පාසල් දරුවන්ට මිෂෙල්ගෙන් ලක්ෂ හයක සපත්තු

253

මට ලැබෙන ආදායමෙන් මම දෙයක් කරන්න ඕනෑ කියල හිතුවා

මිෂෙල්ව මේ දවස්වල අපට මුණගැසෙන්නේ කාසි ටෙලිනාට්‍යයේ සාගරිකාගේ චරිතයෙනි. අද අපි ඇයත් සමග මේ කතාබහ කරන්න සැරසෙන්නේ ඇගේ රංගනය ගැන නම් නෙමෙයි. ඇය රංගනයෙන් උපයාගන්න මුදලින් කරපු තවත් ප්‍රජා සේවාවක් ගැනයි. ඇත්තටම මුළු රටම ආර්ථික ප්‍රශ්නයකින් මිරිකෙන වෙලාවක අපේ රටේ තරුණ පරපුරේ නිළියක් කරපු මේ හොඳ වැඩේ ගැන කතා කරන්න ඇයට ඉඩක් වෙන් නොකොළොත් අපි කරන්නේ ලොකු අසාධාරණයක් වගේම අඩුවක් කියලා හිතුණා. මොකද මේ කතාව කියෙව්වහම තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අන් මටත් එහෙම දෙයක් කරන්න පුළුවන් නම් කියලා. ඉතිං මේ ඒ කතාවයි.

මිෂෙල් කොහොමද ඉතින්?

හොඳින් ඉන්නවා. මේ දවස්වල නාට්‍යවල රූගත කිරීම් කරනවා. ඒ ඇරුණහම පරිසර හා සම්බන්ධ ව්‍යාපෘති කිහිපයක් සහ සමාජ සේවා වැඩ කිහිපයක් කරගෙන යනවා.

පහුගිය දවස්වල ලොකු ප්‍රජා සත්කාරක වැඩක් කළා කියලත් ආරංචියි?

පහුගිය දවස් ටිකේ අත්‍යවශ්‍ය පාසල් දරුවන් 250 කට අවශ්‍ය පාසල් සපත්තු ලබා දෙන ව්‍යාපෘතියක් සිදුකළා.

ඇයි මේ වගේ වැඩක් කරන්න හිතුවේ?

අද වෙනකොට මුළු ලෝකයම කොවිඩ් වසංගතයෙන් පසුව ආර්ථික වශයෙන් දරුණු කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. ඒ කඩාවැටීම ලංකාවටත් විශාල ලෙස පසුගිය කාලයේ බලපෑවා. කොවිඩ්වලින් අපි නැගිට්ටත්” තාම කොවිඩ් නිසා සිදුවෙච්ච කඩාවැටීම්වලින් නැගිටින එක ටිකක් අමාරු වෙලා තියෙනවා. ළඟදී මට නුවරඑළියේ රූගත කිරීමකට යන්න සිද්ධ වුණා. ඒ යනකොට ඉරිදා දවසක ගොඩක් වහිනවා. ඒ වැස්ස අතරේ පොඩි ළමයි ටිකක් මගේ වාහනයට අත දැම්මා.

ඒගොල්ලොන්ගේ ඉල්ලීම වුණේ කිලෝමීටර් දෙකක් විතර දුරක් ගෙනිහින් බස්සන්න කියලා. ළමයි ටික මගෙ වාහනයට නැග්ගාට පස්සේ මං දැක්කා සමහර අයගෙ කකුල්වල සෙරෙප්පුත් නෑ” සමහර අය සෙරෙප්පු දාගෙන හිටියා. ඉතින් මම කල්පනා කළා කොහොමද මෙයාලා කිලෝමීටර් ගාණක් මෙහෙම හැමදාම යන්නේ එන්නේ කියලා. මම එයාලව බස්සන්න ගියාම තමා දැක්කේ ෆැක්ටරියක වැඩ කරන දෙමාපියන්ගේ දරුවන් කියලා. ඒ දරුවන්ගේ දෙමාපියෝත් එක්ක මම කතා කරද්දි තමයි මට තේරුණේ අලුතින් ඉස්කෝලේ යන ළමයි දාන්න ඕන සපත්තු ගණන් වැඩි වෙලා නිසා ගන්න අමාරු වෙලා තියෙනවා කියලා. රුපියල් නවසීය ගාණකට තිබ්බ සපත්තු අද වෙනකොට රු. 2500ක් 3500ක් අතර මිලකට ඉහළ ගිහිල්ලා. ඒ නිසා මේ දරුවන්ගේ දෙමාපියන්ට අද කාලේ සපත්තු දෙකක් අරන් දෙන්න බැරිවෙලා තියෙනවා. ඉතින් සමහර ළමයි මේ දුෂ්කර බව නිසා ඉස්කෝලේ නොයා දෙමාපියන් එක්ක කුලී වැඩ කරන්නත්” ෆැක්ටරිවල වැඩට යන්නත් පෙළැඹිලා තියෙනවා කියලා මට එයාලා එක්ක කතා කරද්දි තේරුණා. මට එතකොට හිතුනා මේ ළමයි අතරේ නේද ඊළඟ වෛද්‍යවරයා” ඊළඟ ඉංජිනේරුවරයා” ඊළඟ විද්‍යාඥ්‍යා සහ මේ රටට අත්‍යවශ්‍ය බුද්ධිමත් ශ්‍රමබලකාය ඉන්නේ කියලා. මම උත්සාහ කළා ආර්ථික අපහසුතාවට පත් වෙලා ඉන්න අයට මට පුළුවන් විදිහට මට ලැබෙන ආදායමෙන් යම්කිසි දෙයක් කරන්න ඕනෑ කියලා.

පාසල් දරුවන්ට මිෂෙල්ගෙන් ලක්ෂ හයක සපත්තු

පුංචි දරුවන් වෙනුවෙන් මොන ප්‍රදේශවලට ද සපත්තු බෙදා දුන්නේ?

නුවරඑළිය” කුරුණෑගල” දළුපොත සහ කටුවපිටිය ප්‍රදේශවල අත්‍යවශ්‍ය දරුවන් සඳහා සපත්තු ලබා දුන්නා.

කවුද මේ වැඩේ වෙනුවෙන් උදව් කළේ?

මම මේ වගේ ව්‍යාපෘතියක් කරන කොට ගොඩක් වෙලාවට ලැබිය යුතුම කට්ටියට ලැබෙනවාද කියලා ස්ථිර කර ගැනීමේ හැකියාවක් මට නෑ. ඒ නිසා මම මේවා ලබාදීමේදී ගමේ තියෙන පන්සලක් ආශ්‍රිතව හෝ ග්‍රාම සේවා වසමකින් මම සහයෝගය ලබා ගන්නවා. මේ ව්‍යාපෘතිය සඳහා කදිරාන ශ්‍රී මහින්දාරම බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දැවමොට්ටාවේ මහින්ද හිමියන්” දළුපොත ධම්මරතනාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගෝනපතිරාවේ ධම්මවිමල හිමියන්ගේ අනුශාසකත්වය ඇතිව පෙරපාසල් ගුරුවරියක් වන ශිරෝමි කොඩිතුවක්කු මහත්මිය සහ නුවරඑළිය එස්. ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණයෙන් තමයි මේ වැඩේ සිදු කළේ.

මේ වගේ කාලෙක ගොඩක් අය මෙවැනි වැඩ කරන්නේ නැහැ. ඇයි ඔබට එහෙම අදහසක් ආවේ?

මම කලින් සඳහන් කළා වගේ කොවිඩ් කාලයේ සිට අද වනතුරු නාට්‍ය අනිවාර්ය දෙයක් නිසා මගේ රැකියාවට ලොකු හානියක් සිද්ධ වුණේ නෑ. මගේ රංගන ක්‍ෂේත්‍රය ගොඩනගා ගන්න උදව් කරපු හැම කෙනෙකුම අද වෙනකොට තුන් වේල හරියට පිරිමසා ගන්න බැරි අවස්ථාවක මං විතරක් මගෙ රැකියාවෙන් ලැබෙන මුදලින් ජීවත් වීම වැරදි කියලා මට හිතුණා. ඒ නිසා රංගනයෙන් මට යම්කිසි මුදලක් ලැබෙනවා නම් මං විශ්වාස කරනවා ඒ මුදල මේ කියපු හැම කොට්ඨාසයකටම අයිතියි කියලා. මොකද මම රඟපාපු නාට්‍ය බලන්න පිරිසක් නැති වුණොත් මම රඟපාපු නාට්‍ය සමාජ මාධ්‍යයේදී ඒ පිළිබඳව හොඳ නරක කතා කරන්න පිරිසක් නැති වුණොත්” මම රඟපාපු නාට්‍යයකට කමෙන්ට් කරන්න පිරිසක් නැති වුණොත් මම අමාරුවෙන් ගොඩනගා ගත්ත මේ වෘත්තීය ඉබේම දියවෙලා යනවා. මම විතරක් නෙවෙයි මුළු ක්‍ෂේත්‍රයේම ඉන්න හැම කෙනෙක්ම දියවෙලා යනවා. ඒක සංගීතඥයා ඉඳලා රඟපාන නළු නිළියෝ මේ හැමකෙනෙකුටම පොදුයි. අපි ඔක්කොමලාම මේ ක්‍ෂේත්‍රයේ ඉන්නේ මේක විඳින්න පිරිසක් ඉන්න නිසා. මේ විඳින පිරිස දුක් විඳින කොට එයාල ජීවිතේ ගැට ගහගන්න ගොඩක් දුක්විඳින්න උනාම එයාලාට නාට්‍ය බලන්න” අපි ගැන කතා කරන්න හිතන්න වෙලාවක් නැහැ. එයාල ජීවිතේ ගැට ගහගෙන යන විදිය තමයි හිතන්නේ. ඒනිසා මම විශ්වාස කරනවා මට ලැබෙන මුදලෙන් කොටසක් සමාජයේ අනිත් අයටත් අයිතියි කියලා.

පාසල් දරුවන්ට මිෂෙල්ගෙන් ලක්ෂ හයක සපත්තු

රයිගම් ටෙලි සම්මාන උළෙලේදී පහුගිය දවස්වල හොඳම සහාය නිළියට නිර්දේශ වුණා නේද?

ඔව්. ලෝකා ටෙලිනාට්‍යයේ නව්‍යාගේ චරිතය වෙනුවෙන් තමයි හොඳම සහාය නිළිය ලෙස නිර්දේශ වුණේ. මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා රයිගම් ටෙලීස් සම්මාන උළෙලටත්” මාව නිර්දේශ කරපු ජූරියටත්” ලෝකා නාට්‍යයේ අධ්‍යක්ෂ ශිවගුරුනාදන් මහතාටත් මට නව්‍යාගෙ චරිතයට පණපොවන්න අවස්ථාවක් ලබා දුන්නාට.

ඔබ රඟපෑ can you hear me ටෙලි නාට්‍යයේ හොඳම නිළියටත් සුමති සම්මාන උළෙලේදී නිර්දේශ වෙනවා?

ඔව්. can you hear meැ ටෙලිනාට්‍යයේ මහීමිගේ චරිතයට මම හොඳම නිළියට නිර්දේශ වුණා. ඒ වෙනුවෙන් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා සුමති සම්මාන උළෙලටත්” මාව නිර්දේශ කරපු ජූරියටත්” ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සුනිල් කොස්තා මහතාටත් මට මහිමිගේ චරිතය ලබා දුන්නාට.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment