රාජ්‍ය බලය යොදා ජනතාව මැඩලීමට උත්සාහ නොගන්න – වහාම සහන දෙන්න – ත්‍රෛනිකායික මහනාහිමිවරු කියති

297

දැනට එල්ලවන මහජන විරෝධයේ සහේතු තත්ත්වය අවබෝධ කර නොගෙන ඉහළ යන ජීවන වියදම අඩුකොට ජනතාවට සහන සැලසීම වෙනුවට රාජ්‍ය බලය යොදා ජනතාව මැඬලීමට ගන්නා උත්සාහය සංඝරත්නය වන අප අනුමත නොකරන්නෙමු යැයි ත්‍රෛනිකායික මහා නාහිමිවරු නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරති.

මාධ්‍යවේදීන්ට සහ මහජනයාට කළ පහරදීම් ද අපි කිසිසේත් අනුමත නොකරන්නෙමු.

රටේ රාජ්‍ය නායකයා වශයෙන් මහජනතාව කෙරෙහි සංවේදීව ජනතා සුබසාධනය උදෙසා කඩිනම් සහන සැලසීමට ජනපතිවරයා වහා කි‍්‍රයාත්මක විය යුතුය.

මල්වතු මහා පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ ද අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශී‍්‍ර ඤාණරතන නාහිමියෝ ද අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දොඩම්පහල චන්‍ද්‍රසිරි නාහිමියෝ ද ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියෝ ද එක්ව ඊයේ (04දා) සවස නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

දේශයේ සුරක්‍ෂාවත් මහජනයාගේ යහපැවැත්මත් අභියෝගයට ලක් වූ සෑම අවස්ථාවකදීම ගරුතර සංඝරත්නය ලෙස රාජ්‍ය පාලනය උදෙසා මාර්ගෝපදේශ සැපයීම අප වෙත ඓතිහාසිකව පැවරී ඇති වගකීමකි. එහෙයින් දැනට පවතින සමාජ, ආර්ථික අර්බුදයන්ගේ විවිධ පැතිකඩ විමර්ශනය කිරීමෙන් පසුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය වෙනුවෙන් ජනපතිතුමන් වෙත පහත යෝජනා ඉදිරිපත් කර සිටින්නෙමු.

1. ජනාධිපතිතුමන් විසින් සිය බලතල ප‍්‍රකාරව අග‍්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහා විසුරුවා හැරිය යුතුය.

2. රටේ ආර්ථික හා සමාජීය වටපිටාව යහපත් වූ පසු පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනතාව විසින් සිය පරමාධිපත්‍ය තහවුරු කරනු ලබන, ආණ්ඩුවක් පත්කර ගන්නා තුරු ජනතාභිලාෂයන් ඉටුකළ හැකි, ජනතා විශ්වාසය කඩ නොකළ ජනතාව කෙරෙන් ප‍්‍රතික්‍ෂේප නොවූ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්‍ෂ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් චන්ද, ද්වේෂ, භය හා මෝහ යන සතර අගතියෙන් තොර වත්මන් ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳ සවිඥානික හා සබුද්ධිමත් මණ්ඩලයක් විසින් සිදු කරන අන්තර්කාලීන පාලනයකට රට භාරදිය යුතුය.

3. එකී අන්තර්කාලීන මණ්ඩලයට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශයන් ලබා ගැනීමට විශේෂඥ උපදේශක මණ්ඩලයක් පත්කර ගත යුතුය.

4. එකී විශේෂඥ මණ්ඩලය විසින් යෝජනා කරනු ලබන අන්තර්කාලීන පාලන වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවේ සාකච්ඡුා කොට පක්‍ෂ නායකයන්ගේ එකඟත්වයෙන් පක්‍ෂ දේශපාලනයෙන් තොරව ජාතික ප‍්‍රතිපත්තියක් මත පිහිටා කි‍්‍රයාත්මක කළ යුතුය.

5. ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශේෂඥ මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා විනිවිදභාවයකින් යුක්තව විධිමත්ව සිදුවන බව නිරන්තරයෙන් පසුවිපරම් කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් විය යුතු අතර එකී කි‍්‍රයාවන් අධිකරණයේ ප‍්‍රශ්න කිරීමට යටත් විය යුතු අතර විධිමත් විගණනයට භාජනය කර මහජනතාවගේ දැන ගැනීම පිණිස කලින් කලකට ප‍්‍රසිද්ධ කළ යුතුය.

6. මෙම කාලය තුළ එම පාලන තන්ත‍්‍රයේ නියමුවා ලෙස එකී මණ්ඩලයේ සාමූහික තීන්දු තීරණවලට අනුගතව කි‍්‍රයාත්මක වීමට ගරු ජනාධිපතිතුමන් බැඳී සිටිය යුතුය.

මහා සංඝරත්නයේ ප‍්‍රසාදය හා ආශිර්වාදය මධ්‍යයේ මෙරට රාජ්‍ය නායකත්වයට දුන් මහාසංඝරත්නයේ මෙම සාධනීය යෝජනා මාලාව කෙරෙහි කඩිනම් අවධානය යොමු කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

සමන්තී වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment