බලපත්‍රලාභීන්ගේ විරෝධයත් සමග සුරාබදු බලපත්‍ර ගාස්තු බස්සයි

100

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු නැවත සංශෝධනය (අඩුකිරීමට) කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධන සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

සුරාබදු ආඥා පනතට අනුව 2024 ජනවාරි 12 වැනිදා සිට සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත් වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු අධික ලෙස වැඩිකර ඇති බවට සුරාබදු බලපත්‍රලාභීන් විරෝධය පළකිරීමත් සමග නව සංශෝධනයන් කර තිබේ.

ඒ අනුව දොකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩුකර තිබේ. නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්තය සඳහා එක්වරක් පමණක් අයකරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

තල් රා බෝතල් කිරීමේ බලපත්‍ර ගාස්තුව නව සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 05 කි. පොල් රා බෝතල් කිරීම සඳහා මිලියන 10 ක්ව පැවැති වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 15 කි. විනාකිරි නිෂ්පාදනාගාර ගාස්තුව ලක්ෂ 25 සිට ලක්‍ෂ 05 දක්වා අඩුකර ඇති අතර එක්වරක් පමණක් අයකරනු ලබන ගාස්තුව ලක්ෂ 25 කි.

මහ නගර සභා බලප්‍රදේශවල මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මිලියන 15 ක් ලෙස පැවැති අතර නව සංශෝධනයට අනුව එය රුපියල් ලක්ෂ 10 දක්වා අඩුකර ඇත.

නගර සභා බල ප්‍රදේශ සඳහා එක්කෝටි විසිපන් ලක්ෂයක් වූ වාර්ෂික ගාස්තුව ලක්ෂ 08 දක්වා අඩුකර ඇති අතර අනෙකුත් ප්‍රදේශවල මත්පැන් සිල්ලරට විකිණීම සඳහා රුපියල් මිලියන 10 ක්ව පැවැති බලපත්‍ර ගාස්තුව ලක්ෂ 06 දක්වා අඩුකර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment