පැති බැම්ම ඉදි කරමින් සිටියදී එක පාරටම පස් කන්දක් කඩා ගෙන වැටුණා – පස්කන්ද කඩා වැටීමෙන් මියගිය දෙදෙනාගේ මරණ පරීක්‍ෂණයේදී සාක්කිකරු කියයි

42

ගාල්ල කරාපිටියේ ඛේදවාචකය

පැති බැම්ම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට කලින් පස් කණ්ඩියේ ඇති අවදානම ගැන තාක්ෂණික නිලධාරිණියට පැහැදිලි කළා. පස් හා පස් කණ්ඩිය ගැන හොඳට ඉංජිනේරු මහත්මයෙක් පරීක්ෂා කරලා තියෙන්නේ. ඒ නිසා බය නැතිව වැඩේ කරගෙන යන්න කියා තාක්ෂණික නිලධාරි මිස් කිවා යැයි පස් කණ්ඩියකට යට වීමෙන් මියගිය සිව්දරුපියාගේ හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් පැති බැම්ම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් පෙදරේරුවා වන පැපලියගොඩගේ ටෙන්සන් දර්ශන (47) නැමැත්තා එසේ කීවේය.

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ අලුතින් ඉදිකර ගෙන යනු ලබන සිව්මහල් ගොඩනැඟිල්ලක පිටුපස පැතිබැම්මක් ඉදිකරමින් සිටිය දී පස්කන්දක් කඩාවැටීමෙන් තලගහහේන, වල්පොළ, ඉමදුව, ප්‍රදේශයේ පදිංචි කොඹල ලියනගේ සරත් කුමාර (52) සහ පිටදුව ගමගේ ප්‍රසංග සංජීව (35) නැමති පුද්ගලයින් දෙදෙනා මියගියහ. මියගිය කොඹල ලියනගේ සරත් කුමාර, නැමැත්තාගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරනු ලැබිය. මරණ පරීක්ෂණයේ තවදුරටත් සාක්ෂි දෙමින් සාක්ෂිකරු මෙසේ ද කිවේය.

මියගොස් සිටින්නේ මා ළඟ වසර තුනක පමණ කාලයක සිට වැඩකළ අයෙක්. පසුගිය කාලයේ දිගට ම වැඩ තිබුණේ නැහැ. මගේ ළඟ හය හත්දෙනෙකු වැඩ කරනවා. මෙම සිද්ධිය වීමට දින 04කට කලින් තමයි මේ වැඩේ මම භාරගත්තේ. අලුතෙන් ඉදිකරන ගොඩනැඟිල්ලේ පිටුපස කණ්ඩියට මායිම්ව පැති බැම්මක් දැමීමට තමයි මම කොන්ත්‍රාත්තුව භාර ගත්තේ. ස්කැවේටරයෙන් පස් කපලා ඉවත් කරලා තිබුණේ. කණ්ඩිය කපලා තිබුණේ කෙලින් අතට. එය ඉංජිනේරුවකුගේ අධීක්ෂණය යටතේ තමයි කරලා තිබුණේ. කණ්ඩියේ පහළ පොළොව මට්ටමේ සිට අඩි 03ක් පළලට අඩි හතරක් යටට අත්තිවාරම දමන්න කපලා තිබුණා. අත්තිවාරමේ සිට කණ්ඩිය අඩි 18ක් විතර උස ඇති. ඉකුත් 06 වැනිදා ඉඳලා එතන වැඩ කළා. සිද්ධිය වන දින අපි පස්දෙනෙකු වැඩ කළා. පැති බැම්මේ එක කොටසක අඩි 15ක් දිගට අත්තිවාරම දමලා තිබුණේ. එදින ඉතුරු කොටසේ අත්තිවාරම දමන්න උදලුවලින් පොළොව සමතලා කිරීම තමයි සිදුකළේ.

මියගිය සරත් හා ප්‍රසංග එක ළඟ වැඩ කළේ. එහා කෙළවරේ තවත් දෙදෙනෙකු වැඩ කළා. මම හිටියේ මෙහා කෙළවරේ. අපි තේ පානය කරලා දිගට ම වැඩ කළා. දහවල් 12.00ට විතර එකවරම පස් කණ්ඩිය කඩා ගෙන ආවා. අපිට හිතාගන්නවත් බැරිවුණා. මම ඉක්මන්ට ගොඩනැඟිල්ල පැත්තට පැන්නා. එහා කොණේ හිටපු දෙදෙනාත් පැන්නා. සරත් හා ප්‍රසංග සම්පූර්ණයෙන් පස්වලින් යටවුණා. එහා කොණේ හිටපු අයෙකුගේ පපුව මට්ටමට පස්වලින් යටවුණා. ගොඩනැඟිල්ල අයිති මහත්තයාට මේ ගැන දුරකථනයෙන් දැනුම් දුන්නා. ඊට පසුව යතුරුපැදියෙන් ගිහින් ස්ක්වේටරයක් සොයාගෙන ආවා. බැකෝ යන්ත්‍ර දෙකකුත් ආවා. බැකෝ යන්ත්‍රවලින් පස් ඉවත් කිරීමේ දී එක් බැකෝ යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වුණා. ආපසු ස්කවේටරයෙන් පස් ඉවත් කළා. සරත්ගේ අත්දෙක දැක්කා. ඊට පසු කට්ටිය එකතුවෙලා පස් ඉවත් කරලා සරත්ගේ හිස මතුකර ගත්තා. එහෙම ඉන්න අතරේ ගිලන් රථයක් ඇවිත් ඔහුට ඔක්සිජන් ලබාදුන්නා. ස්කැවේටරයෙන් පසු ඉවත් කිරීමේ දී ප්‍රසංගගේ හිස මතුවුණා. මට සිහිය නැතිවුණා. රෝහලේ ඉන්නකොට තමයි සිහිය ආවේ.

මියගිය අයගේ බිරිඳ වන වල්පොළ මද්දගේ ප්‍රේමකාන්ති (47) නැමැත්තිය ද සාක්ෂි ලබාදුන්නාය. පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ඒ විශාඛා සෙනෙවිරත්න මහත්මිය විසින් සිදුකළ අතර ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා ශ්වසන මාර්ගයේ පස් හිර වීමෙන් හුස්ම ගැනීමට අහසු වීමෙන් මරණය වී ඇති බවට තින්දු කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment