දිව්‍ය සැප හෝ අපායේ දුක නිවසකට ළඟාකර දෙන මුළුතැන්ගෙය

220

කුඩා ඉඩමක තැනුන සුවිසල් මන්දිරයක් වන මම මේ කියන නිවසේ ගිනිකොන දිශාවේ අලංකාර මුළුතැන්ගෙයක් පැවැති අතර එය ප්‍රයෝජනයට නොගනී. මෙයට විකල්පයක් ලෙසින් නිරිත දිශාවට වන්නට පිටතින් මුළුතැන් ගෙයක් ඉදිකර ඉවුම් පිහුම් කරන අතර එය දිගටම බස්නාහිර දිශාවේ වැසිකිළි වළ තෙක්ම පවතී. වැසිකිළි වළේ කොන්ක්‍රීට් ලෑල්ලේ පොඩි කොටසක් ද මුළුතැන්ගෙට ඇතුළුවී තිබේ. මෙම නිවසේ හිමිකරු ධනවත් ව්‍යාපාරිකයකු වූ අතර දරුවන් දෙදෙනකු සිටී. මෑතක සිට නිවසට කොපමණ මුදල් ගෙනාව ද ඉතිරියක් නොමැති අතර ගෘහ බිරිඳට ද දිනක් හැර දිනක් ලෙඩ රෝග ය. හිතවතකු මාර්ගයෙන් දිනක් මා හට දුරකථනයෙන් කතාකර මේ නිවස පරීක්‍ෂාවට ගියෙමි. නිවසේ තදබල වාස්තු දෝෂ දක්නට නොතිබුණ අතර මා කලින් කී නිවසෙන් බාහිරව ඇති මුළුතැන්ගෙය දෝෂ සහිත විය. නිවසින් පිටත මේ ආකාරයට මුළුතැන්ගෙයක් පැවතීම දෝෂයක් නොවන නමුත් නිවසක ධාන්‍යාගාරය, මූල්‍ය ආයතනය බඳු මෙය නිවසින් පිටත ඉදිකරන විට සම්මත වාස්තු විද්‍යා රීතීන්ට අනුකූල විය යුතුය. එහිදී නිවසෙහි කතිර රේඛාවන් හෙවත් විකර්ණ රේඛාවන්ට ඡේදනය නොවීමටත් වගේම වයඹ, ගිනිකොන දිශාවල ඉදිකළ යුතු අතර ගිනිකොන හෙවත් අග්නි කෝණය අවහිර නොවන ආකාරයටත් ඉදිකළ යුතුය. පදිංචි නිවසට පිටින් සාදන ගොඩනැගිල්ලක්, කුමන ආකාරයක එකක් වුවද තැබිය යුතු නිශ්චිත දුරක් පවතී. ඒ වගේම නිවස හා මුළුතැන්ගෙය අතර වහලයේ පරතරය අඩි 3 කට වඩා තැබිය යුතුය.

කුස්සියක බිම් මට්ටමේ පරතරය Ground floor Level සමානව හෝ උස්ව පැවතීම ගැටලුවක් නොවන අතර වෙනත් ගොඩනැඟිල්ලක නම් අවම අඟල් 3-4 ක් වත් පහත් කළ යුතුය. නිවසින් පිටත පොඩියට හෝ ආහාර පිසගැනීමට විශේෂයෙන් සමහර අය දර ළිප්වල ආහාර පිස කෑමට ප්‍රිය කිරීමත් එය 100% ක් සෞඛ්‍යයට සුදුසු නිසාත් එළියේ දර පෝරණය සහිත මුළුතැන්ගෙයක් ඉදිකරගැනීමට පෙලඹේ. ඒ වගේම රටේ ගෙවීගිය කාල වකවානුවේ ගෑස් පෝලිම්වල දින ගණන් රැඳී සිටීමට සිදුවූ නිසාත් ගෑස් මිල ඉහළ යෑම නිසාත් දර ළිපට යොමුවුණ අතර පුංචි ඉඩකඩක් හෝ පවතින නිවෙස්වල පිහිටි තාප්පයටම අල්ලා හෝ දර ළිප් කුස්සි ඉදිකළහ. නමුත් ඉඩමක මායිම් බිත්තියට, තාප්පයට මෙසේ ළිප් ඉදිකිරීම සුදුසු ක්‍රියාවක් නොවේ. මායිම්හි තාවකාලිකව හෝ නිවසක අන්ධ බිත්තියට මුළුතැන්ගෙය ඉදිකර ඇතිවිට එහි දර ළිප හෝ ගෑස් ළිප අවම වශයෙන් අඩි 4 කවත් මායිමට මෙහා තැබිය යුතුය. එසේ නොවීමෙන් එම පිසින ආහාර, බැදුම්, පුළුටුවලට ප්‍රේත අමනුෂ්‍ය දෝෂ ඉක්මනින් ග්‍රහණය වේ. එයට හේතුව ළිප ප්‍රේත කොටස තුළ පැවතීමය.

මා මේ ලිපිය ආරම්භයේ පැවසූ මුළුතැන්ගෙයෙහි ළිප පැවතුනේ ද ප්‍රේත පාදය තුළය. එම මුළුතැන්ගෙය ප්‍රධාන නිවසේ විකර්ණ රේඛාවට ඡේදනය වීමත්, කුස්සිය පහත්ව පිහිටීමත් නිවසේ මූල්‍ය ශක්තිය දුර්වලවීම කෙරෙහි බලපානු ඇත. එසේම වැසිකිළි වළෙහි කොන්ක්‍රීට් ලෑල්ල පොළොවෙන් වැසී පැවතුන ද එය මුළුතැන්ගෙයට සුළු කොටසක් හෝ හසුවීම ද ඉතා අශුභ වේ. මෙම මුළුතැන්ගෙයට ප්‍රේත අමනුෂ්‍ය බැල්ම දැඩිව පැවැති අතර අනෙක් නරකම කරුණ වූයේ මුළුතැන්ගෙය ඉදිකර ඇති දිශාවයි.

නිවසට අභ්‍යන්තරව හෝ බාහිරව ඉදිකරන මුළුතැන්ගෙය නිරිත, ඊසාන දිශාවන්ට මොනම අයුරින්වත් ගත නොහැකිය. නිවසක ධනය ඉතුරුවීමට නම් නිරිත දිශාව බලවත් විය යුතුය. උපයන ධනය නිරිත දිශාවේ මුළුතැන්ගෙය පැවතීමෙන් සිදුවන්නේ පිලිස්සීම පමණි. එපමණක් නොව නිවසේ ගෘහණිය රෝගාතුරුවීම කෙරෙහිත් බලපායි. බොහෝ ඊසාන හා නිරිත දිශාවන්වල කුස්සි පෝරණය පිහිටි නිවාසවල ගෘහණියට තදබල හිසරුදාවන් මෙන්ම හිස ආශ්‍රිත මානසික ගැටලු හිසේ ගෙඩි, පිළිකා වැලඳීමේ අවදානමත්, රෝග සුවවීමේ අඩු ප්‍රවණතාවත් බලපායි. එයට හේතුව ඊසාන නිරිත දිශාවන්ට දිවෙන විශ්ව ශක්ති රේඛාව දුර්වල වීමයි. ඊසාන දිශාව තුළ එනම් ආපෝ හෙවත් ජලයට අයිති ප්‍රදේශයෙන් ගින්දර හෙවත් තේජෝ ශක්තිය ඇති කිරීමෙන් ඊසානට, නිරිතට දිවෙන විශ්ව ශක්ති රේඛාව දුර්වල වේ. එම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය වනු ඇත මුළුතැන්ගෙය තුළ දවසේ වැඩිම කාලයක් රැඳී සිටින්නේ නිවසේ ගෘහණියයි. එම නිසා ඇයගේ ඕරාව මෙසේ විපරිත වන ශක්තීන්ගෙන් දුර්වල වනු ඇත. ඒ වගේම මුළුතැන්ගෙය තුළ සින්ක් එක හා ළිප එකිනෙකට ළංව පවතීම ද ගෘහණියට අශුභ දේ. මුළුතැන්ගෙයක ළිපෙහි ආහාර පිසීම වයඹ දිශාවේ පිහිටි විට උතුර දිශාව බලාගෙන ද, ගිනිකොන දිශාවේ ළිප ඇතිවිට නැඟෙනහිර දිශාව බලාගෙන ද සිදුකළ යුතුය. මුළුතැන්ගෙය නිතරම ඉතා පිරිසිදුව තැබිය යුතුය. රාත්‍රී කාලයේදී එදින ආහාර පිසින ලද භාජන සෝදා පිරිසිදු කර තැබිය යුතු අතර පිළුණු වී ගිය නරක් වුණු ආහාර තැබීමෙන් නොපෙනෙන බලවේගයන්ගේ ක්‍රියාකාරිත්වය ඇතිවනු ඇත.

මුළුතැන්ගෙය නිවසේ බිමට වඩා පහත්ව පැවතීම නිවසේ වියදම වැඩිවීමට හේතු වේ. නිවසේ බිමට වඩා අඟලකින් හෝ ඉස්සී පැවතීම ශුභ වේ. මෙහි බිත්තිවල තීන්ත ආලේපනය කිරීමේදී තද වර්ණ භාවිතා නොකළ යුතුය. සුදු වර්ණය ක්‍රීම් වර්ණය, ළා තැඹිලි වර්ණය මුළුතැන්ගෙයි බිත්තියට ශුභ වේ. කළු වර්ණ බිම් ටයිල් බිමට හෝ සින්ක් එක සවිකර ඇති කොන්ක්‍රීට් ලෑල්ල මතට ඇල්ලීම සුදුසු නොවේ.

සමහර නිවෙස්වල මුළුතැන්ගෙයෙහි කුස්සි පෝරණය ඇති බිත්තියට යාබදව නිවසේ වැසිකිළිය ඉදිකරයි. මෙය නිවසට කරගන්නා ප්‍රබල විනාශයකි. කොපමණ මුදල් ඉපැයීම කළ ද කිසිදු වගතුවක් ඇති නොවනු ඇත. රෝග පීඩා ද නිමක් නොවේ. ඒ වගේම නිවස ඇතුළතින් නාන කාමරයට ඇතුළුවීමේ දොරටුවක් දැමීම ද අශුභ වේ. කුස්සියට පැවතිය යුත්තේ පිටවීමේ තනි ද්වාරයක් පමණි. පිටවීමේ ද්වාර දෙකක්, තුනක් පැවතුනහොත් එම නිවසේ ධනය නොරැඳේ. මුහුණ බලන කණ්ණාඩි, දෙවි දේවතාවන්ගේ හෝ ආගමික ශාස්තෲන්ගේ පිංතූර, පිළිම, ආදිය මුළුතැන්ගෙය තුළ එල්ලීම අශුභ වේ.

“අන්නාපූර්නම්” නමැති දේවියගේ පිංතූරය කුස්සියේ එල්ලීම තුළින් මුළුතැන්ගෙය ආහාර වලින් පරිපූර්ණ ස්ථානයක් බවට පත්වන බව භාරත ජනතාවගේ විශ්වාසයයි. මුළුතැන්ගෙයට හොඳින් ආලෝකය වගේම වාතාශ්‍රය ද පැමිණිය යුතුය. අන්ධකාර වගේම හොඳ වාතාශ්‍රයක් නැති කුස්සි අමනුෂ්‍ය දෝෂවලට ලක්වේ. නිවසක අලුයම අවදි වන බිරිඳ ප්‍රථමයෙන් කළ යුතු කාර්යය වන්නේ නිවසේ ජනෙල් විවෘත කිරීමයි.

ගිනිකොන පිහිටි මුළුතැන්ගෙය සහිත නිවෙස්වල අලුයම මුළුතැන්ගෙයි විවෘත කරන ජනේලය තුළින් පතිත වන හිරුගේ සූර්ය රශ්මිය නිවසට ආශිර්වාදයකි. දෙමහල් නිවාසවල වැසිකිළි බට මුළුතැන්ගෙයි වහලය මතින්ද, තනි තට්ටුවේ පිහිටි නිවෙස්වල වැසිකිළි බට මුළුතැන්ගෙයි බිම තුළින් ද දැමීමෙන් නිවසේ ගෘහනිය ස්නායු ආශ්‍රිත රෝගවලට ලක්වීමේ ප්‍රවණතාවක් ඇතිවේ.

නිවසක මුළුතැන්ගෙය සඳහා ශුභම, වාසනාවන්ත දිශාව වන්නේ ගිනිකොන දිශාවයි. ඒ ගින්දරට අයිති දිශාව හෙවත් තේජෝ ධාතුව සක්‍රීය වන දිශාවයි. ගිනිකොන දිශාවට මුළුතැන් ගෙය ගත හැක්කේ උතුරට හා බටහිරට මුහුණ ඇති නිවෙස් වලට පමණි. නැඟෙනහිර හෝ දකුණ දිශාවට මුහුණත ඇති නිවාස වලට ගිනිකොන දිශාවට මුළුතැන්ගෙය නුසුදුසු වේ. එම නිසා ගිනිකොන දිශාව හැරුන විට වායෝ ධාතුව ක්‍රියාකරන වයඹ දිශාව තෝරා ගැනීම කළ හැකිය. මෙම දිශාවන් දෙකේ වුව ද නිවසේ විකර්ණ රේඛාවන්ට ඡේදනය වන අයුරින් හා පෝරණය නිවසෙහි අත්තිවාරම ඛ හැඩය ගන්නා ආකාරයෙන් නොගත යුතු අතර පිටතට පෝරණය ගන්නවා නම් එය කොන්ක්‍රීට් වලින් පමණක් පොළොවට, අත්තිවාරමට (නිවසේ අත්තිවාරම) සම්බන්ධ නොවන අයුරින් ගත යුතුය.

දිව්‍ය සැප හෝ අපායේ දුක නිවසකට ළඟාකර දෙන මුළුතැන්ගෙය

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment