නව කැලණි පාලමේ ඇණ ගැලවීම ගැන ඇත්තම වාර්තාවක් පාර්ලිමේන්තුවට දෙනවා – දයාසිරිගේ ප්‍රශ්නයට ඇමැති බන්දුලගෙන් පිළිතුරු

177

නව කැලණි පාලමේ ඇණ කොපමණ ප්‍රමාණයක් ගලවා තිබේද සහ ඒ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වාර්තාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (18දා) පැවසීය.

එම පාලමේ රුපියල් කෝටි 28ක් වටිනා ඇණ ගැලවීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේ ඇමැතිවරයා මේ බව කීය.

මෙම ඇණ රුපියල් කෝටි 28ක් වටින්නේ නම් ඊට යකඩ බර කිලෝ හැත්තෑ හත් ලක්ෂ අනූදෙදහස් හාරසිය දෙකක් විය යුතු බවත් එම ඇණයක බර කිලෝ 05ක් නම්, ඇණ පහළොස් ලක්ෂ පනස් අට දහස් හාරසිය අසූවක් කුඩ්ඩන් විසින් ගලවා තිබිය යුතු බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය. ඒ අනුව දිනකට ඇණ 100ක් ගැලවුවහොත් මෙම ඇණ සියල්ල ගැලවීමට වසර 21ක් ගත වන බව කී මන්ත්‍රීවරයා, මෙය හුදු ඇණ පිළිබඳ කතා වස්තුවක් බවත් මේ සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශ කරන ලෙසත් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

එහිදී ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ සංඛ්‍යා දත්තවල නිවැරදි භාවය ගැන තමන්ට ප්‍රශ්නයක් තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේද මෙවැනි ගැටලුවක් තිබෙන අතර ඇතැම් විට රේල් පීලී කෑලි පවා ගලවාගෙන යන තත්ත්වයක් තිබෙන බවත් පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තිබූ පඬු කරඳ ගස ඉතා ඉක්මනින් හොර රහසේ ගලවා අතුරුදන් කළේ කෙසේදැයි මෙහිදී විමල් වීරවංශ මහතා ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා එය රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව මත සිදු කළ බව කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment