ගොවිතැන බිංදුවට බැස්සූ රසායනික පොහොර තහනමේ තොරතුරු එළියට

2495

චීන අසූචි පොහොර ගනුදෙනුව නිසා රජයට වී ඇති පාඩුව රුපියල් මිලියන 1382ක්

බඩ ඉරිඟු නිෂ්පාදනය සියයට 45.2කින් පහළට

නැනෝ දියර පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් කළ විගණන වාර්තාව හමස් පෙට්ටියේ

වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.4 ක් දක්වා සියයට 34.1කින් පහළට

එළවළු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 772,773ක් දක්වා සියයට 3.1කින් පහළට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් රැයකින් රසායනික පොහොර තහනම් කරනු ලැබීය. රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීන්දුවේ අනිටු ප්‍රතිවිපාක මේ වනවිට ගොවි ජනතාවට පමණක් නොව රට්ටුන්ට ද අත්විඳීමට සිදුවී ඇත. රසායනික පොහොර තහනම් කිරීමට ගත් මරිමෝඩ, තකතීරු තීන්දුව නිසා මෙරට කෘෂි හා වැවිලි ආර්ථිකයට වූ හානිය සුළුපටු නොවේ. මේ නිසා වී, තේ, රබර්, එළවළු, පළතුරු, බහුවාර්ෂික භෝගවල අස්වැන්න විශාල වශයෙන් අඩුවිය. මේ හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ලවූ බලපෑම සුළු පටු නොවේ. ඒ විතරක් නොව හිටපු ජනාධිපතිවරයාට සිය ජනාධිපති ධුරය හැරදමා යෑමට රසායනික පොහොර තහනම ද එක් හේතුවක් විය.

රසායනික පොහොර තහනම් කිරීමත් සමග රජය චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමට කටයුතු කරනු ලැබීය. අවසානයේ චීන අශූචි පොහොර තොගයේ පිරිවැයෙන් සියයට 75ක් සඳහා නොසැපයූ පොහොර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9කට සමාන රුපියල් මිලියන 1382ක අත්තිකාරම් මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දී තිබුණි. චීන අශූචි පොහොර ගනුදෙනුව නිසා රජයට වී ඇති පාඩුව රුපියල් මිලියන 1382කි. මේ සම්බන්ධව විගණනය මගින් කුමන නිර්දේශ ඉදිරිපත් කළද ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට ලක්ව සිටින රට්ටුන්ට මෙකී පාඩුව දැරීමට සිදුවන බව සක්සුදක්සේ පැහැදිලිය.

අනික් කාරණය වන්නේ සමථ කොන්දේසි අනුව අපේක්ෂිත සංයුතියෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර නැවත සැපයිය යුතු බවට කොන්දේසියක් අදාළ සමාගමට පනවා තිබුණි. එහෙත් මේ දක්වා ප්‍රමිතියෙන් යුත් පොහොර තොගයක් තියා පොහොර ඇටයක්වත් අදාළ සැපයුම්කාර සමාගම විසින් මෙරටට ලබා දී නොතිබුණි. එමෙන්ම අදාළ සමාගම විසින් ප්‍රමිතිගත පොහොර ලබානොදීම තුළ ඒ සඳහා ගෙවූ මුදල අයකර ගැනීමට හැකියාවක් නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ නිසා පොහොර සඳහා ගෙවූ මුළු මුදලම රජයට සිදුවූ පාඩුවකි.

අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදුවී ඇති රුපියල් මිලියන 1382ක පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අයකර ගත යුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කොට ඇත. විගණන කාර්යාලය මගින් ද මෙකී පොහොර ගනුදෙනුවේ පාඩුව නිලධාරීන් පිට පටවා ඇත. මේ සඳහා වගකිවයුතු බව කියන දේශපාලනඥයන් සියලු චෝදනාවලින් නිදහස්කොට ඇත්තේය. රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීන්දුවේ මෙය තවත් එක් අනිටු ප්‍රතිඵලයකි. ඒ විතරක් නොව ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීම පිළිබඳව ද මේ වනවිට විවිධ චෝදනා එල්ලවී ඇත. මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් සකස් කළ විශේෂ විගණන වාර්තාව, කරුණු විමසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. මේ පිළිබඳ විගණකාධිපති, ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා සඳහන් කොට තිබුණේ, කරුණු විමසීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කරන බවය.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර්, ලක්ෂ 21 කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ඇනවුම් කළේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, ඉන්දීය ගොවි පොහොර සමූපකාර සමාගමෙනි. ඉන්දියාවේදී ඩොලර් 3 යි ශත 23 කට අලෙවි වූ නැනෝ දියර පොහොර මිලි ලීටර් 500 ක්, ශ්‍රී ලංකාව මිලදී ගෙන තිබුණේ අමෙරිකානු ඩොලර් 12 යි ශත 45 කටයි. නැනෝ නයිට්‍රජන් පොහොර මිලි ලීටර් 500 ක් සඳහා ඉන්දියාවේ සිල්ලර මිලටත් වඩා රුපියල් 1,867 ක පමණ වැඩිපුර අගයක් ගෙවීමට මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම මුදල සම්පූර්ණයෙන් ඇනවුම් කළ පොහොර සඳහා වැය කළේ නම් එවක එහි වටිනාකම අනුව එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 7,841 ක පමණ අමතර වියදමකි. කෙසේ වුවද මේ සම්බන්ධ විගණන වාර්තාව මේ වනතෙක් පාර්ලිමේන්තුවට හෝ කෝප් කමිටුවට ලබාදීමට කටයුතු කර නැත.

ඒ විතරක් නොව රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීන්දුව නිසා කෘෂි හා වැවිලි බෝගවල අස්වැන්න පහත වැටීම නිසා මෙරට ආර්ථිකයට වී ඇති බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවෙන් ද අනාවරණය කොට ඇත. ආහාර සුරක්ෂිතතාවයටද මේ නිසා දැඩි බලපෑමක් එල්ලවී තිබුණි.

පොහොර හිඟය ඇතුළු සැපයුම් අංශයේ දැඩි අවහිරතා හේතුවෙන් වසර හයකට පමණ පසු මෙරට අඩුම වී නිෂ්පාදනය ඉකුත් වර්ෂයේදී (2022) වාර්තා වී ඇත. වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.4 ක් දක්වා සියයට 34.1කින් පහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන්ව ඇත.

2017 වර්ෂයෙන් පසු එහි අඩුම වාර්ෂික වී නිෂ්පාදනය වාර්තා කරමින් රටේ සමස්ත වී නිෂ්පාදනය 2022 වර්ෂයේ දී සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවද මහ බැංකුව මගින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. 2022 වර්ෂයේදී මෙරට සමස්ත වී නිෂ්පාදනය සියයට 57.0කි. 2021/2022 මහ කන්නයේ දී මෙරට වී අස්වැන්න සියයට 36.9කින් පහළ ගිය අතර 2022 යල කන්නයේ දී වී අස්වැන්න සියයට 30.0කින් පහළ යනු ලැබීය.

පොහොර සහ යෙදවුම්වල හිඟය හේතුවෙන් වී නිෂ්පාදනයේ සාමාන්‍ය පලදාව 2021 වර්ෂයේ දී වාර්තා වූ හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 4571ට සාපේක්ෂව 2022 වර්ෂයේ දී හෙක්ටයාර එකකට කිලෝ ග්‍රෑම් 3,045 දක්වා පහළගොස් තිබුණි. 2022 වර්ෂයේ සමස්ත වී නිෂ්පාදනය සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.1කට සමාන වී ඇති අතර එය ගෘහස්ථ සහල් ඉල්ලුමෙන් මාස 11ක් සඳහා ප්‍රමාණවත් වනු ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

පොහොර සහ අනිකුත් කෘෂි රසායන ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කළද එම තහනමේ බලපෑම මෙන්ම අවශ්‍ය පරිදි පොහොර ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැතිවීම ආදි හේතු නිසා රට තුළ උග්‍ර පොහොර හිඟයක් නිර්මාණය වීම නිසා වී නිෂ්පාදනය සඳහා සැලකිය යුතු බලපෑමක් එල්ලවූ බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. රසායනික පොහොර ඇතුළු කෘෂිකාර්මික යෙදවුම්වල හිඟය සහ ඉහළ පිරිවැය හේතුවෙන් මෙරට බඩ ඉරිඟු නිෂ්පාදනය 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේදී මෙට්‍රික්ටොන් 259,040ක් දක්වා සියයට 45.2කින් කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබුණි. දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය පහත වැටීමත් සමග සත්ත්ව ආහාර කර්මාන්තයේ ඇතිවූ ධාන්‍ය හිඟය සපුරාලීම සඳහා බඩ ඉරිඟු ආනයනය කිරීමට රජයට සිදුවිය. 2021 වර්ෂයේ දී බඩ ඉරිඟු ආනයනය කොට තිබුණේ මෙට්‍රික් ටොන් 22,724කි. එහෙත් මෙකී තත්ත්වය හමුවේ 2022 වර්ෂයේදී බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 190,686ක් ආනයනය කිරීමට රජයට සිදුවිය. ඒ විතරක් නොව 2022 වර්ෂයේ දී රතු ලූනු, මුං, උඳු, රටකජු, ඉඟුරු හා අමුමිරිස්, නිෂ්පාදනය පහළ ගොස් තිබුණි.

මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවට අනුව රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍යවල ඇති වූ හිඟය හේතුවෙන් ඉකුත් වර්ෂයේදී (2022) මෙරට එළවළු නිෂ්පාදනය සියයට 4.9කින් පහළ ගොස් තිබුණි. 2021 වර්ෂයේදී මෙරට සමස්ත එළවළු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1,669,515කි. එයට සාපේක්ෂව 2022 වර්ෂයේදී මෙරට එළවළු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1,588,256ක් දක්වා සියයට 4.9කින් පහළ ගොස් තිබුණි. 2021/2022 මහ කන්නයේ දී එළවළු නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 815,482ක් දක්වා සියයට 6.5කින් පමණ පහළ ගොස් ඇත. 2022 වර්ෂයේ යල කන්නයේ එළවළු නිෂ්පාදනය 2021 වර්ෂයේ යල කන්නයට සාපේක්ෂව එළවළු මෙට්‍රික් ටොන් 772,773ක් දක්වා සියයට 3.1කින් පහළ ගොස් තිබුණි.

කෙසේ වුවද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022 වර්ෂයේ දී මෙරට පළතුරු නිෂ්පාදනය පෙර වසරට සාපේක්ෂව මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරනු ලැබීය. දොඩම්, දෙහි, රඹුටන්, අලිගැට පේර, සහ කොමඩු නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ යනු ලැබීය. මෙකී තත්ත්වය හමුවේ 2022 වර්ෂයේදී මෙරට පළතුරු නිෂ්පාදනය සියයට 26.9කින් පහළ යනු ලැබීය. පළතුරු නිෂ්පාදනය අඩුවීමත් සමග 2022 වර්ෂයේදී ඩොලර් මිලියන 42.2ක් වටිනාකමක් සහිත පළතුරු මෙට්‍රික් ටොන් 32,591ක පළතුරු ප්‍රමාණයක් ආනයනය කර තිබුණි.

ගොවිතැන බිංදුවට බැස්සූ රසායනික පොහොර තහනමේ තොරතුරු එළියට

පොහොර හිඟය දේශීය සීනි නිෂ්පාදනයට ද යම්කිසි බලපෑමක් කිරීමට සමත්විය. මහ බැංකු වාර්තාවට අනුව 2021 වර්ෂයේදී මෙරට සමස්ත සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 80,555කි. එහෙත් 2022 වර්ෂයේදී සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 78,857 දක්වා සියයට 2.1කින් පහළ ගියේය. දේශීය වශයෙන් පැවති පොහොර හිඟය නිසා උක් වගාව සඳහා අවශ්‍ය පෝෂකවල පැවති හිඟය හේතුවෙන් උක් අස්වැන්න අඩුවිය. මෙම තත්ත්වය හේතුවෙන් 2022 වර්ෂයේ දී උක් පලදාව හෙක්ටයාර් 01කට මෙට්‍රික් ටොන් 59.7 දක්වා පහත වැටුණි.

රසායනික පොහොර හා කෘෂි රසායනවල පැවති උග්‍ර හිඟය හේතුවෙන් වැවිලි භෝගවලද අස්වැන්න පහත වැටුණි. 2022 වර්ෂයේ දී මෙරට තේ නිෂ්පාදනය සියයට 16.0කින් කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. මෙරට සමස්ත තේ නිෂ්පාදනය සඳහා පිළිවෙළින් සියයට 22කින්, සියයට 16කින් හා සියයට 62කින් පමණ දායක වූ උඩරට, මැදරට, පහත රට තේ නිෂ්පාදනය 2022 වර්ෂයේදී පිළිවෙළින් සියයට 13.8කින්, 21.2 කින් සහ සියයට 15.4කින් පහළගොස් තිබූ බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ තේ දලු නිෂ්පාදනය ද සියයට 15.6කින් පහළ ගොස් තිබුණි. කුඩා තේ වතු හිමියන්ගේ තේ අස්වැන්නේ සාමාන්‍ය පලදාව (2021) වර්ෂයේ දී හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 1414ක් වාර්තා වී තිබුණද 2022 වර්ෂයේ දී තේ පලදාව හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 1,193 දක්වා අඩුවී තිබූ බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

රසායනික පොහොර සහ කෘෂි රසායන, හා යූරියා මත පදනම් වූ පොහොර සහ වල්නාශක ලබාගැනීමට නොහැකිවීම නිසා තේ පලදාව කැපීපෙනෙන ලෙස පහළ යෑමට හේතුවී තිබුණි.

2022 වර්ෂයේ දී මෙරට රබර් නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 70.9 දක්වා සියයට 7.8කින් පහළ ගියේය. ඉකුත් වර්ෂයේ දී පොහොර හිඟය හේතුවෙන් නොමේරූ රබර් වගාවන් සඳහා ඇති කළ බලපෑම සුළු පටු නොවේ. මේ නිසා රබර් ගස් වර්ධනය අඩාල විය. කිරි කැපීමේ කාලසීමාව ප්‍රමාද විය. ඒ විතරක් නොව කෘෂිරසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඉකුත් වසරේ දී පෙස්ටලෝටියෝප්සිස් රෝගය රබර් වගාව තුළ දරුණු අයුරින් ව්‍යාප්ත විය. මෙකී රෝගය රබර් හෙක්ටයාර් හතළිස් දහසකට පමණ දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය. රබර් කිරි කැපීමේ දින ගණන් අඩුවීම හේතුවෙන් 2022 වර්ෂයේ දී රබර් වගාවේ සාමාන්‍ය පලදාව හෙක්ටයාර් 01කට කිලෝග්‍රෑම් 665 දක්වා සියයට 2.1කින් පහළ ගියේය. කෙසේ වුවද මේ වනවිට රසායනික පොහොර තහනම් කිරීමේ අනිටු ප්‍රතිපල රට්ටුන් විසින් භුක්ති විඳිමින් සිටිති.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment