දෙලොවක් අතර නැවතුණු අවුරුදු නැකැත් වෙනුවට ජාතික ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමයෙන් නැකත්

618

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 12 වැනි කිවි දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 10 වැනි සිකුරාදා දින ද නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 11 වැනි බ්‍රහස්පතින්දා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපරභාග 09.05 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය/සංක්‍රාන්ති කාලය

සංක්‍රාන්ති කාලය නොහොත් නොනගතය වන්නේ අප්‍රේල් මස 13 වැනි දින දහවල් 2.41 සිට අප්‍රේල් 14 අලුයම 3.29
(සම්ප්‍රදාය අනුව මෙරටෙහි පුණ්‍යකාලය ලෙස මේ කියන කාලය මෙතෙක් භාවිතා කළද නාරද පුරාණ, මුහුර්ත චින්තාමණී මූලාශ්‍රගත සිද්ධාන්ත අනුව අප්‍රේල් මස 13 වැනි දින දහවල් 12.11 සිට සවස 6.19 තෙක් හිරුඅවරට යෑම දක්වා වූ කාලය නිවැරදි පුණ්‍ය කාලයයි. එකී කාලය තුළ ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍යක්‍රියා ආදියේ නිරතවනු මැනවි. යමෙකුට උපවාසයේ යෙදීමට වුවද අවැසි නම් ආධ්‍යාත්මික සුවයෙන් එකී කාරණාව කළ හැකි වේ.)

(සංක්‍රාන්තියේ පූර්ව කොටසටත් හසුවෙන පරිදි පුණ්‍ය කාලය තුළ සවස 4.16 සිට 6.19 දක්වා යෙදෙන අති විශේෂ මහා පුණ්‍යකාල කොටස තුළ ඉහත වත් පිළිවෙත් වැඩි වැඩියෙන් කර සංක්‍රාන්ති දෝෂ අවම කරවාගන්න.)

අප්‍රේල් මස 13 වැනි දින දහවල් 2.41 සිට අප්‍රේල් 14 අලුයම 3.29 දක්වා සම්පූර්ණ නොනගතය තුළ කිසිදු ආහාරපානයක් නොගෙන සිටිය යුතුය කියා පැහැදිලි සෘෂි නියමයක් නැත්තේය. නිර්මාංශමය, පහසුවෙන් දිරවන කලින් සකස් කරන ලද කෙටි ආහාරයක් පහසු පරිදි ලබාගැනීමේ වරදක් නොමැත.

සංක්‍රාන්තිය රාත්‍රී කාලයේ නිසා සුබ නැකැත් සාධනය උදෙසා සෘෂි නියමය අනුව දෝෂ සහිත බැවින් සංක්‍රාන්තිය අවසන් වූ පසුව පසු දින සූර්ය උදාව සමග පහත පරිදි චාරිත්‍රානුකූලව සූර්ය මංගල්‍යය සමරනු ලැබේ.

ලිප ගිනි මෙළවීම

අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්ව භාග 6.17 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන්ද යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා ගිතෙල් හා තලමිශ්‍ර කැවිලිද කිරිබතක් ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 07.07 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වැනි සඳුදා දින පූර්ව භාග 10.23 ට මුතු පැහැයට හුරු සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වැනි බදාදා පූර්ව භාග 06.54 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

(පැළ සිටුවීම අවුරුදු චාරිත්‍ර ගණයෙහිලා වැටෙන එකක් නොවෙන බැවින් ද පොදුවේ සියලු පැළ වර්ග සඳහා එක් පොදු නැකතක් ලබාදීම ද ශාස්ත්‍රීයව කළ නොහැකි බැවින්ද එය මෙම සීට්ටුවට ඇතුළු කරනු නොලැබේ.)

නානු සෑදීමට ගන්නා ඖෂධ

කළාඳුරු අල, කුංකුමප්පු, සුදු හඳුන්, විෂ්ණු ක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරං මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල් ගැට, ඊතණ යන වර්ග 14 සමව ගෙන, තලා අලුත් මුට්ටියක දමා තම්බා පත අට දෙකට සිඳගන්න. ඉන්පසු ඉඹුල් පත් කොටා ඒවායේ යුෂ ද දෙහි ඇඹුල් ද, ඉහත සිඳගත් දියරයට දමා හොඳට මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරා ගන්න. එවිට ලැබෙන දියරය නානුය.

හිසතෙල් සඳහා තෙල් වර්ග

මෙලෙස සාදාගත් නානුද, තෙල් ද, (තල තෙල්, මී තෙල්, අබතෙල්, කොහොඹ තෙල්, සහ එඬරු තෙල් යන පස් තෙල්ද) ගා ස්නානය කරනු මැනවි. (හිසතෙල් ගෑමේ නානු හා තෙල් වට්ටෝරුව පැරණි පුස්කොළ පොතකින් උපුටා ගන්නා ලදී.)

(ඉහත කාල හෝරාවන් දිවාමාන රාත්‍රීමාන සලකා ගණනය කොට ඇත.)

දෙලොවක් අතර නැවතුණු අවුරුදු නැකැත් වෙනුවට ජාතික ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමයෙන් නැකත්

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 077 899 5353



දෙලොවක් අතර නැවතුණු අවුරුදු නැකැත් වෙනුවට ජාතික ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමයෙන් නැකත්

මෙරට අවුරුදු නැකැත් සම්පාදනය සම්බන්ධයෙන් ඓතිහාසික ගැටළුවක් පවතින බව “ජාතික ජ්‍යෝතිර් වේදීන්ගේ සංගමය හඬක් නඟන්නේ බොහෝ කාලයක පටන් ය. ඒ අනුව අප සංගමයට සම්බන්ධ අති දක්ෂ මෙන්ම පාරම්පරික දැනුම් සම්භාරයන්ගෙන් ද හෙබි රට පුරා විසිරී සිටින විවිධ විෂයය ක්ෂේත්‍ර ඔස්සේද දක්ෂතා පෙන්වා ඇති ජ්‍යෝතිර් වේදීන් බහුතරයක් මේ ගැටළුවට ස්ථිරසාර පිළිතුරක් ලබා දී ඇත.

වසර 160 ක් තිස්සේම සෘෂිභාෂිත මූලාශ්‍ර ග්‍රන්ථ පිළිබඳව විමසීමක් නොකර, නිසි පරිදි පරිවර්තනය කර නොගත් සිද්ධාන්ත භාවිතා කරමින් කාලාන්තරයක් තිස්සේ අවුරුදු නැකැත් මෙරට තුළ ඉදිරිපත්ව ඇත. එය හුදු මහත් ජාතියේම අභාග්‍යයක්වේ. ලිත් සම්ප්‍රදාය ඇරඹීමට ප්‍රථම ප්‍රාදේශීය වශයෙන් නැකත් ගණිත නිපුණයෝ, දේශීය වෙද මහතුන්, ශාස්ත්‍ර උගත් යතිවරුන් වහන්සේලා මෙකී කාර්‍යය අකුරටම කර ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. උඩරට රාජධානි සමය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන රොබට් නොක්ස් සහ ජෝන් ඩේවිඩ් යන ලේඛකයින් ද දළදාව මුල්කොට ගෙන සිව් මහා දේවාල වල ආශිර්වාදය ද සහිතව රජුගේ ප්‍රමුඛත්වයෙන් බක්මහ සුර්ය මංගල්‍යයය සැමරූ බව ඔවුන්ගේ ග්‍රන්ථ තුලින් පැහැදිලි ව සටහන් කර ඇත. එදා ජ්‍යෝතිෂ් ශාස්ත්‍රඥයින්ට සහ දේශීය වෛද්‍යාචාර්ය වරුන්ට රාජකීය මට්ටමේ විශාල පිළිගැනීමක් පැවතුණු අතර ඔවුන් රටේ දියුණුව උදෙසා සෘජුව දායකත්වය දී ඇත.

අදවන විට විවිධ හැල හැප්පීම් නිසා වාණිජමය පරමාර්ථ ඔස්සේ දුවන සමාජයක ශාස්ත්‍රය හෑල්ලු‍ වී ඇත්තේ එතුළට රිංගාගත් කඳ පණුවන් නිසාමය. එබැවින් අප සැවොම මෙකී ඓතිහාසික අවස්ථාව ශාස්ත්‍රීය සංගායනාවක් සේ සලකා දක්ෂයින් එක් රැස්වී ජාතික නැකැත් කමිටුවක් නිර්මාණය කරගෙන ඇත.

රාජ්‍ය නැකැත් කමිටුවේ අත්තනෝමතික ක්‍රියාදාමය අප මේ වනවිට මාධ්‍යය ඔස්සේ රටට හෙළි කොට ඇත. 2024 වසර එහි උච්චතම අවස්ථාවයි. සුර්‍යා අවරට ගොස් ඇති රාත්‍රී කාලයේ රටේ ජනයාද අපහසුවේ දමා යක්කු ගස් යන යාමයේ දී ඇති නැකැත් දෝෂ සහිතය. රටට ජනතාවට මෙන්ම පත්වන්නට සිටින සහ දැනට සිටින කිසිදු පාලකයෙක්ට මේවා සුබ නොවේ. ජනතාව තවත් අඳුරෙන් අඳුරට ඇද දමා වසර 160 තිස්සේ සංක්‍රාන්ති කාලයක් තුළ කිරිබත් කන ජාතියක් වෙනුවට එකී ඓතිහාසික වරදෙන් මුදවා ගනු පිණිස මේ සමඟ අප නිවැරදි නැකැත් චාරිත්‍ර සහිත සීට්ටුවක් නොමිලයේම ඉදිරිපත් කරන්නෙමු. අප්‍රේල් 14 දින උදෑසන කාලය තුළ රටටම යහපත් වන ලෙස සුර්ය උදාව සමඟ වේලාවන් එතුලින් ලබා දී ඇත.

සිදුහත් කුමරුන් උපත ලබන විට 107 ක් බමුණු පඬිවරු සක්විති රජ හෝ ලොව්තුරා බුද්ධත්වයට පත්වන බව ප්‍රකාශ කරන අතරේ කොණ්ඩඤඤ නම් බමුණු පඬි තෙමේ නියත වශයෙන්ම ඒකාන්තයෙන්ම බුදුවන බව ප්‍රකාශ කළේ ශාස්ත්‍ර දැනුමේ බලයෙනි. ඒ අනුව එකී නිවැරදි අනාවැකිය එදා කියුවා සේ ම අද “ජාතික ජ්යෝතිර්වෙදීන්ගේ සංගමයේ – ජාතික නැකැත් කමිටුව“ ජනතාව අතරේ ගර්හාවට ලක්ව ඇති වටිනා ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයට නිවැරදි අරුතක් එක් කර ඇත. කාලාන්තරයක් තිස්සේ පිරිසක් විසින් කළ වරදකට සමස්ත ජ්‍යෝතිර්වේදීන් දෙසම වැරදි ඇසකින් නොබලා ශාස්ත්‍රයේ නිවැරදි බව වටහාගෙන කිසිදු සැකයකින් තොරව අප විසින් ඉදිරිපත් කරන නැකැත් චාරිත්‍ර විශ්වාසයෙන් භාවිතා කරන්න. අප සංගමය ඉදිරි කාලයේදී රටේ ජාතික දියුණුව උදෙසාද ජ්‍යෝතිෂ් ශාස්ත්‍රය යෙදවීමේ වැඩසටහන් ගණනාවක් ද සකස් කරමින් සිටින බවද මතක් කර සිටිමු.

දෙලොවක් අතර නැවතුණු අවුරුදු නැකැත් වෙනුවට ජාතික ජ්‍යෝතිර්වේදීන්ගේ සංගමයෙන් නැකත්

පාරම්පරික වෛද්‍යාචාර්‍ය, පාරම්පරික ජ්‍යෝතීර්විද්‍යා උපදේශක දේශබන්දු
රවිශංඛ සේනානායක
071 6 854 854

advertistmentadvertistment
advertistmentadvertistment