මිලේනියම් යුග පරපුරේ අනන්‍යතාව පපුවෙන් ලියා පපුවෙන් ගැයූ ගීතය

230

ඇතැම් ගීත ලියා තිබෙන්නේ අතිනි. ඇතැම් ගීත හිසෙන් ලියා තිබේ. ගීතයක් පපුවෙන් ලිවීම යනු වචනෙන් කිය නොහැකි තරම් අති සියුම් කාරණයකි. එවැන්නක් මා දන්නේ මා ද ඇතැම් ගීතයක් පපුවෙන් ලියා ඇති බැවිනි. එවිට පපුවේ හදගැස්ම අනෙක් මොහොතකට වඩා වැඩියෙන් ඉස්මතු වී දැනේ. පපුව මඳක් උණුසුම් වනු ද දැනේ. අදහස් ගොන්න ලියා අවසන් වන තුරු සමස්ත ශරීරය පපුව පමණක් බවට පත් වේ. සලීල සෞම්‍යගුණෝපේත පපුතුරෙහි කැලතී ඇසගට ආ උණු කඳුළුබිඳක්, රූරා වැටෙන්නට, නොවැටෙන්නට මෙන් රැඳී තිබේ. මා එය හඳුන්වන්නේ මානව ශිෂ්ටාචාරය උත්කර්ෂයට නංවන එක්තරා ආකාරයක අසමසම ස්නිග්ධ මිනිස් හැඟීමක් ලෙස ය. ‘කොළඹ අහසට‘ යනුවෙන් පටන්ගෙන ගැයෙන තරංග කුමාරසිංහ නම් වූ නවක ගේය පදරචකයා විසින් ලියනු ලැබ තිබෙන ප්‍රණීත් ශිවංක නම් වූ තුරුණු ගායනවේදියාගේ මධුර කටහඬින් ඇසෙන මේ අපූරු ගේය කාව්‍යය මවන භාව රූපී මනෝ පරිසරය විශ්මිත චමත්කාරයකි.

මගේ ස්වාධීන අධ්‍යයන අනුව මේ ගීතය වූ කලී, ‘මිලේනියම් යුග පරපුරේ’ අනන්‍යතාව පළ කරන ප්‍රමුඛ ගීතය වේ. එසේ තහවුරු වන්නට පිටුබල දුන් සාධක රැසකි. පුහු වේෂ නිරූපණවලින් සහ අඳබාල වැඩවලින් ද, ගොබ්බ මාකටිං වැඩවලින් ද, හිඟනැති ඊනියා ‘මිලේනියම් ඉර්බා කාරයන්‘ කොපමණ සිටිය ද, මොවුන් දෙදෙනා මිලේනියම් සමාජ පරිසරයේ සංකේත ගීතයෙහි ලා රූපකාර්ථවත් ලෙස භාවිත කොට තිබීම ඊට ප්‍රධානම සාහිත්‍යයික සාක්ෂියකි.

අභිනව පරපුර නියෝජනය කරන්නවුන් ලෙස තරංග සහ ප්‍රණීත් භාෂාවෙහි භාෂාව (language of the language) හඳුනාගෙන තිබීම ප්‍රශංසා කටයුතු ය. භාෂාව යනු අක්ෂර නොවේ. අක්ෂර යනු භාෂාව සංකේතවත් කරනු පිණිස භාවිත කෙරෙන කිසියම් දෘශ්‍ය රූප විශේෂයක් වේ. භාෂාව පවතිනුයේ අක්ෂරවලට ඔබ්බෙනි. භාෂාවෙන් සිදුවන සංකීර්ණතම සන්නිවේදනය වන්නේ භාව ප්‍රකාශනයයි.

භාව ප්‍රකාශනය යනු, කවරක් දැයි කියා තේරුම් ගැනීමට,‘අම්මා‘ සහ ‘මව‘ යන, වචන දෙකෙහි දැනෙන භාවානූරූපී හැඟුම් පරතරය තේරුම් ගැනීමෙන් පමණක් වුව අවබෝධ කරගත හැකි ය. ස්වකීය නිවසට ගොඩවන දරුවකු තම මව නිවසේ නොමැති විටෙක ? ‘අම්මා කොහෙද ගියේ?‘ යනුවෙන් අසනු මිස, කෙදිනකවත් ‘මව කොහෙද ගියේ?’ යනුවෙන් අසනු ඇතැයි, සිතනු උගහට ය. ඊට හේතු වන්නේ ‘අම්මා’ යනුවෙන් කෙරෙන ආමන්ත්‍රණයට ආධ්‍යාත්මික සංස්කෘතිය විසින් ගැබ් කර තිබෙන අපමණ භාව සංකල්පනා, මව යනුවෙන් කෙරෙන ලිඛිත සම්ප්‍රදායේ ආමන්ත්‍රණයට ගැබ් කොට නැති බැවිනි.

ඒ අනුව නවකයන් වුවත් ප්‍රවීණත්වයට ආසන්න වන ආකාරයෙන්, ලියා වයා, ගයා ඇති මේ ගීතය, ‘මිලේනියම් යුගයේදී‘ සිංහල ගීත සම්ප්‍රදාය නවීකරණය කළ හැකි ආකාරය කදිමට නිදර්ශනය කරන්නක් ලෙස මම පැහැදිලිව ප්‍රකාශ කරමි. ඇතැමුන් විසින් ‘කකුලෙන්‘ ලියන ලදැයි සැක කළ හැකි තරමේ පාදඩ රචනා ගීත යනුවෙන් ගායනා කෙරෙන මෙකල ‘කොළඹ අහසට‘ නම් වූ මේ ගීතය ගී මිණකි. මේ ගී පද රචනය ලියූ තරංග කුමාරසිංහ ගේ හද ගැස්මත්, ගැයූ ප්‍රණීත් තිවංක ගේ හද ගැස්මත්, මට සහකම්පනය වෙමින් දැනෙමින් තිබේ.මේ සා දැනෙන හැඟෙන නව ගී නිර්මාණයක් උදෙසා ඔවුන් දෙදෙනා මේ රටට බිහි කර හැදු වැඩු දෙමාපියන්ගේ දෙපා, මනසින් වැඳ ඔවුන්ට පින් දෙනු හැර, ‘තරංග සහ ප්‍රණීත්‘ විෂයෙහි කළ හැකි අන් යමක්, මගේ ප්‍රකම්පිත හදවතට නොහැඟේ.

කොළඹ අහසට…

කොළඹ අහසට හඳ එබෙන සඳ
දෙඇස් නොපියා බලා හිඳිමි මම
කඳුළු පිරුණත් නෙත් කෙවෙනි මත
ඔබේ වත මිස හඳක් කුමට ද

දියත උයනේ රටා ඇඳුනු බිම
සෙමින් පා තිය තියා ගියපු හැඩ
එයින් පසු මා නොදුටු ඔබ ගැන
වචන ඇති මුත් ඉමක් නැත දුක

ගීත තාලෙට රටා මවන ජල
තරඟ නැගේ සිත වෙලා දුක් කඳ
තවත් දවසක සිනාසෙන්නට
මගේ වෙලා එන දිනක් තියේවිද

මිලේනියම් යුග පරපුරේ අනන්‍යතාව පපුවෙන් ලියා පපුවෙන් ගැයූ ගීතය

කුමාර ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment