කොකේසියානු කඳුකරයේ ගින්දර

518

නාගෝර්නෝ-කරබාක් කලාපය අසර්බයිජානයේ කොටසක් ලෙස ජාත්‍යන්තරව පිළිගන්නා නමුත් එහි වෙසෙන අති බහුතරය වාර්ගික ආර්මේනියානුවන්ය. දශක තුනක් තිස්සේ එහි වැඩි කොටසක් පාලනය කරන ලද්දේ වාර්ගික ආර්මේනියානුවන් විසිනි. මෙම කලාපය අසර්බයිජානය තුළම ස්වාධීනව පාලනය වූ ප්‍රදේශයක් (Enclave) ලෙස දශක ගණනාවක් තිස්සේ පැවතුණි. පසුගිය සතියේ පැය 24ක හදිසි මෙහෙයුමක් මඟින් නාගෝර්නෝ-කරබාක් ප්‍රදේශය අත්පත් කර ගැනීමට අසර්බයිජාන හමුදාවෝ කටයුතු කළහ. කරබාක් කලාපයේ ජීවත් වූ වැඩි පිරිසක් අසර්බයිජාන හමුදාව පැමිණීමට පෙර තම ගම් හා නගර හැර දා පලා ගොස් ඇත. කලාපයේ බලය අල්ලාගෙන සිටි ප්‍රාදේශීය හමුදාව අසර්බයිජානයට යටත් වීමෙන් පසු සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇත.

නිජබිම් හැර යන ජනතාව

අර්බුදයට ලක්ව ඇති කලාපයේ වෙසෙන වාර්ගික ආර්මේනියානුවන් සියලු දෙනා මේ වන විට තම ඓතිහාසික නිජභූමිය හැරදමා ආර්මේනියාවට සංක්‍රමණය වෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. සරණාගතයන් 50000කට වැඩි ප්‍රමාණයක් දැනටමත් තම රටට පැමිණ ඇති බව ආර්මේනියානු රජය ප්‍රකාශ කරයි. තමන්ට කෙසේවත් අසර්බයිජානයේ කොටසක් ලෙස ජීවත් වීමට අවශ්‍ය නැති බව නාගෝර්නෝ-කරබාක් කලාපයේ වර්තමාන නායකයා ද පවසා ඇත. ආර්මේනියාව වෙත පලායමින් සිටි නගෝර්නෝ-කරබාක් රජයේ හිටපු නායක රූබන් වර්ධන්යාන්, අසර්බයිජාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා විය.

120000 ක් පමණ වූ වාර්ගික ආර්මේනියාවෝ තමන්ට එරෙහිව සිදුවිය හැකි වාර්ගික සංහාරයක් පිළිබඳව බියකින් පසුවෙති. ආර්මේනියානු අග්‍රාමාත්‍යවරයා ද ප්‍රකාශ කර ඇත්තේ කලාපය තුළ වාර්ගික ශුද්ධ කිරීමක් සිදුවෙමින් පවතින බවයි. එම චෝදනා ප්‍රතික්ෂේප කරන අසර්බයිජාන රජය පවසන්නේ සිය රට තුළ සිටින සියලුම වාර්ගික ආර්මේනියානුවන්ට සමාන පුරවැසියන් සේ සලකන බවයි. ඉදිරියේදී නාගෝර්නෝ-කරබාක් කලාපයට යම් ආකාරයක ස්වයං පාලනයක් ලබා දීමට කටයුතු කරන බවත් අසර්බයිජාන රජය පවසයි.

කෙසේ නමුත් දහස් ගණන් ජනතාව මේ වන විට නාගෝර්නෝ-කරබාක් සිට ආර්මේනියාවට දිවෙන මාර්ගයේ රැස් වී සිටිති. මෙම මාර්ගය ලචින් කොරිඩෝව (Lachin Corridor) ලෙස හැඳින්වේ. මෙය දැනට කලාපයේ ඉතිරිව ඇති වාර්ගික ආර්මේනියානුවන් ජීවත්වන නගරය වන ස්ටෙපන්කර්ට් හා ආර්මේනියාව යා කෙරෙන සැතපුම් 20ක් දිග කඳුකර මාර්ගයකි. පසුගිය දෙසැම්බරයේ සිටම අසර්බයිජාන බලධාරීන් විසින් මෙම මාර්ගය අවහිර කරන ලදී. මුලින් පරිසරවේදීන් ලවා මාර්ගය සම්බන්ධයෙන් විරෝධතා දක්වන ලද අතර පසුව මාර්ගය දෙපස හමුදා මුරපළවල් ඉදිකරන ලදී. එම නිසා ආර්මේනියාවෙන් ලැබෙන ආහාර, බෙහෙත්, ඉන්ධන ආදී සැපයුම් අවහිර වී නාගෝර්නෝ-කරබාක් වැසියන්ට බොහෝ අපහසුතාවයන්ට ලක්වීමට සිදුවිය. මේ වන විට කලාපයෙන් පිටව යෑමට උත්සාහ කරන පිරිස් තම වාහන සඳහා ඉන්ධන සපයා ගැනීමේ බලාපොරොත්තුවෙන් පිරවුම්හල් අසල ද රැස් වී සිටිති. එවැනි පිරවුම්හලක පසුගිය දා සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 20ක් මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

එකිනෙකා නුරුස්සන පැරණි සෝවියට් සමූහාණ්ඩු

යුරෝපය හා ආසියාව වෙන්වන කොකේසියානු කඳුකරය නොහොත් යුරේසියානු කලාපයේ පිහිටි ආර්මේනියාව හා අසර්බයිජානය යන රටවල් දෙකම පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ සමූහාණ්ඩු දෙකකි. සෝවියට් කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමත් සමඟම ස්වාධීන රාජ්‍ය දෙකක් ලෙස ප්‍රකාශයට පත්වූ මෙම රටවල් දෙක නාගෝර්නෝ-කරබාක් ප්‍රදේශයේ අයිතිය සම්බන්ධයෙන් අද වන විට එකිනෙකාට එරෙහි නිරන්තර යුද්ධයක පැටළී සිටිති.

ආර්මේනියානුවන්ගෙන් බහුතරය කිතුනුවන් වුවත් අසර්බයිජානයේ වෙසෙන බහුතරය මුස්ලිම්වරුන් ය. නමුත් මෙම රටවල් දෙකම රාජ්‍ය පාලනයට ආගම සම්බන්ධ කර නොගන්නා බව ද කිව යුතුය. ඛණිජ තෙල් සම්පත්වලින් පොහොසත් අසර්බයිජානය අසල්වැසි තුර්කිය සමඟ සමීප සබඳතාවක් පවත්වා ගෙන යන අතර ආර්මේනියාව රුසියාව දෙසට වඩාත් නැඹුරු වී ඇති බව පෙනෙන්නට තිබේ. තුර්කියේ විවෘත සහයෝගය ලබන අසර්බයිජාන රජය නාගොර්නෝ-කරබාක් අතහැරීමට කිසිසේත්ම සූදානම් නැත. නිදහස් අසර්බයිජානය මුලින්ම පිළිගත් රට වන්නේ ද තුර්කියයි. තුර්කිය සමඟ අසර්බයිජානයේ බැඳීම කොතෙක්ද යන්න නිදහස් අසර්බයිජානයේ ප්‍රථම ජනාධිපති හෙයිඩර් අලියෙව් විසින් කළ “එක් ජාතියක් – රටවල් දෙකක්” යන ප්‍රකාශයෙන් මැන ගැනීමට හැකිය.

අර්බුදයෙන් දෙදරා ගිය සෝවියට් සංගමය

1920 වසරේදී බෝල්ෂෙවික්වරු අසර්බයිජානය සෝවියට් දේශයට පවරා ගත්හ. පසුව 1921 දී ආර්මේනියාව සහ ජෝර්ජියාව ද සෝවියට් දේශයේ කොටස් ලෙස එකතු කර ගන්නා ලදී. එවකට සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ජාතීන් අතර සහයෝගිතාවය පිළිබඳව කොමිසාර්වරයා ලෙස කටයුතු කළේ පසුව සෝවියට් නායකයා බවට පත්වූ ජෝෂප් ස්ටාලින් ය. ඔහුගේ තීරණයකට අනුව ආර්මේනියානු ජනතාවගේ සිත් දිනා ගැනීමට කරබාක් ප්‍රදේශය ආර්මේනියාවට ලබා දෙන්නට තීරණය විය. නමුත් මැදපෙරදිග බලවතකු වූ තුර්කිය විරසක කර ගැනීමට සෝවියට් නායකයන් තුළ තිබූ අකමැත්ත නිසාම අවසානයේදී එම ප්‍රදේශය අසර්බයිජානය හා සම්බන්ධ කිරීමට සිදුවිය.

කොකේසියානු කඳුකරයේ ගින්දර

නාගාර්නෝ-කරබාක් අර්බුදය මුලින්ම ඉස්මතු වූයේත් සමූහාණ්ඩු දෙකම සෝවියට් සංගමය යටතේ පාලනය වන අවධියේම ය. නගෝර්නෝ- කරබාක් වැසියන්ට ආර්මේනියානු මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය ලබා දීමට එවකට ආර්මේනියානු සමූහාණ්ඩුව විසින් තීරණය කිරීමත් සමඟ අසර්බයිජාන සමූහාණ්ඩුව කලබලයට පත්විය. අසර්බයිජාන සමූහාණ්ඩුවේ නීති රීතිවලට මෙය පටහැනි විය. අසර්බයිජානය තුළ ආර්මේනියාවේ මෙම තීරණයට විරුද්ධව උද්ඝෝෂණ ඇති විය. එය සෝවියට් විරෝධයක් ලෙස වර්ධනය වන්නට වැඩි දවසක් ගියේ නැත. සමස්ත අසර්බයිජානය පුරාම මේ උද්ඝෝෂණ ව්‍යාප්ත විය. විශේෂයෙන්ම බාකු අග නගරය තුළ තත්ත්වය වඩාත් දරුණු විය. සෝවියට් නායක මිහායිල් ගොර්බචොව් මෙම උද්ඝෝෂණ මැඩ පවත්වන්නට සෝවියට් හමුදාව බාකු නගරය වෙත යැවීමට කටයුතු කළේය.

සෝවියට් හමුදාවට සෝවියට් ජාතිකයන්ටම එරෙහිව දරුණු මෙහෙයුමක් දියත් කිරීමට සිදුවීම බලසම්පන්න කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතියේ අවසානය ඉක්මන් කිරීමට එක් හේතුවක් විය. මේ මෙහෙයුම අවසාන සෝවියට් නායකයා වූ ගොර්බචොව්ගේ ජීවිතයේදී ගනු ලැබූ වැරැදි දේශපාලන තීරණයක් ලෙස අර්ථ දැක්වුව ද වරදක් නැත.

වාර්තාවන්ට අනුව 300 කට අධික අසර්බයිජාන් ජාතිකයන් පිරිසක් සෝවියට් හමුදාවේ වෙඩි පහරවල්වලින් මරණයට පත් විය. එදා ගොර්බචොව් මහතා මෙම සිද්ධිය හැඳින්වූයේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙන ගිය මෙහෙයුමක් හැටියට ය. නමුත් අසර්බයිජානයේ සියලුම දේශපාලන නායකයෝ මෙම අවස්ථාවේදී සෝවියට් මධ්‍යම රජයට එරෙහිව නැඟී සිටියහ. එහි මුල් තැන ගත්තේ එවකට සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ අසර්බයිජාන නියෝජිතයා සහ අසර්බයිජාන් කේ.ජී.බී. රහස් ඔත්තු සේවයේ ප්‍රධානී හෙයිදාර් අලියෙව් ය. ඔහු කොමියුනිස්ට් පක්ෂ සාමාජික කාඩ්පත ප්‍රසිද්ධයේම ගිනි තැබුවේය. පසුව සෝවියට් දේශයේ බිඳවැටීමත් සමඟම 1993 දී නිදහස් අසර්බයිජානයේ ප්‍රථම ජනාධිපති ධුරයට පත්වීමටත් හෙයිදාර් අලියෙව්ට හැකි විය. අද අසර්බයිජානයේ ජනාධිපති ධූරය හොබවන්නේ ඔහුගේ පුත්‍රයා වූ ඉල්හාම් අලියෙව්ය.

මෑත කාලීන යුද්ධය

අසූව දශකයේ අවසාන කාලයේදී මෙම රටවල් දෙක අතර මෑත කාලීන යුද්ධය ආරම්භ විය. ඒ නාගෝර්නෝ-කරබාක්හි ජීවත් වන ආර්මේනියානු ජාතිකයන් අසර්බයිජානයෙන් වෙන්ව ජීවත් වීමට තීරණය කිරීමත් සමඟයි. 1991 දී සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු කලාපයේ පාලනය සම්බන්ධයෙන් යටපත්ව තිබූ අර්බුදය වඩාත් දරුණු ලෙස ඉස්මතු විය. ගැටුම්වලින් දෙපාර්ශ්වයේම දස දහස් ගණන් ජීවිත විනාශ විය. 1992 පෙබරවාරි මාසයේදී, නගෝර්නෝ-කරබාක් ප්‍රදේශයේ පිහිටි අසර්බයිජාන් නගරයක් වන කොජාලිහි පදිංචිකරුවන් 600 ක් පමණ ආර්මේනියානු හමුදා විසින් මරා දමන ලදී. රුසියානු හමුදාවන්ගේ උදව් ඇතිව අසර්බයිජානය පරාජය කිරීමට ඒ අවස්ථාවේදී ආර්මේනියානු සටන්කරුවන්ට හැකිවිය. 1994 දී රුසියානු මැදිහත්වීමෙන් සටන් විරාමයක් ඇති කර ගනිමින් පළමු නාගෝර්නෝ-කරබාක් යුද්ධය අවසන් විය. ආර්මේනියාව තුළ රුසියානු හමුදා කඳවුරක් පවා පිහිටුවා තිබෙන අතර අසර්බයිජානය ද රුසියාව සමඟ ශක්තිමත් සබඳතාවක් පවත්වාගෙන යන බව රහසක් නොවේ. කෙසේ නමුත් 2020 දී සති පහක යුද්ධයකින් පසු අසර්බයිජානය නාගෝර්නෝ-කරබාක්හි වැඩි කොටසක් නැවත අත්පත් කර ගත්තේය. අසර්බයිජානයට තුර්කියේ පමණක් නොව ඊශ්‍රායලයේ සහාය ද ලැබුණි. කලාපයේ විශාලතම නගරය වන ස්ටෙපන්කර්ට් සහ ඒ අවට ජනවාර්ගික ආර්මේනියානු ගම්මාන හැර බොහෝ ප්‍රදේශ අසර්බයිජානයේ පාලනයට නතු විය.

ඓතිහාසික අභිමානයක් වූ කොකේසියානු කඳුකරය

නාගෝර්නෝ-කරබාක් කලාපයේ අසර්බයිජානයේ අනෙකුත් ප්‍රදේශවල මෙන් ඛණිජ සම්පත් හෝ වෙනත් ස්වාභාවික සම්පත් නැත. නමුත් කොකේසියානු කඳුකරය ඓතිහාසික හා උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් කලාපයකි. පැරණි කොන්ස්තන්තීනෝපලය අගනගරය කරගත් ක්‍රිස්තියානි බයිසැන්තියන් අධිරාජ්‍යයේ සිට මුස්ලිම් ඔටෝමාන් අධිරාජ්‍යය දක්වා ලෝක බල තුලනය මාරු වෙද්දී මේ ප්‍රදේශය ඉතා සංවේදී කලාපයක් විය. කලාපයේ බලය ඓතිහාසික අභිමානය සමඟ බද්ධ වී ඇත. සියවස් ගණනාවක් පුරා ක්‍රිස්තියානි හා මුස්ලිම් බලවතුන් කොකේසියානු කලාපයේ බලය පවත්වා ගැනීම උදෙසා සටන් කර තිබේ.

අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව්ට සියලුම වාර්ගික ආර්මේනියානුවන් කලාපයෙන් පලවා හැරීමට අවශ්‍ය බව පෙනෙන්නට තිබේ. වසර තුනකට පෙර ලැබූ හමුදා ජයග්‍රහනවලින් ධෛර්යමත් වූ ඔහු එම කාර්යය අවසන් කිරීමට අදහස් කරනවා. මෙන්ම මෙය ඊට සුදුසුම මොහොත බව උපකල්පනය කර ඇති බව පැහැදිලිය. ඊට එරෙහිව එල්ල විය හැකි ප්‍රධාන බාධකය රුසියාව වුවත් ආර්මේනියානුවන් ගැන අවධානය යොමු කිරීමට මේ මොහොතේ ජනාධිපති පුටීන්ට අපහසුය. රුසියාව නැගෙනහිර යුරෝපයේ යුක්‍රේනය සමඟ මහා පරිමාණ යුද්ධයක පැටලී ඇත.

රුසියාව පිටුපායි

ආර්මේනියානුවන් බහුතරය ඕතඩොක්ස් ක්‍රිස්තියානිවරුන් ය. රුසියාව සමඟ ඔවුන්ගේ ඇති ඓතිහාසික සම්බන්ධතාවට එය ප්‍රධානතම හේතුවකි. ඕතඩොක්ස් පල්ලියේ මූලස්ථානය පිහිටියේ රුසියාවේ ය. කෙසේ නමුත් 2020 දී අසර්බයිජාන හමුදා නාගෝර්නෝ-කරබාක් ආක්‍රමණය කරන විට රුසියා-යුක්‍රේන යුද්ධය ආරම්භ වී තිබුණේ නැත. වසර තුනකට පසු තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වී ඇත. ක්‍රෙම්ලිනය තවමත් ආර්මේනියාවේ ස්වෛරීත්වය සහතික කරන්නකු ලෙස පෙනී සිටිය ද දෙපාර්ශ්වය අතර පැරණි ළබැඳියාව තවමත් එලෙසින්ම පවතිනවාද යන්න සැක සහිතය. අසර්බයිජානය විසින් තමන්ට කරන කෙණහිලිකම් හමුවේ රුසියාව ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකරන බව ආර්මේනියානු පාර්ශ්වයෙන් චෝදනා එල්ල විය. යුක්‍රේන ආක්‍රමණයත් සමඟම රුසියාවේ අවධානය හා හමුදා සම්පත් ඒ දෙසට යොමුව ඇත. ආර්මේනියාව ද මේ වන විට වඩාත් බටහිර ගැති ස්ථාවරයකට මාරු වී ඇත. මෑතකදී ක්‍රෙම්ලිනය කෝපයට පත් කරමින් ආර්මේනියාව එක්සත් ජනපද හමුදා සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීය. වර්තමාන ආර්මේනියානු අගමැති නිකොල් පෂින්යාන් 2018 දී බලයට පත්වූයේ එවකට පැවති රජයට එරෙහිව දැවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයන්ට නායකත්වය දීම හරහා ය. ඔහුගේ ආගමනයත් සමඟ ආර්මේනියාව සහ රුසියාව අතර සබඳතා පළුදු විය. ආරක්ෂාව සඳහා ආර්මේනියාව රුසියාව මත යැපීම “උපායමාර්ගික දෝෂයක්” බව ඔහු මෑතකදී පැවසීය.

යුරෝපා සංගමය ද ආර්මේනියාව සමඟ වූ සහයෝගය වැඩිකර ගෙන ඇත. යුක්‍රේන යුද්ධයේදී ද ආර්මේනියාව රුසියාව පැත්තේ හිටගත්තේ නැත. එම නිසා පුටීන් මහතා මේ වන විට ආර්මේනියානු අගමැති නිකොල් පෂින්යාන් සමඟ හිතේ කහටකින් සිටින බව පෙනෙන්නට තිබේ. ඊට අමතරව රුසියාව තවත් උපායශීලී අරමුණක් ද මේ අර්බුදය ඔස්සේම ඉටුකර ගැනීමට උත්සාහ කරනවා වන්නටත් බැරි නැත. නාගෝර්නෝ-කරබාක් කලාපයේ දීර්ඝකාලීන යුද්ධයක් ඇරඹුණ හොත් බටහිර රටවල් විසින් යුක්‍රේනය වෙත පමණක් යොදන පිටුබලය වෙනතකට ද යොමුකිරීමට හැකිය.

මේ අතර ස්වයං-ප්‍රකාශිත නාගෝර්නෝ-කරබාක් රජය විසුරුවා හරින බවත් 2024 වන විට තම ජනරජයේ පැවැත්ම නතර කරන බවත් නිල නොවන ජනරජයේ ජනාධිපති සැමුවෙල් ශාරමන්යෙන් නිවේදනය කර ඇත. ස්වයං-ප්‍රකාශිත රජයේ සියලුම රාජ්‍ය ආයතන 2024 ජනවාරි 1 දින වන විට විසුරුවා හැරීමේ නියෝගයකට ඔහු අත්සන් කළ බව කරබාක්හි ආමේනියානු බලධාරීහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. ජනරජය එදින සිට තවදුරටත් නොපවතිනු ඇති බව එම නියෝගයේ සඳහන් වේ.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment