තවත් භාණ්ඩ 286ක ආනයන සීමා ඉවතට

876

මත්ස්‍ය නිෂ්පාදන, නාන කාමර කට්ටල, සනීපාරක්ෂක කඩදාසි, වැසිකිළි ආශ්‍රිත සනීපාරක්ෂක උපකරණ, යෝගට්, බටර්, දැවමය අමුද්‍රව්‍ය, විදුලි උඳුන් සහ මද්‍යසාර නොවන පාන ඒ අතර

ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286ක ආනයන සීමා මුදල් අමාත්‍යාංශය විසින් ඉවත් කර ඇත. ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග රැසක ආනයන සීමා ලිහිල් කරමින් මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මේ ආනයන සීමා ලිහිල් කිරීම ඉකුත් ජුනි 09 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වේ. මේ අනුව මත්ස්‍ය පිරවුම්, මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන, නාන කාමර කට්ටල, සනීපාරක්ෂක කඩදාසි, වැසිකිළි ආශ්‍රිත සනීපාරක්ෂක උපකරණ, යෝගට් වර්ග, බටර් වර්ග, ඇතැම් දැවමය අමුද්‍රව්‍ය, විදුලි උදුන් වර්ග සහ මද්‍යසාර නොවන පාන වර්ග ඇතුළු භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කර තිබේ.

එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ, සංචාරක කර්මාන්තයට අවශ්‍ය භාණ්ඩ සහ කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය භාණ්ඩ රැසක් මේ අනුව ආනයන පාලනයෙන් නිදහස් කළ බව මාධ්‍ය විමසුමකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ 2022.04.16 වැනිදා භාණ්ඩ වර්ග 747 ක්, 2022.05.22 භාණ්ඩ වර්ග 1077 ක් සහ 2022.08.24 වන දින භාණ්ඩ වර්ග 1467 කට පැවති ආර්ථික අර්බුදය හමුවේ ආනයන සීමා පැනවීමට සිදු වූ බවයි. ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත්වීමත් සමඟ වරින් වර එම භාණ්ඩවලට පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කළ බවත්, ඒ අනුව මෙසේ තවත් භාණ්ඩ වර්ග 286 ක ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු තළ බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

භාණ්ඩ වර්ග 928 ක් සඳහා පමණක් තවදුරටත් ආනයන සීමා පවතින බවත්, ඒ අතරින් 306 ක්ම වාහන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment