පාපන්දුවට ජාත්‍යන්තර තහනමක් ආවොත් ඊට වගකිව යුත්තේ හිටපු පරිපාලනයයි

210

● ක්‍රීඩා අමාත්‍යාංශය තෙවැනි පාර්ශ්වයක් වෙන්නේ කොහොමද
● නව ව්‍යවස්ථාව නීති විරෝධියි

හිටපු පාපන්දු උප සභාපති රංජිත් රොද්‍රිගු කියයි

මෙරට පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් තහනමක් හෝ සම්බාධක පැනවුවහොත් එහි සම්පූර්ණ වගකීම නියමිත කාලයට ව්‍යවස්ථාව සම්පාදනය නොකර නිලවරණ නොපවත්වා සිටි හිටපු පාපන්දු සභාපති, හිටපු පාපන්දු ලේකම් ඇතුළු විධායක කමිටුව භාරගත යුතු බව හිටපු පාපන්දු උප සභාපති රංජිත් රොද්‍රිගු මහතා ‘දිවයින’ට පැවසීය.

වසරක ධුර කාලය සඳහා පත්වූ හිටපු සභාපති ඇතුළු විධායක කමිටුව මුලින්ම කළ යුතුව තිබුණේ 2021 දෙසැම්බර් 31 දිනට පෙර ව්‍යවස්ථාව සම්පාදනය කර පසුගිය මැයි 31 වැනි දිනට පෙර නිලවරණය පැවැත්වීම බවද ඒ මහතා සඳහන් කළේය.

නව ව්‍යවස්ථාව සම්පාදනය කර නිලවරණය පවත්වා පාපන්දු සම්මේලනයේ කටයුතු විනිවිදභාවයකින් සිදුකරන ලෙස අදාළ

රැස්වීම්වලදී සහ විද්‍යුත් තැපෑල මගින් තමන් කිහිප අවස්ථාවක් දැනුම් දුන්නද ඒ පිළිබඳව තැකීමක් නොකර අත්තනෝමතිකව කටයුතු කිරීමේ ප්‍රතිඵල දැන් ඔවුන්ට දැනෙන්නට පටන් ගෙන ඇති බවද ඒ මහතා කීය.

තමන් අතින් සිදු වූ වරද අනුන් පිට පටවා කටයුතු කිරීමටත්, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් සහ ආසියානු පාපන්දු සමුළුවෙන් නිකුත් කර ඇති දැනුම් දීමේ ලිපිවල වාසිය තමා අතට පත්කර ගැනීමටත් හිටපු සභාපතිවරයා කූට උත්සාහයක නිරත වෙමින් සිටින බවත් රංජිත් රොද්‍රිගු මහතා සඳහන් කළේය.

එසේම මෙරට පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකරන මැදිහත්වීම් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් තෙවන පාර්ශ්වයක හෙවත් බාහිර පාර්ශ්වයක බලපෑම් ලෙස සලකනවා නම් ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නිලධාරීන් මීට පෙර මෙරටට පැමිණ ක්‍රීඩා අමාත්‍යාංශය සමග සාකච්ඡා පැවැත්වූයේ මන්ද යැයි ප්‍රශ්නයක් බව ද රොද්‍රිගු මහතා පැවසීය.

තවද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් සහ ආසියානු පාපන්දු සමුළුවෙන් ශ්‍රී ලංකාවට නිකුත් කළ අදාළ ලිපි හිටපු සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කිරීමද එසේනම් බාහිර පාර්ශ්වයක් පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීමක් බව ද රොද්‍රිගු මහතා සඳහන් කළේය.

එසේම ජනාධිපතිවරයාට හිටපු සභාපතිවරයා ලබාදුන් ලිපියක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා හා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව ද සඳහන් කර ඇතත් එම ආයතනවලින් ශ්‍රී ලංකාවේ පාපන්දුවට අබමල් රේණුවක තරම් දෙයක්වත් සිදුවී නැති බව ද රොද්‍රිගෝ මහතා පැවසීය.

මෙරට පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් හෝ සම්බාධක පැනවීම යනු රටේ සමස්ත පාපන්දු ක්‍රීඩාවම විනාශ වීමක් නොවන බව ද ඉන්දියාව, කුවේට්, පකිස්තානය (දෙවරක්), නයිජීරියාව, ඉරාකය, ඉරාකය, බෲනායි, ඉන්දුනීසියාව, සිම්බාබ්වේ, කැමරූන් යන රටවලටද මෙසේ ජාත්‍යන්තර තහනම් පැනවීම් සිදු කර ඇති බවද පසුව අදාළ ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීමෙන් එම තහනම ඉවත් කරගෙන ඇති බව ද රොද්‍රිගු මහතා පැවසීය.

පාපන්දු නිලවරණ කටයුතු එන්න එන්නම කල් දමමින් එය හිඟන්නාගේ තුවාලයක් බවට පත් කරගත් හිටපු විධායක කමිටුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් තමන්ගේ ධුර කාලය තවත් මාස තුනක් දක්වා දිගු කර ගෙන ඊට පසුව තවත් දින 15ක් දිගු කර ගෙන ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කළ බවද රොද්‍රිගෝ මහතා කීය.

අනතුරුව ක්‍රීඩා ඇමැතිවරයා ගේ අනුදැනුමකින් තොරව ව්‍යාජ අස්සනක් යොදා නිකුත් කළ ගැසට් නිවේදනය ක් අනුව තවදුරටත් පාපන්දු සම්මේලනයේ ධුර කාලය දිගු කර ගනිමින් කටයුතු කළ බවත් පසුව එම ගැසට් නිවේදනය අවලංගු වූ බව ද ඒ අනුව එම කාලය තුළ සිදුකරන ලද නව ව්‍යවස්ථාව ද අවලංගු විය යුතු බව ද රොඩි්‍රගෝ මහතා සඳහන් කළේය.

ඊට විරුද්ධව හිටපු පාපන්දු සභාපති සහ හිටපු ලේකම් අභියාචනාධිකරණයට ගියත් ඔවුන්ට එහිදී තම අභිමතාර්ථයන් ඉටු කර

ගැනීමට නොහැකි වූ බවද නිලවරණයට දින නියම වුණේ ඒ අනුව යමින් බව ද රොඩි්‍රගෝ මහතා කීය. වසරක ධුර ධුර කාලයකට පත්ව හිතුමතේට කටයුතු කිරීම සඳහා වරෙක ක්‍රීඩා අමාත්‍යාංශයේ ද සහාය ගැනීමට ද හිටපු පාපන්දු පරිපාලනය කටයුතු කළ අතර පසුව ඔවුන් ට විරුද්ධව සිදුවන දේවල් බාහිර අතපෙවීම් ලෙස සැලකීම කනගාටුවට කරුණක් බව ද ඒ මහතා සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් එදා පාපන්දු සම්මේලනය වෙත පෑ අනුකම්පාව අද භූමිකම්පාවක් බවට පත්ව ඇති බවද ඒ නිසා වක්‍රාකාරයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ද අද රටේ පාපන්දු පරිපාලනය පත්ව ඇති තත්ත්වයට වගකිවයුතු පාර්ශ්වයක් ලෙස සැලකිය හැකි බව ද බව ද රොද්‍රිගු මහතා සඳහන් කළේය.

පාපන්දු නිලවරණය පැවැත්වීමට පත්කර ඇති නිලවරණ කමිටුවද එක් එක් පාර්ශ්වයන් සඳහා විවිධ හැඳිවලින් සැලකීමට කටයුතු කර ඇති බවත් ඉදිරිපත් කරන ලද නාම යෝජනා අනුමත කිරීම් සහ ප්‍රතික්ෂේප කිරීම් විවිධ අවස්ථාවලදී ඒකපාර්ශ්වීය ස්වරූපයක් ගෙන ඇති බව ද රොඩි්‍රගෝ මහතා පැවසීය.

එසේම පාපන්දු නිලවරණය විවෘත ඡන්දයක් නොව රහස් ඡන්දයක් ලෙස පැවැත්විය යුතු බව තමාගේ අදහස බවත් විවෘත ඡන්දයකදී මුදල් ගනුදෙනු බහුල වශයෙන් සිදු විය හැකි බවත් ඒ නිසා වඩා සුදුසු වන්නේ රහස් ඡන්දයක් බවත් ඒ මහතා කීය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment