වරාය අධිකාරියෙන් බහාලුම් ගැලවෙයි!

283

කොළඹ වරායේ බහාලුම් මෙහෙයවීමේ කාර්යය මේ වන විට වරාය අධිකාරියෙන් ක්‍රමානුකූලව ගිලිහී පුද්ගලික අංශය වෙත නතුකර ගනිමින් සිටින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

එකී විගණන වාර්තාවට අනුව කොළඹ වරායේ 2022 වර්ෂයේ දී බහාලුම් මෙහෙයවීමේ කාර්යයන්ගෙන් සියයට 72ක්ම සිදුකොට ඇත්තේ පෞද්ගලික සමාගම් දෙකක් විසිනි. එම සමාගම් දෙක වන දකුණු ආසියානු පිවිසුම් පර්යන්ත සමාගම සියයට 26ක් ද, කොළඹ ජාත්‍යන්තර පුද්ගලික බහාලුම් පර්යන්ත සමාගම සියයට 46ක් ද වශයෙන් බහාලුම් මෙහෙයවීමේ දී ඉහළම දායකත්වය ලබාගෙන තිබුණි.

දැනට වරාය තුළ පිහිටි මීටර් 14.25ට වැඩි නෞකා පැමිණිය හැකි එකම පර්යන්තය වන්නේ කොළඹ ජාත්‍යන්තර් බහාලුම් පර්යන්තය වේ. මේ නිසා බහාලුම් මෙහෙයවීමේ දී ඉහළ දායකත්වයක් ලබා ගැනීමට කොළඹ ජාත්‍යන්තර පුද්ගලික බහාලුම් පර්යන්ත සමාගමට හැකිවී තිබුණි.

2022 වර්ෂයේ දී කොළඹ වරායේ සමස්ත බහාලුම් හැසිරවීමේ දී වරාය අධිකාරියේ වෙළෙඳපොළ කොටස සියයට 28ක් විය. කොළඹ වරායේ වරාය අධිකාරියේ බහාලුම් මෙහෙයවීමේ වෙළෙඳපොළ කොටස 2001 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා වූ කාලයේ දී සියයට 81 සිට සියයට 28 දක්වා පහත වැටී තිබුණි.

කොළඹ වරායේ තරගකාරීව කටයුතු කරන පුද්ගලික සමාගම් වන දකුණු ආසියානු පිවිසුම් පර්යන්ත සමාගම එම කාලයේ දී බහාලුම් මෙහෙයවීමේ වෙළෙඳපොළ කොටස සියයට 19 සිට සියයට 51 දක්වා ක්‍රමයෙන් වැඩි කර ගෙන පසුව සියයට 25 දක්වා පහත වැටී තිබුණි. මෙම කාලයේ දී කොළඹ ජාත්‍යන්තර පුද්ගලික බහාලුම් පර්යන්ත සමාගම බාහාලුම් මෙහෙයවීම සියයට 01 සිට සියයට 46 දක්වා ශීඝ්‍ර වර්ධනයක් ළඟා කරගෙන තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment