උතුරේ ඉඩම් ගැන TNA සිහින බිඳ වැටේ

1154

උතුරේ තම ජනතාවට අයත් ඉඩම් ලබාදීමට ආණ්ඩුව මැලිකමක් දක්වන බව ද්‍රවිඩ ජාතික සන්ධානය චෝදනා කරයි. මහජන නියෝජිතයන් ලෙස තම පක්‍ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අවස්ථා කිහිපයක දී මේ සම්බන්ධව සාකච්ඡා කළ ද ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන නියෝජිතයන් පවසන්නේ මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව යැයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්‍යකියන් රාසමානික්කම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

තම පක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නියෝජිතයන් කිහිපදෙනකු උතුරේ ඉඩම් ප්‍රශ්නය සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ ද තමන් බලාපොරොත්තුවන ඉල්ලීම් මෙතෙක් ඉටුවී නැතැයි ද කීවේය.

එනිසා තමන් උතුරේ ජනතාව අතර අප්‍රසාදයට පත්වෙමින් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත ඉකුත් 15 දා ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ මුලතිව්හි පිහිටි කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණය කර නැති බවය.

එසේ දැනුම් දී ඇත්තේ ඉකුත් 8 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් කුරුන්දි විහාරයට අයත් නොවන රජයේ ඉඩම් මහජනතාවට පවරා දීමට නියම කර ඇති බවට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධව කරුණු පැහැදිලි කරමිනි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment