ජුනි 9 අරගලය දා ජනපති මැඳුරෙන් මුදල් හමුවීම – ගෝඨාගේ ප්‍රකාශ ගැනීම සීඅයිඩීයට පැවරුවේ ඇයි

291

උසාවියට කරුණු දක්වන්නැයි පොලිස්පතිට සිතාසි
ප්‍රකාශ සටහන් කිරීමේ නියෝග මඟහැරීමට ප්‍රමාද කිරීමට සූදානම් වෙන්න එපා
මහෙස්ත්‍රාත් සීඅයිඩීයට දන්වයි

අරගලකරුවන් විසින් පසුගිය ජුනි 09 වැනිදා ජනාධිපති මන්දිරය ග්‍රහණයට ගත් අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා භාවිත කළ කාමරයක තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්‍ෂ පනස්දහසක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ දිනම ඒ විමර්ශන කටයුතු පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා පොලිස්පතිවරයා වෙත සිතාසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (25 වැනිදා) නියෝග කළේය.

එම විමර්ශන පොලිස් දෙපාර්තමේන්තුවේ කුමන අංශයක් මගින් සිදු කළ ද අධිකරණය නිකුත් කර ඇති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රකාශ සටහන් කිරීම ඇතුළු නියෝග ප්‍රමාද කිරීමට හෝ මගහැරීමට කිසිසේත්ම සූදානම් නොවන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා එලෙස කටයුතු කළහොත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණය නිසි පියවර ගන්නා බවද සඳහන් කළේය.

පොලිස්පතිවරයාගේ එම නියෝගය නීති විරෝධී නියෝගයක් බවත් සැකකරුවන් පවා සෑහීමකට පත්වන පරිදි ස්වාධීනව සිදුකරමින් පැවති විමර්ශනයක් පොලිස්පතිවරයාට අවශ්‍ය පරිදි මාරු කළ නොහැකි බවත් එලෙස කිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාසයක් සිදුකර තිබෙන බවත් කියමින් නීතිඥ නුවන් බෝපගේ, වසන්ත මුදලිගේ සහ ජීවන්ත පීරිස් පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වන වගන්තිය අනුව ඕනෑම විමර්ශනයක් අඩපණ වන්නේ නම් ඉදිරි විමර්ශන භාරගැනීමට සහකාර පොලිස් අධිකාරිවරයකුට හෝ ඊට ඉහළ පොලිස් නිලධාරියකුට ප්‍රතිපාදන සලසා ඇතත් එවැනි විමර්ශනයක් වෙනත් අංශයකට භාරදීමට පොලිස්පතිවරයාට බලතල නොමැති බවත් පොලිස්පතිවරයා උත්සාහ දරනුයේ විමර්ශන අඩපණ කිරීමට බවත් පෙර කී වගන්තිය අනුව එය නීති විරෝධී නියෝගයක් බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයට පැවසීය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී. එස්. වික්‍රමසිංහ මහතාට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් දුරකථනයෙන් තර්ජනය කිරීම සම්බන්ධයෙන් 2022 නොවැම්බර් 11 දිනට අදාළ එම තිදෙනාගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට තම අධිකරණය නියෝග කර ඇතත් ඒ වෙනුවට ඉදිරිපත් කර ඇත්තේ 2021 නොවැම්බර් 21 දිනට අදාළ වාර්තාවක් වන බැවින් ලබන 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ඒ පිළිබඳව කරුණු දක්වා දුරකථන සමාගමක බිල්පත් කළමනාකරුට නොතිසි යැවීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමර්ශන කටයුතු ඉවත් කොට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියෝග කිරීම පොලිස්පතිවරයා දියත් කළ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වන්නේ යැයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවසූහ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී. එස්. වික්‍රමසිංහ මහතාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සාක්‍ෂිකරුවන් හා වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ අධිකාරියේ සභාපතිවරයාට නියෝග කළේය. මෙම නඩුවට ලබන 08 වැනිදා දින නියම කළ මහෙස්ත්‍රාත්වරයා හැත්තෑතුන්වන සැකකරු වන වසන්ත මුදලිගේ මහතා එදින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment