ජනපතිගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය දිය යුතුයි – පා. ම. වජිර අබේවර්ධන

61

වර්තමාන ආර්ථික අර්බුදය ජයගෙන, නොවෙනස් වන ජාතික ප්‍රතිපත්ති රාමුවක් තුළින් රට ඉදිරියට ගෙන යෑම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළට මහජන නියෝජිතයන් මෙන්ම, මේ රටේ සමස්ත මහජනතාවම සහයෝගය ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පා. ම. වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා මෙසේ ද කීය.

2022 වසර යනු ශ්‍රී ලංකාවට විශේෂිත අවුරුද්දක්. එක පැත්තකින් විප්ලවයක්. තවත් පැත්තකින් අරාජිකත්වයක්. අනෙක් පැත්තෙන් ඩීසල්, පෙට්‍රල් වැනි ඉන්ධන ලබාගැනීමට නොහැකිව මහජනතාව සති ගණන් පෝලිම් වල සිටි යුගයක්. ඒ එක්කම ගෑස් සිලින්ඩර් හොයාගන්න බැරිව ගෙදර තිබුණු පුටු, මේස කඩලා දර විදිහට පාවිච්චි කරලා කෑම උයන තත්ත්වයක් ඇති වෙලයි තිබුණේ.

ඒ වගේම රටේ සාමකාමී කැරැල්ලක් හා ත්‍රස්තවාදී කැරැල්ලක් යන දෙකම මතුවුණු වර්ෂයක් හැටියටත් මේ වසර නම් කරන්න පුළුවන්. මේ වර්ෂය ලංකා ඉතිහාසයේ භයානකම රාජකාරි සිදු කරපු අවස්ථාවක්. ඒ කියන්නේ අපි යටත් විජිත යුගයක හිටිය කාලෙවත් අපට අත් නොවුණු ඉරණමක්, අපට අත්කරදීපු අවස්ථාවක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය වගන්ති සියල්ලම උල්ලංඝනය කරපු වර්ෂයක් තමයි මේ වර්ෂය. ඒවා සිදු කළේ මහජන නියෝජිතයන් නොවේ. මේ රටේ මහ බැංකුවේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ප්‍රබුද්ධ නිලධාරීන් රටට දායා ද කරපු දේ තමයි එය. දැන් අපට පේනවා ඒ අය විවිධ ආර්ථික විශේෂඥ කතා කියනවා.

මූල්‍ය ප්‍රතිපත්තිය අනුව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකීම භාරගෙන අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අයවැය අනුව දැන් මුළු රටම පෙළගැහෙන්න තියෙනවා. ඒ වගේම එතුමා පාර්ලිමේන්තුවට එන්න පෙරත්, මේ සිදුවන අපරාධය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. ඒ වගේම මේ වැරදීමට හේතු ගණනාවකුත් තිබුණා. ඒ ස්ථාවර ජාතික ප්‍රතිපත්ති නොමැතිකමයි.

ඒ වගේම පසුගිය කාලය පුරාවට රට තුළ පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් තිබුණේ නැහැ. මෙවැනි, රට අරාජිකව පවතින මොහොතක තමයි රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගත්තේ. දැන් මේකෙන් අපිට ගොඩ එන්න තිබෙනවා. දේශපාලන පක්ෂ බොරුවට කෑගහලා වැඩක් නැහැ. රට ගොඩගන්න තිබුණු අවස්ථාවේ හැමෝම හැංගුණා. අපේ සියලුම මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තු පාරෙන්වත් ගියේ නැහැ. සියලුදෙනා කුඩා කුඩා වාහන සොයාගෙන වෙස් මාරු කරගෙන ගියේ. කාර් එකේ ගිය එක්කෙනා ත්‍රීවීල් එකේ ගියා. ත්‍රීවීල් එකේ ගිය කෙනා පයින් ගියා.

ඔය කියන පක්ෂ විපක්ෂ සියලුම මහජන නියෝජියෝ, මුහුණු ආවරණය පැළඳුවේ කොවිඩ්වලින් බේරෙන්න නොවේ, මහජනතාවගෙන් බේරෙන්න. එහෙම තත්ත්වයකට පත්වෙච්ච ජාතියක් දැන් පාරේ බැහැල යන තත්ත්වයක් ඇති කරලා තියෙනවා. දැන් මේ සඳහා ඉතින් අර කියූ ජාතික ප්‍රතිපත්තියට අනිවාර්යයෙන්ම යා යුතුයි.

අපේ අසල්වැසි රට ඉන්දියාව ඉතාම වැදගත්. ඉන්දියාව තමයි අපේ ප්‍රධාන මිතුරා විය යුත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටුණු රට ගොඩගැනීම සඳහා මෙවර අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් අය කියනවා මට ඇහුණා අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් නැහැ කියලා.

මේ රටේ අයත් – වැයත් මේ රටේ මහජනයා හොඳින් දන්නවා. පසුගිය කාලයේ අයකුත් නැහැ, වැයකුත් නැහැ කියලා ජනතාව දන්නවා. ණයකුත් නැහැ, ණය ගන්නත් බැහැ, ණය ගෙවන්නත් බැහැ කියලත් ජනතාව දන්නවා. නමුත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ට නැගී සිටින්නට පුළුවන් අයවැයක්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුදල් ඇමැතිවරයා හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එහෙම නම් අපි සියලුදෙනා ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුව තිබෙන බව මා ප්‍රකාශ කරන්න කැමතියි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment