පෑවිල්ලේ තරම! – දිස්ත්‍රික් 12 ක 1,56,000 ක් පීඩාවට

132

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 40 ක පමණ පවුල් 48,000 කට අයත් පුද්ගලයන් 1,56,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා පවසයි.

පීඩාවට පත් ජනතාව සිටින දිස්ත්‍රික්කවල රෝහල් සඳහා පානීය ජලය සැපයීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද ඒ මහතා කීය. නියඟයෙන් වන සතුන්ටද ජලය ලබාදීම සඳහා වන සංරක්‍ෂණ හා වනජීවී ආයතන බවුසර් උපයෝගී කරගෙන ජලය ලබාදීම සිදුකරගෙන යන බවද ඔහු කීය. පසුගිය සති දෙක තුළ පානීය ජලය ලබාදීම සඳහා රජය රුපියල් ලක්‍ෂ 20 ක පමණ මුදලක් වැයකර ඇතැයි ද ඔහු කීය.

නියඟය හේතුවෙන් වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාවය සියයට තිස්එකයි දශම හතරක් (31.4) දක්වා පහළ ගොස් ඇති බවත් ජලය අරපරිස්සමෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ ජනරාල් සුදර්ශනී විiාපතිරණ මහත්මිය පැවැසුවාය.

උඩවලව ජලාශයේ සමස්ත ජල ධාරිතාවය අක්කර අඩි 2,17,800 ක දැරිය හැකි වුවත් ඊයේ (07දා) උදෑසන වනවිට එහි පැවතියේ අක්කර අඩි 956 කි.

සාමාන්‍ය තත්ත්වය හමුවේ උඩවලව ජලාශයෙන් තත්පරයට අක්කර අඩි 3200 ක ජල ධාරිතාවයක් ගොවිතැන් කටයුතු සඳහා මුදාහැරියත් ඊයේ (07දා) වනවිට ඉන් මුදාහැර තිබුණේ අක්කර අඩි 934 ක ජල ධාරිතාවකි. එමෙන්ම ඊයේ (07දා) දිනයේ සමනල වැවෙන් සහ වේලි ඔයෙන් ගලා ආ අක්කර අඩි 545 ක ජල ධාරිතාවයක් උඩවලව ජලාශයට එකතු වී තිබුණි.

සිඳීගොස් ඇති උඩවලව ජලාශය දැකබලා ගැනීම සඳහා විශාල ජනතාවක් පැමිණෙන අතර මෙම ප්‍රදේශයේ වන අලින් බහුලව ගැවසෙන නිසා එහි පැමිණීම අනතුරුදායක යැයි ජලාශ භාර නිලධාරීහු පවසති. ජලය සිඳීගොස් ඇති ප්‍රදේශවල රොන්මඩ පවතින ස්ථානවල කිඹුලන් දිවි ගෙවීම හේතුවෙන් එම ප්‍රදේශවල සිටීම ද අනතුරුදායක බව එම නිලධාරීහු කියා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment