් පසු, එය ප්‍රසිද්ධියට පත් කිරීම මා ප්‍රතික්ෂේප කළ බව චැනල් 4 නාලිකාව කියයි. එය අමූලික බොරුවකි. එම වාර්තාව පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව ලංකාවේ කවුරුත් දනිති. පසුගිය වසරේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඇතැමුන් මා සම්බන්ධ කිරීමට පටන් ගත් විට, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා එෆ්බීඅයි / සීඅයිඒ සහාය ලබා ගැනීමේ හැකියාව ගැන සොයා බලන ලෙස මම වොෂින්ටනයේ තානාපති මහින්ද සමරසිංහට උපදෙස් දුන්නෙමි. 2022 අප්‍රේල් 07 වැනි දින, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් මහතා තානාපති සමරසිංහට පිළිතුරු ලිපියක් එවා තිබිණි.

ශ්‍රී ලංකා නීතිපතිවරයා විසින් අමතර ඉල්ලීමක් කළහොත් ඒ වන විටත් (එනම් 2022 අප්‍රේල් මාසයේ දී) කොළඹ රැඳී සිටි ඇමෙරිකා එක්සත් ජනපද පරිචෝදකයන් දෙදෙනාගේ සහය ලබා දීමට හැකි බව ද ලෑන්ඩ්බර්ග් මහතා තවදුරටත් එම ලිපියේ සඳහන් කර තිබුණි.

චැනල් 4 නාලිකාවේ මෙම නවතම චිත්‍රපටය 2005 සිට පැවති රාජපක්ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයකි. මීට පෙර එම නාලිකාව විසින් ලංකාව ගැන විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නකි. මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කලා යැයි කීම අතිශයින් ම ජුගුප්සාජනකය. යම් යම් පුද්ගලයන් දේශපාලනික ස්ථාවරයක සිට මට එරෙහිව චෝදනා එල්ල කළත්, මම රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි. යුද්ධය අවසන් වූ පසු මඩු පල්ලිය සහ මුල්ලිකුලම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට මම උදව් කළෙමි. ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු වලට ද මම සියලු පහසුකම් සැලසූ අතර, එම සංචාරය සංවිධානය කිරීමට එවක ආණ්ඩුව පිහිටුවා තිබූ කමිටුවේ ප්‍රධානියා ද විය. බෝලවලාන ප්‍රදේශයේ 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය ඉදිකිරීමේ දී ද මම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළෙමි. එම කාලසීමාව තුළ කාදිනල් හිමිපාණන් සමඟ ද මම ඉතා සමීපව කටයුතු කළෙමි.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment